2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අලුත් මැතිසබයේ වැඩ ඇරඹෙන හැටි

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

මෙරට මැතිවරණ දිස්ත්‍රික්ක 22ක ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තමන්ට හිමිව තිබෙන පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමින් ව්‍යවස්ථාදායකය තුළ තමන් නියෝජනය කිරීම පිණිස පත්කර එවන මන්ත්‍රීවරුන් 196 දෙනා තෝරා ගැනීම වෙනුවෙන් පැවැති මහ මැතිවරණය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 145ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමිනි. මැතිවරණයට පෙර සිටම ජනපතිගේ හා අගමැතිගේ වැඩපිළිවෙළ පිළිගනිමින් ඔවුන් හා එක්ව කටයුතු කළ පක්ෂ කිහිපයක් මැතිවරණයේදී වෙනම තරග කර දිනාගත් ආසන සංඛ්‍යාවද සැලකීමේදී ආණ්ඩු පක්ෂයට පැහැදිලි තුනෙන් දෙකක බලයක් හිමිව තිබේ.

නවවැනි පාර්ලිමේන්තුවට ජනතාව පත්කර එවූ මන්ත්‍රීවරුන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී සාධනීය ලක්ෂණ බොහොමයක් දැකිය හැකිය. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුටම මන්ත්‍රී ධූර අහිමි වූ මේ මැතිවරණයේදී නවකයන් රැසක් පාර්ලිමේන්තු වරම් ලැබූහ. ඒ අතර ආචාර්ය, මහාචාර්යවරුන්, නීතිඥයන් ඇතුළු සමාජය පිළිගන්නා බුද්ධිමතුන් රැසක් සිටීම මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු සුවිශේෂත්වයකි.

මෙලෙස අභිනවයෙන් පත්වුණ නවවැනි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ලබන 20 වැනිදා ඇරඹීමට නියමිතය. සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිර්දේශයන්ට අනුව මෙවර පාර්ලිමේන්තුවෙහි කටයුතු ආරම්භ වන අතර නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වන ආකාරය පිළිබඳව දේශයේ අපට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය මෙලෙසින් අදහස් පළ කළාය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම සිදු වෙන්නේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ඉන්පසුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කර ගැනීම, කථානායකවරයා තෝරා ගැනීමේදී පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 4 හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මෙවර පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ මන්ත්‍රීවරැන් දිවුරැම් දීම සඳහා එක් මන්ත්‍රීවරයකුට පවුලේ සමාජිකයන් දෙදෙනෙකු පමණයි කැඳවාගෙන පැමිණිය හැක්කේ. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන්ට මෙවර පාර්ලිමේන්තුව ආරම්භයේදී ගැලරියට පැමිණීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඒ වගේම මෙවර ප්‍රභූ ගැලරියටත් කිසිදු ප්‍රභූවරයකු කැඳවන්නේ නැහැ. කොවිඩ් වෛරසය හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමයි මෙවර පළමු සැසිවාරයේ කටයුතු අරඹනු ලබන්නේ.

පාර්ලිමේන්තුව තුළ ආසන පැනවීමේදී පළමු දිනයේ මන්ත්‍රීවරුන්ට තම කැමැති තැනක අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයාගේ ආසනයත් පක්ෂවල නායකයන්ටත් ඉදිරිපෙළ ආසන සකසා තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරු 232කට පමණ අසුන් ගැනීමේ හැකියාවක්ද පවතී.

වසංගත තත්ත්වය තවමත් පහව නොගිය අවදියක පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වන බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීතිවලට අනුව සෑම මන්ත්‍රීවරයකුම මුඛ ආවරණ පැළඳ සිටිය යුතු වේ. එමෙන්ම මන්ත්‍රීවරැන් කිසිදු අවස්ථාවක සිය ආසන මාරැවීම් නොකළ යුතුය. මන්ත්‍රීවරුන් විවාද කිරීමේදීද මුඛ ආවරණය ඉවත් නොකළ යුතු බවට සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්හි සඳහන් වී ඇත.
පසුගිය පාර්ලිමේන්තු ආරම්භයේදී මැතිවරණයෙන් තෝරාපත් වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළද මෙවර කොවිඩ් වසංගතය තිබෙනා බැවින් ඔන් ලයින් ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

මෙවර ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හිමි වී ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවී ඇත. එමෙන්ම අසුන් පැනවීම ජ්‍යෙෂ්ඨත්වයට අනුව සිදු කෙරේ. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරුන් බොහෝදුරට විපක්ෂයේ ආසනවල අසුන් ගැනීමට නියමිතය.
අභිනවයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය මේ වනවිට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇත.

සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02