ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70ක් පමණ තිබේ. මින් බහුතරයක් සුළු ජාතික පිරිස් නියෝජනය කරන පක්ෂයි. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ ද, වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරන පක්ෂ ද මෙම සුළු ජාතික පක්ෂ අතරට ගැනේ. පසුගිය කාලය පුරාවටම මෙරට පැවැති සෑම ආණ්ඩුවක් සමඟම කේවල් කිරීමේ බලය ඔවුන් අත පැවතිණි.
එහෙත් 2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතීන්ගේ සහය නොමැතිව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි බව පෙන්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මහ මැතිවරණයේදී ඡන්ද 6853693ක් ලබාගෙන ආසන 145ක් තහවුරු කර ගනිමින් තුනෙක් දෙකක බහුතරයක් ලබාගැනීම නිසා කේවල් කිරීමේ වරප්‍රසාදය සුළු ජාතික පක්ෂවලට අහිමි වී තිබේ.
මැතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කියා සිටියේ සුළු ජාතික පක්ෂවලට එරෙහිව සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට මුහුණ දීම සඳහා සියලු සුළු ජාතික පක්ෂ ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. ඉදිරියේදී මෙම සුළු ජාතික පක්ෂ එක්ව බලවත් බලවේගයක් ලෙස කටයුතු කිරීමේ සූදානමක් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. එහෙත් මෙවර මහ මැතිවරණයේදී සුළු ජාතික පක්ෂවලට පෙර තිබූ ජනප්‍රියත්වය අහිමි වී ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.
සුළු ජාතික පක්ෂවලට ආණ්ඩු බලය සහිත පක්ෂයකට සහයෝගය ලබා නොදී ස්වාධීනව සිටිමින් තම බලය පවත්වාගෙන යා නොහැකිය. මෙවර මැතිවරණයේදී ඊ.පී.ඩී.පී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද, තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා ගේ සහය හිමිවන්නේ ආණ්ඩු පක්ෂයටය. රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුයුදීන්ගේ සහය සමගි ජනබලවේගයටය. ශක්තිමත් රජයක් පවතින විට සුළු ජාතික පක්ෂවලට කේවල් කිරීමේ අවස්ථාව නොලැබෙන හෙයින් සුළු ජාතික පක්ෂවල පැවැත්මට කිසියම් තර්ජනයක් පවතී. එහෙයින් මෙම පක්ෂ රජය සමඟ කිසියම් මිත්‍රශීලී සංවාදයක නිරත වන්නට උත්සාහ කරනු ඇත.
සුළු ජාතික පක්ෂයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට ගත යුත්තේ 5ක ඡන්ද ප්‍රතිශතයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මන්ත්‍රී ධුරයක් සඳහා 12.5ලෙස දක්වා තිබුණද 1989 දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා එම නිර්ණායකය 5දක්වා පහත දැමීය. සුළු ජාතිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා එවැනි වෙනසක් සිදු කළ බව පැවසුණද සත්‍ය කරුණ වූයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි බැවින් සුළු ජාතිකයන්ගේ සහායෙන් ආණ්ඩු පිහිටුවා ගැනීමේ අපේක්ෂාවය. ඡන්ද ලක්ෂ පහ හයක් ඇති සුළු ජාතික පක්ෂ බලවත් වූයේ මෙම සමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙනි.
කලක් මුළුල්ලේ උතුරේ විවිධ දේශපාලන පක්ෂ වෙන් වෙන් වශයෙන් මැතිවරණවලට තරග කළද පසුව ඔවුහු සන්ධානයක් ලෙස ඉදිරිපත් වූහ. 1977 සුළු ජාතික පක්ෂ අතුරින් වඩාත් බලවත් වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය. ඔවුන් එවක පාර්ලිමේන්තුවේ විපක්ෂය විය. පසුව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය උතුරේ දෙමළ පක්ෂ තුනක් සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගත්හ. මෙරට ප්‍රධානතම සුළු ජාතික පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය 2015 මහ මැතිවරණයෙන් මන්ත්‍රීධුර 16ක් හිමිකර ගැනීමට සමත් විය. එහෙත් මෙවර ඔවුනට හිමිව ඇත්තේ මන්ත්‍රීධුර 10ක් පමණි. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල සුළු ජාතික පක්ෂ කිසියම් පසුබෑමකට ලක්ව ඇති බව පෙනී යයි. කලක් එල්.ටී.ටී,ඊ. හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ දෙමළ ජාතික සන්ධානය පසුව දෙමළ ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔවුන් වරප්‍රසාද බුක්ති විඳිමින් පැවැති ආණ්ඩුවට මුක්කු ගසමින් කොළඹට වී සිටින බවටත් දෙමළ ජනතාවගේ මතය විය. ඔවුන් කෙරෙහි ජනතා ප්‍රසාදය අහිමි වෙමින් තිබෙන බවට මෙවර ප්‍රතිඵලය සාක්ෂි දරයි.
යාපනය දිස්ත්‍රික්කයට හිමි වූ මන්ත්‍රීධුර හත පක්ෂ පහක් අතර බෙදී ගොස් තිබේ. ගියවර මන්ත්‍රීධුර පහක් දිනූ දෙමළ ජාතික සන්ධානයට මෙවර හිමි වී ඇත්තේ මන්ත්‍රීධුර තුනක් පමණි. වන්නි දිස්ත්‍රික්කයෙන් හිමි වූ ආසන හය දේශපාලන පක්ෂ හතරක් අතර බෙදී ගොස් තිබේ. ඉන් ආසන තුනක් දෙමළ ජාතික සන්ධානයට හිමි විය. ගියවර ඔවුනට ආසන 4ක් හිමි විය.
දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහුණු මන්ත්‍රීධුර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ටත්, නවක පක්ෂයක් වන තමිල් මක්කල් තේසිය කුට්ටනී පක්ෂයේ සී.වී. විග්නේස්වරන්ටත් 2015 මැතිවරණයෙන් එක් මන්ත්‍රී අසුනක් දිනා සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයටත් බෙදී ගොස් තිබේ. විග්නේස්වරන් දෙමළ ජාතික සන්ධානයෙන් බිඳී ගොස් වෙනත් පක්ෂයක් නිර්මාණය කර ගත්තේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය අපොහොසත්ව ඇතැයි පවසමිනි. දෙමළ ජාතික සන්ධානය මෙවර මැතිවරණයෙන් පරාජය ලබා ඇති බවත් වරප්‍රසාද වෙනුවෙන් දේශපාලනය කරමින් දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් කටයුතු නොකිරීමේ ප්‍රතිළුලය ඔවුනට අද අත්ව ඇති බවත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහු ප්‍රකාශ කළේය.
උතුරු නැගෙනහිර සුළු ජාතික දේශපාලන පක්ෂ අතුරින් සුළු පිරිසක් ජාතිවාදී මාවතක ගමන් කරන බව පැහැදිලිය. දෙමළ ජාතිවාදි හා එල්.ටී.ටී.ඊ.යට වැඩි හිතවාදී බවක් දක්වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා හිටපු මහ ඇමැති විග්නේස්වරන්ට මන්ත්‍රීධුර හිමිවීම තුළින් ඔවුන්ගේ ජාතිවාදී අදහස් ජයගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ගියවර එක් ආසනයක් පමණක් දිනා සිටි ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඩී.පී. පක්ෂයට මෙවර ආසන දෙකක් හිමි විය. ඒ වන්නි දිස්ත්‍රික් අපේක්ෂකයා වූ කුලසිංහම් දිලීපන්ට මන්ත්‍රී ධුරයක් හිමි වීමෙනි. ඩග්ලස් දේවානන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කළ අතර එම පෙරමුණට සහය පළ කරමින් යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන්ද ජයග්‍රහණය කළේය.
මැතිවරණයකදී දකුණේ හැසිරීමට වඩා උතුරේ හැසිරීම වෙනස් ස්වරෑපයක් ගනී. දකුණේ මෙන් නොව උතුරේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි තවමත් පිළිගැනීමක් පවතී. උතුරේ උගතුන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව පැහැදිලිය. එහෙයින් එවැනි පිරිසගේ මතය පිළිගැනීමට ඔවුන් සූදානම්ය. ටී.එන්.ඒ. කණ්ඩායම සමඟ තමන්ට ඉදිරි ගමනක් නොමැති බව උතුරේ උගත් ජනතාවගේ මතය වී තිබේ. යාපන සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ හැසිරීමද එයට ඉවහල් විය. විශේෂයෙන් මධ්‍යස්ථ මතධාරී පිරිසට උතුරේ සාම්ප්‍රදායික දෙමළ පක්ෂවල ක්‍රියා කලාපය පිළිබඳ කලකිරීමක් පැවැති බව පෙනෙන්නට තිබේ. එහෙත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සී.වී. විග්නේස්වරන් වැනි ඊළම් ව්‍යාපාරයට සහයෝගය දක්වන දැඩි මතධාරීන් පත්කර ගැනීමෙන් එක්තරා පිරිසක් තවමත් ඊළාම් සිහිනයේ සිටින බවද පෙනී යයි. වත්මන් ආණ්ඩුව තේරුම් ගත යුතු කරුණක් තිබේ. ඒ ජාතිවාදී දේශපාලනයට වඩා ඒකීය රාජ්‍යයක් තුළ සාමයෙන් සිටින්නට කැමැති පිරිසක් උතුරේ සිටින බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එයට සහය පළ කරන පක්ෂවලට වැඩි මනාපයක් හිමිවූයේ එබැවිනි. එහෙයින් දෙමළ පක්ෂවල පොරොන්දු දේශපාලනයෙන් හෙම්බත්ව සිටින ජනතාව දිනා ගැනීමට තවදුරටත් ක්‍රියා කළ යුතුය.
වතුකරයේද, නැගෙනහිර පළාතේද සුළු ජාතික පක්ෂ සියල්ලම පාහේ ප්‍රධාන පක්ෂයකට සහය පළ කරමින් දේශපාලනයේ නිරත වන බව පැහැදිලිය. උතුරේ ජනතා ගැටලු සහ වතුකරයේ සහ නැගෙනහිර ජනතා ගැටලු අතර වෙනසක් පවතී. එහෙයින් මෙම ප්‍රදේශවල සුළු ජාතික දේශපාලනඥයන්ගේ හැසිරීම වෙනස්ය. වතුකරයේ දෙමළ දේශපාලනඥයන් හා නැගෙනහිර මුස්ලිම් දේශපාලනඥයන් සැමවිටම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට පෙළඹී සිටින්නේ සුළු ජාතික පක්ෂ ලෙස තනිව නැගී සිටින්නට තමන්ට නොහැකි බව ඔවුන් දන්නා බැවිනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා