ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රෝපණය වී ඇති පවුල් ගස් ගැන බොහෝ අවස්ථාවල කතාබහට ලක්වේ. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන් බොහෝ විට උත්සාහ ගන්නේ තම පවුලේ සාමාජිකයන්ට මෙන්ම ඉතාම කිට්ටු ඥාතීන්ට එහි ප්‍රවිශ්ට වීමට අවස්ථාව සැලසීමය. මෙය ඍජුව හෝ වක්‍රව සිදුවන බවක් දක්නට ඇත.
තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන ගමන්ම වෙනත් ඥාතියකුට එහි වාඩිවීමට අවස්ථාව සැලසීම මෙන්ම ඇතැම් අවස්ථාවල යම් ලෙසකින් තමන්ට ආසනය අහිමි වූ විට එම පුටුවේ වාඩිවීමට තම ළඟම ඥාතියකුට ඉඩ සලසා දීමට උත්සාහ ගන්නා බවක් ද පෙනෙන්නට ඇත. එසේම සමහර විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා මියගිය විට ඔහුගේ හෝ ඇයගේ බිරිය හෝ සැමියාට පාර්ලිමේන්තුවට පැමිණීමට ජනතා කැමැත්ත ලබාගැනීමට පහසු වූ බව පෙනෙන්නට තිබේ. මෙය හදිසි අභාවයක් වුවහොත්, ඡන්දයකදී කතිරය ගසාගැනීම වඩාත් පහසු වනවා ඇත. ඇතැම් අවස්ථාවල තම සැමියා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ට වීමේ වාසනාව බිරිය උදාකර ගනියි. මෙහිදී ඡන්දදායකයා කතිරය පාවිච්චි කරන්නේ පක්ෂයේ හෝ පුද්ගලයාගේ ප්‍රතිපත්තිවලට නොව සානුකම්පිත ලෙස සලකමිනි. මියගිය අයට සංවේගය ප්‍රකාශ කිරීම සඳහා අනුප්‍රාප්තිකයා මැතිසබයට යැවීමට ඡන්දදායකයෝ පෙළගැසී සිටිති.
මෙම තත්ත්වය ආරම්භ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියගෙනි. සහසිකයකුගේ වෙඩි පහරින් එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1959 සැප්තැම්බර් 26දා ඝාතනයට ලක්වූ අතර ඊළඟ මැතිවරණයේදී ඔහුගේ බිරිය වූ සිරිමා බණ්ඩාරනායක තරග කර ජය ලබා අනතුරුව වාර්තාවක් තබමින් ලොව ප්‍රථම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වීමට භාග්‍යය ලැබුවාය. මෙයට විශාල ආධාරකයක් වූයේ ඇයට පහසුවෙන් සානුකම්පිත ඡන්ද ලබාගැනීමට හැකි වීමයි. ඇය එයට පෙර කිසිදු දේශපාලන කාර්යයක නිරත නොවී නිවෙසේ ගෘහණියක් ලෙස කටයුතු කළ අයකු වීමද විශේෂ වෙයි.
පසු අවස්ථාවල ත්‍රස්තවාදී ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලි යන ඇමැතිවරුන් වෙනුවට ඔවුන්ගේ බිරියන්ට සහ දරැවන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව උදා විය. මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක ඝාතනය වූ පසු ඔහුගේ බිරිය වන ශ්‍රිමා දිසානායක ජනාධිපතිවරණයට තරග කර පරාජයට පත් වුවද ඒ දෙදෙනාගේ පුතුන් වන නවීන් දිසානායක සහ මයන්ත දිසානායක යන අය ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වූහ. නවීන් දිසානායක ඇමැතිකමක් ද දරමින් පාර්ලිමේන්තුවේ සිටි කැපීපෙනෙන චරිතයක් විය. එහෙත් මෙවර පරාජය ලැබීය. මයන්ත ද පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියේය.
අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ බිරිය වන ශ්‍රීමනී ඇතුළත්මුදලි ඔහුගේ ඇවෑමෙන් පාර්ලිමේන්තුවට තරග කර තේරී පත්වී ඇමැතිධූර ද හෙබවූ බව අමතක කළ නොහැකිය. එසේම ඇය ද ස්වකීය ස්වාමිපුරුෂයා ජීවත්ව සිටියදී දේශපාලනයේ නිරත වූ අයකු නොවේ. ඝාතනයට ලක්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයාගේ බිරිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර ද තේරී පත්ව රාජ්‍ය ඇමැතිවරියක ලෙස දිව්රුම් දුන්නාය.
පාර්ලිමේන්තුව නියෝජනය කළ අනුර ඩැනියෙල් ඇමැතිවරයා රන් පොලු සිද්ධියකට වැරදිකරු වී සිපිරි ගෙයිදී මියගිය අතර ඔහුගේ නැගණිය ශ්‍රියානි ඩැනියෙල් අනතුරුව පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඇමැතිවරයකුව සිටි අශෝක කරුණාරත්න මියගිය පසු ඔහුගේ දියණිය සමන්තා කරුණාරත්නට ජනතා වරමින් පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව සැලසුණි. ඇය ඇමැති ධූරවලද කටයුතු කළාය.
සහෝදර දේශපාලනය ගැන සාකච්ඡා කරන විට බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධනගෙන් පසු ඔහුගේ දෙසොහොයුරන් වන ඉන්දික සහ දිනේෂ් ගුණවර්ධන සහෝදරයෝ ද පාර්ලිමේන්තුවට තේරීපත් වූහ. මෙවර දිනේෂ් ගුණවර්ධනගේ පුත්‍රයාට ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිමි විය. ඔහු යදාමිණි ගුණවර්ධනය.
මෙම අතීතයෙන් පසු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව ද සැලකිය යුතු පිරිසක් බව කිව යුතුය. මෙවර පාර්ලිමේන්තුවේ පිය පුතුන් අට දෙනකු නියෝජනය කරන බව දැකගත හැකිය. රටේ උත්තරීතර තනතුර දරන ජනාධිපතිවරයාගේ සමයේදීම ඔහුගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරු දැරීම කලාතුරකින් අත්දකින්නට ලැබී ඇති සුවිශේෂම අවස්ථාවකි. මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලොව කිසිම රටක අත්දකින්නට ලැබුණු බවට දැනගන්නට නොමැත. මෙවර සමගි ජනබලවේගයෙන් ජයගෙන විපක්ෂනායක ධුරයට පත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස හිටපු ජනපති සහ අගමැති ආර්. ප්‍රේමදාසගේ පුත්‍රයා බව නොදන්නා කෙනකු නැති තරම්ය.
පාර්ලිමේන්තුව දැනටමත් නියෝජනය කරන පිය පුතුන් ලෙස වාර්තාගත වන අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් සහ අගමැතිගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත් ශෂින්ද්‍ර ප්‍රධාන පෙළේ දේශපාලන පරම්පරාවලට අයත් වූ අය වෙති. එසේම වර්තමානයේ විදේශ ඇමැති පදවිය ලැබූ දිනේෂ් ගුණවර්ධනගේ පුත් යදාමිණි ගුණවර්ධන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටීම ද සුවිශේෂ වේ. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුත් ප්‍රමිත බණ්ඩාර මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දරයි.
එසේම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඥාති දියණියක් වන නිරූපමා රාජපක්ෂ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකළ ද මීට පෙර අවස්ථා කිහිපයකදීම මන්ත්‍රී ධූරයක් දැරුවාය. අගමැතිවරයාගේම ඥාති පුත්‍රයකු වන නිපුණ රණවක ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඥාතීන් අතර සිටියි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල චරිතයක් වූ මියගිය රෙජී රණතුංගගේ පුත් ප්‍රසන්න මෙවර ඇමැති තනතුරක් දරන අතර පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ඇමැති අර්ජුන රණතුංග පුත්‍රයා මෙවර පරාජයට පත්වීම ද කැපී පෙනේ.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිය පුතුන් අතර පෙරමුණ ගෙන ඇති මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලොහාන් රත්වත්තේ හිටපු ඇමැතිවරයකු වන අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයාය. කෑගල්ල දිස්ත්‍රික්කයේ එච්.ආර්. මිත්‍රපාල මන්ත්‍රීවරයාගේ පුත් දුෂ්මන්ත මිත්‍රපාල, යටියන්තොට හිටපු අමාත්‍ය වින්සන්ට් පෙරේරාගේ පුත්‍රයා වන සුජිත් සංජය පෙරේරා කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කර ජයගෙන මැතිසබයට පත්ව සිටි අය වෙති. තවද පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ධීවර අමාත්‍ය ධූරය හෙබවූ පෙස්ටස් පෙරේරාගේ පුත් නිරෝෂන් පෙරේරා ද මෙවර එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටී. පුත්තලම හිටපු අමාත්‍යවරයකු වන එස්.ඩී.ආර්. ජයරත්නගේ පුත්‍රයා වන ප්‍රියංකර ජයරත්න ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කැපී පෙනේ.
පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා කොංග්‍රස් පක්ෂයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන්ට ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව සැලසී තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තවත් මන්ත්‍රී පුත්‍රයකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින අතර, ඔහු එම දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන්ගේ පුත්‍ර කින්ස් නෙල්සන්ය. මාතර හිටපු ධීවර ඇමැතිවරයා වූ මහින්ද විජේසේකරගේ පුත්‍ර කාංචන විජේසේකරට මෙවර ද පාර්ලිමේන්තු වරම හිමිව ඇති අතර ඔහු මෙයට පෙර ද පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙකි.
හිටපු එ.ජා.ප. රජයේ ඇමැතිවරයකු වූ දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත්‍ර කාවින්ද ජයවර්ධන පසුගිය යහපාලන රජයේ මන්ත්‍රීවරයකු වූ අතර ඔහු මෙවර ද තරග කර ජයගෙන ඇත. ජේ.ආර්. ජයවර්ධන ජයවර්ධන ඇමැති කාලයේ සිට පාර්ලිමේන්තුව හෙබවූ අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා ඇමැතිවරයාගේ පුත්‍ර හර්ෂණ රාජකරැණා පසුගිය පාර්ලිමේන්තුව මෙන්ම මෙම පාර්ලිමේන්තුව ද නියෝජනය කිරීමට වාසනාව උරුම කරගෙන ඇත. හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත්‍ර විදුර වික්‍රමනායක දීර්ඝ කාලයක සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, ඔහු සිය පියාගේ සමයේදීද පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියේය. ඔහු මෙවර රාජ්‍ය ඇමැති ධූරයකින් පිදුම් ලැබ ඇත.
කුරුණෑගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ඩබ්ලිව්. අලවතුවලගේ පුත්‍රයා වූ ජේ.සී. අලවතුවල ද මන්ත්‍රීවරයෙකි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ පවිත්‍රා වන්නිආරච්චි එම දිස්ත්‍රික්කයේම හිටපු අමාත්‍ය ධර්මදාස වන්නිආරච්චිගේ දියණිය බවද කිව යුතුය.
මේ හැර වෙනත් ඥාතිකම් ඇති මහජන නියෝජිතයෝ ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති. හිටපු ඇමැතිවරයකු වූ අමරසිරි දොඩංගොඩගේ බෑණනුවන් වන චන්දිම වීරක්කොඩි ඒ අතර වන අතර, මෙවර ජයගත් හිටපු ඇමැති දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න දැනටමත් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්ව සිටින මහින්දානන්ද අලුත්ගමගේගේ මයිලනුවන් බවද කිව යුතුය.
පසුගිය යහපාලන ආණ්ඩුවේදී එකට පාර්ලිමේන්තුව නියෝජනය කළ පිය පුතු දෙපළක් වන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හා ගම්පහින් තේරී පත්ව සිටි චතුර සේනාරත්නය. එහෙත් මෙවර මැතිවරණයෙන් ඒ චතුර පුතුට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව අහිමිවීම විශේෂයෙන් කැපී පෙනේ.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නිතර පැවසූ තේමා පාඨයක් වූයේ මගෙන් පසු දේශපාලනයේ කිරුළ හිමිකර දීමට කිසිවකුත් මට නැත යන්නය. ජේ.ආර්.ට එසේ වුවද අද දක්වා අපේ දේශපාලන භූමියේ තම ඥාතීන්ට කෙසේ හෝ ඔටුන්න හිමිකර දීමට උත්සාහ කරන දේශපාලනඥයන් හිඟ නැති බව පැවසිය යුතුය.
යසවර්ධන රුද්රිගූ