අරඹේවල දොන් උපාලි රන්ජිත් හෙවත් සොත්ති උපාලි යනු මේ රටේ ඕනෑම අයකු දන්නා කෙනෙකි. ගෝඩ් ෆාදර් ලෙස කලක් විරුදාවලියට ලක්ව සිටි උපාලි මෙරට කොළඹ පාතාලය පමණක් නොව රටම කනපිට හැරෑ පුද්ගලයෙක් විය. උපාලි පාතාලයට කලින් ප්‍රසිද්ධ වූයේ කොන්ත්‍රාත්තුවට තණකොළ පිඩලි ඇල්ලීම නිසාය. ඒ නිසා උපාලිට "පිඩලි උපාලි" යන නමින්ද බොහෝ දෙනා හැඳින්වීය. උපාලි පාතාලය, පාතාලය නම් උපාලි යැයි ගොඩක් අය කීවත් උපාලි පාතාලයට ආ හැටි බහුතරයක් දෙනා දන්නේ නැත. ගොඩක් අය උපාලිට බැන්නත්, ගරැ කළත් උපාලි කෙසේ නම් දේශපාලන පාතාලයට පැමිණියේද යන්න බොහෝ දෙනකුට ප්‍රශ්නයකි. එහෙත් මේ කියන්නට යන්නේ උපාලි විසින්ම උපාලි වලට දැමූ එකී කතාවය.
උපාලි පිඩලි ඇල්ලීම තම ව්‍යාපාරය කරගත් නිසා කොළඹ ප්‍රබල දේශපාලකයකු සමීපයෙන් ඇසුරැ කරන්නට විය. එයට හේතු වූයේ එම දේශපාලකයා නිවාස සංවර්ධන ව්‍යාපෘති බාරව සිටි නිසාය. ඒ නිසා එම දේශපාලකයා සමඟ උපාලි කෙතරම් සමීපද කියතොත් උපාලිව ඇමතුවේ පුතා, දරැවා, ළමයා නමිනි. ඒ නිසා උපාලි ද ඒ සෙයියාවෙන් කාලය ගත කරන්නට විය. දරැවකු ලෙස හැදුණු උපාලි තම ලොක්කාගෙන් පිට වැඩ කරන්නට තියා හිතන්නවත් ගියේ නැත. ඒ තරම් සුවච කීකරැ ගෝලයෙක් විය.
මේ අතර ප්‍රධාන මැතිවරණයක් සඳහා රටම සූදානම් වුණේය. රටේ ඉදිරිය බාරගන්නේ කවුද යන්න එකී මැතිවරණයේ මූලික අරමුණ විය. එහෙත් මැතිවරණය සිදුකිරීම ලෙහෙසි පහසු නැත. රටේ ඒ වනවිටත් ඇවිලෙමින් තිබූ භීෂණය නිසාය. 88 භීෂණයේ ආරම්භය නිසා ජවිපෙ සන්නද්ධ අරගලය රට පුරාම වෙලුම් ලා තිබුණේය. විශේෂයෙන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට විරුද්ධව ජවිපේ කැරුල්ල ක්‍රමයෙන් මහා ඝාතන රැල්ලක් තරමට පැතිරෙමින් තිබුණේය. ඊට නොදෙවැනිව ආණ්ඩුවේ නිල සහ නොනිල හමුදා පොලීසියද සිදු කළ ප්‍රතිප්‍රහාරවලින් අහුරු ගණනින් මිනිස්සු ඝාතනය කරන්නට වූහ. ඡන්ද ව්‍යාපාරයක් කරනවා තබා පාරේ බැහැලා යන්නට බැරි තරමට රට පුරා භීෂණය පැතිරී ගොස් තිබිණි.
එක පැත්තකින් රජයේ සන්නද්ධ ආරක්ෂක අංශය. තවත් පැත්තකින් ජවිපෙ අරගලකරැවන්ය. මේ නිසා ජනතාව සිටියේ බියෙනි. කෙසේ වෙතත් ඒ වනවිටත් තීරණාත්මක මැතිවරණය ආරම්භ කිරීම සඳහා රජය සූදානම් වී සිටියේය. එහෙත් ඒ සඳහා වැඩ කරන්න කිසිවකු සිටියේ නැත. තරගයට ඉඳිරිපත් වන අපේක්ෂකයා උපාලිගේ හිතවත් දේශපාලකයාව ආමන්ත්‍රණය කළේය.
“අයිසේ මේ පාර ඡන්දය තියන්න ඕන. මම දිනන්නත් ඕන. ඒත් මේ වැඩ කරන්න මිනිහෙක් නෑනේ. ඔය දන්න කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් අරන් එනවකෝ වැඩ ටිකක් කරගන්න" යැයි එතුමා කීය.
එයට හා කී දේශපාලකයා ක්ෂණිකව ඇමතුමක් ගත්තේ උපාලිටය.
“මේ ළමයා ලොක්කා මේ පාර ඡන්දය ඉල්ලන්න යන්නේ. ලොක්කා දිනුවොත් මම තමයි දෙවැනියා. ඒ නිසා අපි මේ වෙලාවේ ලොක්කට උදව් කරන්න ඕන. ඒ ගැන කතා කරන්න ලොක්කා එක්ක මීටිමක් තියෙනවා. තමුසෙට දන්න කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් එක්කන් එනවා යන්න ලොක්කා හම්බවෙන්න" යැයි උපාලිට දේශපාලකයා කීවේය.
උපාලි එක පයින් කැමති විය. මෙය තමන්ගේ අනාගත ඉරණම වෙනස් කරන මොහොතක් යැයි උපාලි තේරැම් ගත්තේය. ඒ නිසා ඒ සඳහා නියත වශයෙන්ම පැමිණෙන බවත්, කොල්ලන් රැගෙන එන බවත් උපාලි කීය.
ඒ අනුව උපාලිත්, දේශපාලකයාත් උපාලිගේ ගෝලයන් පිරිසත් මහතැනගේ රැස්වීමට ගියහ. යනවිටත් පිරිස පිරී ඉතිරී සිටි අතර උපාලි ඇතුළු පිරිස වාඩි වූහ. ලොකු තැන කතාව පටන් ගත්තේය.
“මේ පාර ඡන්දය ඉල්ලන්න මම යන්නේ කියලා තමුන්ලා හැමදෙනාම දන්නවනේ. මට පුංචි මිනිහගේ ඉඳලා ඉහළට යනකල් කැමැත්ත තියෙනවා. ඒත් මේ ජේ.වී.පී.කාරයෝ එක්ක මේ වැඩේ කරගන්න බෑ. පෝස්ටර් එකක්වත් ගහන්න මිනිහෙක් එන්නේ නෑ උන්ගේ චිට් එකට බයේ. මගේ පළවෙනි රුස්වීම පටන් ගන්නේ මාතරින්. මාතර එක මිනිහෙක් නෑ පෝස්ටර් එකක් අලවන්න. ඇයි අරැන් මරනවා කියන නිසා. ඒ නිසා කවුද ඉන්නේ ඒ බාරදූර කර්තව්‍යය කරන්න පුළුවන් තරැණයෙක්"
කිසිවකු සද්ද නැත. සියල්ලෝම මූණට මුණ බලාගත්තා මිස කිසිවකු වචනයක් කතා කළේ නැත. ඒත් එතන සිටි උපාලි තම දේශපාලක හිතවතාගේ කනට ළං වී “සර් අපි ආවේ උදව් කරන්නනේ. අපි කරමු වැඩේ" යැයි කීය. එහෙත් ඒ කසුකුසුව එතැන සිටි මහතැනට ඇසිණි.
“මොකක්ද මොකක්ද තමුන් කියන්නේ" කියා ඇසීය.
උපාලි බියවී අසුනෙන් නැගිටි අතර ඒ සමඟම මහ තැන "තමුන්ට පුළුවන්ද පෝස්ටර් ගහන්න" යැයි ඇසීය. උපාලි බියටම "ඔව්" යැයි කීවේය. අවසානයේ එම සාකච්ඡාව ටික වේලාවක් ගොස් නිමවුණු අතර එතැන සිටි පොලීසියේ ඉහළ අයකුට මහතැන දැනුම් දුන්නේ උපාලිට අවශ්‍ය දේවල් ලබාදෙන ලෙසය. ඒ අනුව උපාලිට ටී56 සහ රිපීටර් අවි තොගයක් ලැබිණි. වෑන් රථ කිහිපයක් ද ඒ ලබාදුන් පහසුකම් අතර තිබුණේය. ඒ සියල්ල ලබාගත් උපාලි වැඩේට බැස්සේය.
මාතර රුස්වීමට පෙර දින සවස උපාලි ඇතුළු පිරිස මාතරට වාහන ගොඩකින් ගියේ ආයුධ සන්නද්ධවය. එසේ ගිය උපාලිලා මුළු මාතර නගරයේම පෝස්ටර් ඇලවූහ. එහෙත් පුදුමය නම් උපාලිට එදා ජවිපෙ සාමාජිකයන් හමු නොවීමය. ඒ වෙනුවට මාතර නගරය නිදහසේ තිබුණේය. එයට හේතුවූයේ එදින ජවිපෙ සමාජිකයන්ගේ රුස්වීමක් වෙනත් ප්‍රදේශයක තිබුණු නිසාය. මේ නිසා උපාලිලා නොයෙකුත් දේ කරමින් දඟලමින්, හූ කියමින් පෝස්ටර් ඇලවූහ. ඒ මාතර නගරය පිරෙන්නටය.
ඊට පසුදින ලොකු තැන මාතරට පැමිණෙමින් සිටියේ ආරක්ෂකයන් පිරිවරා තම මෝටර් රථයෙනි. එසේ ඔහු එනවිට මාතරම පෝස්ටර්වලින් පිරී ඉතිරි තිබුණේ මහතැනගේ රූපය බැලූ බැලූ අත පෙනෙන ලෙසටය. එය දුටු සැණින් සතුටට පත්වූ ඔහුට උපාලි තම ජීවිතයේ අමතක නොවනම චරිතයක් බවට පත්විය. උපාලිට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ මේ පෝස්ටර් පෙරළිය නිසාය.
මෙතැනින් පසුව උපාලිට සිවිල් බලයක් ලැබුණු අතර මහතැන තමන්ගේ තැනට ගිය පසු උපාලි තමන්ගේ නිළ නොළත් ලේකම් කරගත්තේය. මේ නිසා උපාලි පාතාලයට බඳවා ගත්තටත් වඩා උපාලි පාතාලයෙක් වුණේ පාතාලයට නිළ වශයෙන් උදව් කළ නිසාය. ඒ පාතාලයේ ඇතැම් කල්ලිවලට උපාලි නීති ආධාර ලබා දී බේරාගත් නිසාය.
කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා සියලු පාතාලයෝ ක්‍රමයෙන් උපාලිට එකතු වූහ. උපාලි ඉබේ ගෝඩ් ෆාදර් විය. කෙසේ වෙතත් නිහාල් අමරසිංහ විසින් නොයෙල් අමරසිංහ වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනය කිරීම පිටුපස සිටින්නේ උපාලි බව බොහෝ දෙනා කීහ. ඒ උපාලිට තිබූ බලතල නිසාය. කොතරම් බලතල ද කියතොත් උපාලිට පොලිස් නිලධාරීන් පවා ආචාර කළ බව සඳහන්ය. ඒ නිසා මේ ඝාතනය උපාලිගේ වැඩක් බව හැමෝම කීහ.
නොයෙල්ගේ ඝාතනයත් සමඟ කරලියට එන චින්තක අමරසිංහ සහ ධම්ම්ක අමරසිංහ යන අයියා මලෝ දෙදෙනා සෘජුව හැප්පෙන්නට පටන් ගත්තේ උපාලිට විරැද්ධවය. උපාලි නොයෙල් පමණක් නොව තම පියා, නැන්දණිය, බාප්පා ඝාතනයට උපාලි සම්බන්ධ බව චින්තකලා සැක කළහ.
එපමණක් නොව උපාලිට විරුද්ධව කඩුවෙල පිරිස ද සිටියහ. ඒ කඩුවෙල උපාලි සහ කඩුවෙල වසන්තය. ඔවුන්ද අයියා මලෝය. ඊට අමතරව උපාලි සමඟ නාවල නිහාල්ලා ද සිටියේ වැඩි ඇයි හොඳයියකින් නොවේ. මේ නිසා උපාලි සිටියේ දැඩි ආරක්ෂාවක් මැද රජෙක් ලෙසය.
මේ අතර උපාලිගේ බලපුළුවන්කාරකම නිසා රටේ ප්‍රබල දේශපාලකයකු ඝාතනය කිරීමේ චෝදනාව ද ඔහුට එල්ල විය. ඒ නිසා උපාලිට නඩු පවා වැටිණි. එම නඩුවට දිනක් උසාවි ගොස් නැවත නිවෙස බලා යමින් සිටියදී නාඳුනන වාහන දෙකක් උපාලි පසුපස පන්නන්නට විය. ඒ බෝකුන්දර ප්‍රදේශයේදීය. එහිදී අමානුෂික ලෙස ඝාතනය කිරීමක් සිදු විය. උපාලිට වෙඩි තබා ඇදගෙන ගොස් කිලෝමීටර් හතරක් ඈතින් දමා ගොස් තිබිණි. මෙය රටම ගැස්සුණු ඝාතනයක් වුණු අතර මෙකී ඝාතනය කළේ පාතාලයට අලුතින් අත් පොත් තැබූ ධම්මික අමරසිංහ විසිනි. එම ඝාතනයත් සමඟ ධම්මික අමරසිංහගේ නම ඉහළට ආවේය.
ගයාන් ගාල්ලගේ