2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

ඡන්දෙට ගිහින් දිනූ - පැරදුණු කලාකරුවෝ

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ඉතිහාසයේ සිටම සෑම පාර්ලිමේන්තු මැතිවරණයකදීම කලාකරුවන්, කලාකාරියන් කිහිප දෙනකු ද මනාප සටනට එක්වූ බව දක්නට ලැබිණි. වේදිකාවේ, පුංචි තිරයේ මෙන්ම සිනමාව තුළින් ද තම රංගනයන් ඉදිරිපත් කළ මොවුහු සැබෑ ජීවිතයේදීද ජනතාවගේ ආදරය දිනාගත් කලාකාමී පිරිසක් වෙති. මැතිවරණ ඉතිහාසයේ කලාකරුවකු ලෙසින් පාර්ලිමේන්තුවට එක්වුණු ප්‍රබලම චරිතය වන්නේ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංගය. මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් සිනමාවට එක්වුණු විජය හන්තානේ කතාව චිත්‍රපටයෙන් ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. 

ජනප්‍රිය නළුවා, හොඳම නළුවා සම්මාන ද්විත්වයම ලබාගත් ඔහු සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළේය. 1977 මහ මැතිවරණයේදී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප.යට තරග වැදී මනාප 19738ක් ලබාගත් ඔහු එවක එජාප පාලනයේ සතුරෙක් බවට පත්විය. අසාධාරණය වෙනුවෙන් තම හඬ අවදි කළ විජය 1988 පෙබරවාරි මස 16 වැනිදා සිය නිවෙස ඉදිරිපිටදීම යතුරුපැදියකින් පැමිණි සාහසිකයන් දෙදෙනකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්විය.

කලාකරුවකු ලෙසින් විජය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ප්‍රථම තවත් කලාකරුවන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළහ. වාමාංශික නායකයකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා දේශපාලනය තුළ ප්‍රබල චරිතයක් වූ අතර, ඔහු සිංහල සිනමාවේ ආරම්භක රංගන ශිල්පියෙක් ද විය. එමෙන්ම ටී.බී. ඉලංගරත්න ද සිනමාවේත් දේශපාලනයේත් නියැළුණෙකි.

පසු කාලයේදී නියෝජ්‍ය කතානායක තනතුර දැරූ ගාමිණී ෆොන්සේකා මෙන්ම විවිධ නිලතල දැරූ රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරණතුංග, සනත් ගුණතිලක, අනර්කලී ආකර්ශා දේශපාලනයට සම්බන්ධ වූ තවත් කලාකරැවෝ වෙති. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා ටෙලිනාට්‍යයේ පබාගේ චරිතයට පණ පෙවූ උපේක්ෂා ස්වර්ණමාලි ද පාර්ලිමේන්තුවට තෝරා යැවීමට රටේ ජනතාව උනන්දු වූයේ එම චරිතයට දැක්වූ අසීමිත ආදරය නිසාවෙනි. උපේක්ෂා තම ඡන්ද ප්‍රචාරය සිදු කළේ ද පබා නමිනි. පාර්ලිමේන්තු ගමන ඇරඹූ පසුද ජනතාව උපේක්ෂාව හැඳින්වූයේ පබා ලෙසිනි. ඒ තරමටම මෙරට ජනතාව සිනමාවේ, පුංචි තිරයේ තම හිතේ ඇඳි වීරයාට, අහිංසකාවියට සිය පාර්ලිමේන්තු මනාපය දෙන්නට තරම් සංවේදී වූහ. නමුත් ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිය මොවුන්ගෙන් කී දෙනකු නම් පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් තම හඬ නැගුවේදැයි කිව නොහැක.

එලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ද කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. මෙලෙස කලාකරුවන් කලාකාරියන් දස දෙනකු පමණ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ අතර එයින් කිහිප දෙනකුම තම ජීවිතයේ ඉදිරිපත් වූ මුල්ම මැතිවරණ සටන මෙය විය. මොවුන්ගෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සිව්දෙනෙක් පමණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ සම්මානනීය සිනමා රංගන ශිල්පිනියක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් මෙන්ම නිෂ්පාදකවරියක් වූවාය. ස්විට්සර්ලන්ත ජාතිකයකු සමඟ විවාහ වී සිටි ගීතා කලක් එරට ජීවත් විය. ඇයට එක් දියණියක් ද සිටියි. 2010 වසරේදී ඇල්පිටිය ආසනයෙන් තරග වැදුණු ඇය පාර්ලිමේන්තුවට තේරීපත් වූවාය. තම ආසනයේ ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් ඉටුකරමින් ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ අවදි කළ ඇයට සිය ද්විත්ව පුරවැසිභාවය වෙනුවෙන් යම් යම් මතභේදවලට ද මුහුණදීමට සිදුවිය. මෙකී දේශපාලනය හේතුවෙන් ඇයට තම සැමියා මෙන්ම එරට පුරවැසිභාවය ද අහිමි විය. මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ගීතා මනාප 63,358ක් ලබාගනිමින් නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අවස්ථාව ලබාගත්තාය. පාර්ලිමේන්තුවට මෙවර පත්වූ එකම කලාකාරිය වන්නේ ද ඇයයි.

සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු යනුවෙන් කලාවේ දිගුම නාමයට හිමිකම් කියන රන්ජන් ද පාර්ලිමේන්තුවට තේරීපත් වූ තවත් කලාකරැවෙකි. ඔහු රංගන ශිල්පියෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.

විජය කුමාරණතුංග රඟපෑ ක්‍රිස්තු චරිතයේ ඉතාම කුඩා කොටසකට රන්ජන් රංගනයෙන් දායක වුවද චිත්‍රපටය තිරගත වන විට එම කොටස සංස්කරණයෙන් ඉවත් වී ඇත. මේ නිසාම රන්ජන්ගේ පළමු රංගනය වන්නේ ජය කොතනද? චිත්‍රපටයයි. දේශපාලනයට අවතීර්ණ වීමට පෙර සහ පසුව ද ඔහු බොහෝ චිත්‍රපටවල රඟපෑ අතර සම්මාන පවා දිනාගත්තේය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට් වන් වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය විය. දේශපාලනයේ ඉතා ආන්දෝලනාත්මක චරිතයක් වන රන්ජන්ට මෑත කාලයේදී පාර්ලිමේන්තුව තුළ හඬපට හුටපටයකට සම්බන්ධ වී සිරගත වීමට ද සිදුවිය. මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 103,992ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුවද ගියවර ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 216,463ක් ලබා එම දිස්ත්‍රික්කයෙන් පළමු තැනට පත්විය. නමුත් මෙවර ඔහුට හිමිවූයේ එම දිස්ත්‍රික්කයේ දෙවැනි තැනයි.

දේශපාලන පොරපිටියට අලුතින් එක්වූ කලාකරැවා වන්නේ උද්දික ප්‍රේමරත්නය. ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නළුවෙක් ද වන උද්දික ගායකයෙකි. රංගනයට අවතීර්ණ වීමට පෙර ඔහු අනුරාධපුර තම ගම්පියසේ එක්තරා සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙක් ලෙස ද කටයුතු කළේය. ඔහු ගීත රූප රචකයෙකි. මීට වසර ගණනාවකට පෙර චාමික සිරිමාන්න ගැයූ අප වෙන්වන තරමට කියනා දේවල් ගීතයේ රූප රචනාවට පෙනී සිටියේ ද උද්දිකය. එකල ඔහුව කිසිවකු හඳුනන්නේ නැත. පුංචි තිරයේ අනු චරිතවලට දායක වූ උද්දික ඉතා විශිෂ්ට රංගනයක නිරත වූයේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධවනිය^ චිත්‍රපටයේ වදීෂ වික්‍රමනායකගේ චරිතයෙනි. එතැන් සිට ඔහු මහරජ ගැමුණු (ගැමුණු රජ), පත්තිනි (කෝවලන්), ආලෝකෝ උදපාදි (වළගම්බා රජු) වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක විය. ගායකයකු, රංගන ශිල්පියකු වන උද්දික නිවේදකයෙක් ද වෙයි. උද්දික දේශපාලනයට අවතීර්ණ වීමට යාමේදී බොහෝ දෙනා ඊට විරුද්ධ වූහ. නිර්මාණකරැවකු ලෙස යම් ස්ථාවරයක් ගොඩනගා ගනිමින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටි උද්දික දේශපාලනයට එක්වීමෙන් වෙනසක් සිදු වේ යැයි ඇතැමුන් තුළ යම් සැකයක් ඇතිවිය. නමුත් තමා උපන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ උද්දික ප්‍රේමරත්න මනාප 133,350ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් විය. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙවැනි තැන හිමිකර ගන්නට ද ඔහුට හැකියාව ලැබුණි.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සිව්වැනි කලාකරැවා වන්නේ පියල් නිශාන්තය. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කෝපි කඩේ ටෙලිනාට්‍යයට මෙන්ම තවත් ටෙලිනාට්‍ය කිහිපයකටම ඔහු රංගනයෙන් දායක විය. ගුරුවරයකු වන පියල් නිශාන්ත තමා ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත් විය. මෙවර ඔහු ඉදිරිපත් වූයේ ඔහුගේ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයටයි. එහිදී කළුතර දිස්ත්‍රික්කයෙන් මනාප 103,904ක් ලබාගැනීමට ඔහු සමත්ව සිටී. කළුතර දිස්ත්‍රික්කයෙන් සිව්වැනි ස්ථානය ඔහුට හිමි විය. 

බොහෝ බලාපොරොත්තු හිතේ දරාගෙන මෙවර පාර්ලිමේන්තු සටනට අලුතින් එක්වූ කලාකාරිය වන්නේ ඕෂධී හේවාමද්දුමය. බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලද ඕෂධී කොළඹ පදිංචි වීමෙන් පසුව වැඩි නෑකම් කිව්වේ කොළඹටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇයට හිමිවූයේ ඇය බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයකි. පුංචි තිරයේ ඇගේ රංගනයට බදුල්ල ප්‍රේක්ෂකයන් ඇළුම් කළ ද ඇයව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා යැවීමට තරම් බදුල්ල ඡන්ද දායකයන් කැමැති වී නොතිබිණි. ඕෂධීට බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමිවූයේ ඡන්ද 10,957ක් පමණි.
ගායකයකු ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මධුමාධව අරවින්දගේ මෙවර පාර්ලිමේන්තු බලාපොරොත්තුව ද කඩවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මනාප සටනට ඉදිරිපත් වුණු මධුමාධව අරවින්දට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමිවූයේ මනාප ඡන්ද 28,412ක් පමණි. මනාප සලකුණේ අවසානය හිමිවූයේ ද ඔහුටය. මුහුණුපොතේ සිය පරාජය පිළිබඳව ඔහු මෙසේ සටහන් කර තිබුණි.

සතුටත් ජය පරාජය ඔව් අපිට හුරු
පිටුවයි ඉවර පොත කියවමු මැරෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් හිතවතුනි ගරු

ගායන ශිල්පියකු හා සංගීතඥයකු වන රෑකාන්ත ගුණතිලක කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජලබලවේගය යටතේ මෙවර මහ මැතිවරණයට ‍තරග වැදුණු තවත් කලාකරැවෙකි. දේශපාලන හේතු කාරණා නිසාවෙන්ම අතීතයේ දී බොහෝ පීඩාවන්ගේ ගොදුරක් වුණු රූකාන්ත ඉදිරිපත් වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය ද මෙයයි. ඔහුට කුරැණෑගලින් ලබාගත හැකි වූයේ මනාප 20,088ක් පමණි. එමෙන්ම සමගි ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පීන් රවීන්ද්‍ර යසස් කුමාරනායකට ද හිමිවූයේ මනාප 9,836ක් පමණි. ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ විමල් කැටපෙආරච්චිට ලැබුණේ මනාප 12,913 කි. ඔහුට ද පාර්ලිමේන්තු වරම අහිමි විය.
සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ යහළුවෝ චිත්‍රපටයේ අශෝකගේ චරිතය රඟපෑ සුජීව සේනසිංහ ද පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයෙකි. මෙවර සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ සුජීවට හිමිවූයේ මනාප ඡන්ද 30,572ක් පමණි. එය පාර්ලිමේන්තුවට තේරීපත් වීමට ප්‍රමාණවත් වූයේ නැත.

කෙසේ වුවද මෙවර මහ මැතිවරණයට ජනතා ඡන්දයෙන් තේරීපත් වූයේ කලාකරැවන් කලාකාරියන් සිව් දෙනකු පමණි. ඔවුන්ගෙන් කී දෙනකු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගනු ඇතිදැයි යන්න අනාගතයට බාරය.
මෙවර මැතිවරණයේදී කලාකරුවන්ට කලාකාරියන්ට අමතරව මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද තරග කළහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට තරග වැදුණු සංජීව එදිරිමාන්න මනාප ඡන්ද 103,904ක් දිනා පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයෙන් තරග වැදුණු මනුෂ නානායක්කාර මනාප ඡන්ද 16,562ක් ලබාගනිමින් පාර්ලිමේන්තු වරම් යළි දිනාගත්තේය. එහෙත් මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නිරෝෂන් ප්‍රේමරත්නට මන්ත්‍රී වරම අහිමි වූයේ මනාප 57,686ක් පමණක් ලැබීමෙනි.

දිශානි ජයමාලි කරුණාරත්න