2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

ඊළඟ අවුරුදු පහේ රටේ භාරකරුවෝ

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

කැබිනට් ඇමැතිවරු 26යි: රාජ්‍ය ඇමැතිවරු 39 යි

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වන අමාර්ථ්‍යා සෙන් වරක් කියා සිටියේ තුන්වැනි ලෝකයේ රටවල දේශපාලනඥයන්ට වැඩ කිරීමට නිදහස ලබාදිය යුතු සේම ඔවුන් අලුත් දෘෂ්ටියකින් රට දෙස බලන පුද්ගලයන් වීම ද වැදගත් බවය. මෙය ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන සන්දර්භයට හොඳින්ම ගලපා ගත හැකිය.

ජාතික දේශපාලනය උණුසුම් කළ මහ මැතිවරණය අවසන් වී මේ වනවිට සතියකට වැඩි කාලයක් ගත වී තිබේ. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවක් වුව ඊට එරෙහිව නැගී සිටි ප්‍රධාන බාධා දෙකක් තිබිණි. පළමු බාධාව වූයේ වසංගත තත්ත්වය යටතේ මැතිවරණය කෙසේ පැවැත්විය යුතුද යන්නය. මීට සමගාමී ලෙස මැතිවරණය කල් තැබීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක විය. දෙවැනි බාධාව වූයේ වසංගත තත්ත්වය යටතේ මහජනයාගේ ඡන්ද උනන්දුව හීන වී තිබීමය. ඡන්දයට වඩා වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛතාව ලැබිය යුතුය යන්න සමහරුන්ගේ මතය විය. රජය සාර්ථක ලෙස වසංගතය පාලනය කළේය. මැතිවරණ කොමිසම වසංගත තත්ත්වයක් යටතේ වුව මැතිවරණය පැවැත්විය යුතු බව වරින්වර ප්‍රකාශ කළේය. අවසන් ප්‍රතිඵලය වූයේ කොවිඩ් වසංගතය පරාජය වී ප්‍රජාතන්ත්‍රවාදය පෙරමුණට පැමිණීමය.

මෙරට මැතිවරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. පවත්නා මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු දේශපාලන පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ලබාගත නොහැකි යැයි සමාජයේ මතයක් පැවැතිණි. මේ මැතිවරණයේදී එම මතය මුළුමනින්ම පුස්සක් විය. පොදුජන පෙරමුණට කිසිදු පක්ෂයක සහයකින් තොරව තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි අතර, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ද හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව වැනි රටක ආණ්ඩුවේ මූලික වගකීම, ජනාධිපතිවරයා, අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය වෙත පැවැරී ඇත. ජනාධිපතිවරයා පසුගිය වසරේ නොවැම්බර් මස පත්විය. අගමැතිවරයා පසුගිය 9 වැනිදා දිවුරැම් දුන් අතර පසුගිය 12 වැනිදා ඇමති මණ්ඩලය දිව්රුම් දුන්නේය. මෙවර අමාත්‍ය මණ්ඩලය විසි හයකට සීමා වී ඇත. රාජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 39කි. මහ මැතිවරණයට පෙර සිටම ජනතාවගේ අපේක්ෂාව වූයේ වැඩ කරන ආණ්ඩුවක් මෙන්ම වැඩකරන ඇමැති මණ්ඩලයකි. ජනතාවගේ එම අපේක්ෂාවන් බිඳ දැමීමට අලුත් ආණ්ඩුවට හැකියාවක් නැත.

අමාත්‍ය මණ්ඩලය විශාල නැත. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය තරමක් ඉහළ ගොස් තිබුණ ද, සෑම රාජ්‍ය අමාත්‍යවරයකුටම නිශ්චිත කාර්යභාරයක් පැවරී තිබේ. ඇතැම් රාජ්‍ය අමාත්‍යවරයකුට අනු විෂය ගණනාවක් ඇත. රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන අයුරින් රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර තිබේ. මහජනයා වැඩ කරන ඇමැති මණ්ඩලයකට දොස් නගන්නේ නැත. ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ බරපතළ විවේචනයක් පොදු සමාජය තුළ නැත. විවේචන නැ‍ගෙන්නේ අමාත්‍යවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ආදිය ගැනය. පහසුකම් භුක්ති විඳිමින් හා වරප්‍රසාද ලබමින් වැඩ නොකර සිටින අමාත්‍යවරුන් දකින විට මහජනයා තුළ ඇති වන්නේ නොසතුටකි. අමාත්‍ය මණ්ඩලයේ ද, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ද විෂය ක්ෂේත්‍ර බෙදී ඇති ආකාරයෙහි විශේෂත්වයක් දැකිය හැකිය. එම තෝරා ගැනීම්වලට අනුව රටේ සියලු අංශ ආවරණය වී ඇති බව පැහැදිලිය.

අමාත්‍යවරයකුට තමන්ගේ විෂය පථයට අදාළ විශාල කාර්යභාරයක් හිමිය. එලෙසම එම විෂය පථයට අදාළ බලයක් ද ඔවුන් වෙත පැවරේ. මේ සාධක භාවිත කළ යුත්තේ රටේ ඉදිරි ගමන සඳහාය. සෑම අමාත්‍යාංශයක්ම රටේ ජාතික ආරක්ෂාව ගැන, අධ්‍යාපනය ගැන සේම ජාතික උරුමයන් ගැන අවදියෙන් ක්‍රියා කළ යුතු යැයි උපදේශයක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබේ. එය අතිශය වැදගත් උපදේශයකි. රටේ ජනතාවගේ පොදු පිළිගැනීම වන්නේ අලුත් ආණ්ඩුව යටතේ සෑම අමාත්‍යාංශයක්ම සක්‍රීය වී මුළු රටම වැඩබිමක් බවට පත් විය යුතු බවය.

පසුගිය 12 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දිව්රුම් දුන් කැබිනට් ඇමති මණ්ඩලය සහ රාජ්‍ය ඇමති මණ්ඩලය මෙසේය.

නව කැබිනට් අමාත්‍යවරු 
01. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - ආරක්ෂක
02. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස
03. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු
04. ජී. එල්. පීරිස් - අධ්‍යාපන
05. පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය
06. දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු
07. ඩග්ලස් දේවානන්ද - ධීවර
08. ගාමිණී ලොකුගේ - ප්‍රවාහන
09. බන්දුල ගුණවර්ධන - වෙළෙඳ
10. ආර්. සී. බී. රත්නායක - වනජීවි සහ වන සංරක්ෂණ
11. ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන
12. කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය
13. චමල් රාජපක්ෂ - වාරිමාර්ග
14. ඩලස් අලහප්පෙරුම - විදුලිබල
15. ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග
16. විමල් වීරවංශ - කර්මාන්ත
17. මහින්ද අමරවීර - පරිසර
18. එස්.එම්.චන්‍ද්‍රසේන - ඉඩම්
19. මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම
20. වාසුදේව නානායක්කාර - ජල සම්පාදන
21. උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති
22. රමේෂ් පතිරණ - වැවිලි
23. ප්‍රසන්න රණතුංග - සංචාරක
24. රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික
25. නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා
26. අලි සබ්රී - අධිකරණ

රාජ්‍ය අමාත්‍යවරු
01. චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
02. ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ
03. දුමින්ද දිසානායක - සුර්ය බල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
04. දයාසිරි ජයසේකර - බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන
05. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
06. ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
07. අරුන්දික ප්‍රනාන්දු - පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ
08. නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
09. ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
10. රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන
11. කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
12. විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු
13. ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය
14. විජිත බේරුගොඩ - දහම්පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල
15. ශෙහාන් සේමසිංහ - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
16. මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන

17. ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
18. දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
19. විමලවීර දිසානායක - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
20. තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු
21. ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
22. කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන
23. සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
24. සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන
25. සරත් වීරසේකර - පළාත් සභා හා පළාත් පාලන කටයුතු
26. අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
27. සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
28. තේනුක විදානගමගේ - ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන
29. සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
30. පියල් නිශාන්ත - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
31. ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය
32. ඩී.වී.චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
33. ඩී.බී.හේරත් - පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත
34. ශෂීන්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
35. නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
36. ජීවන් තොණ්ඩමන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
37. අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
38. සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර් යේෂණ හා නව නිපැයුම්
39. චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන
වත්මන් රජය මෙවර මැතිවරණයෙන් ලබා ඇත්තේ මැතිවරණ ඉතිහාසයේ පුළුල්ම ජනමතයයි. මේ ජනතා විශ්වාසය හා කැමැත්ත ක්ෂය වන්නට ඉඩ නොදීම ආණ්ඩුවේ සියල්ලන්ගේම වගකීමයි.

 හසිත් අංජන