
මෙවර මහමැතිවරණය කලකට පසු කැපී පෙනෙන වෙනසක් මතුකළ එකකි. ඒ වෙනස ප්‍රතිඵලවල පමණක් මතු වූයේ නොවේ. මෙවර මැතිවරණ සමය තුළ පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසාම ප්‍රචාරණ කටයුතුවල ද කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබුණි. බොහෝ අපේක්ෂකයෝ මෙවර පාරට බැස මග දෙපස බිත්ති සරසනු වෙනුවට අන්තර්ජාල ඩිජිටල් මාවතට බැස සමාජජාල බිත්ති පුරා සිය දැන්වීම් ඇලවූහ. මේ සඳහා සමහරැ වෙනම මෙහෙයුම් කණ්ඩායම් යොදා තිබූ අතර මුහුණු පොත, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි ප්‍රසිද්ධ සමාජමාධ්‍ය ජාලයන්හි ප්‍රචාරණ සුනාමියක් මැඩපැවැත්විය නොහැකි ආකාරයට පැතිර ගොස් තිබුණි. ටික දිනකට තමතමන්ගේ මුහුණු පොත් තමන්ට අහිමිව ගිය ආකාරයක් අත්විඳින්නට ඒවා පරීශීලනය කරන උදවියට සිදුවිය. මේ සමාජ ජාල ප්‍රචාරක සුනාමිය හොඳට සැලසුම් කර ඩිජිටල් ලෝකයට මුදා හැර තිබූ අතර ඒ සඳහා අපේක්ෂකයෝ අතදිගහැර වියපැහැදම් කර තිබුණී. සාමාන්‍ය දිනවලට වඩා සමාජ ජාල තුළ දැන්වීම් ප්‍රචාරණය සියයට 300කින් පමණ ඉහළ ගිය අතර ඒ සඳහා දැරූ වියදම ලක්ෂ 100ත් පන්නා තිබුණි.
ප්‍රධාන පක්ෂවල කැපී පෙනෙන අපේක්ෂකයන් සියල්ලම පාහේ මුහුණු පොත පෙරටු කර ගත් සමාජ ජාල පිහිට පතා තිබුණි. මේ ප්‍රවණතාවය දැන් වසර ගණනාවක් තිස්සේ ව්‍යාප්ත වෙමින් පැතිර යන්නකි. බහුතර ජනතාව වෙත කෙළින්ම පහසුවෙන්ම ළඟා විය හැකි සාර්ථක මාධ්‍යයක් ලෙස මුහුණුපොත කලඑළි බැස ඇත්තේ කලෙක සිටය. අපේ සල්ලිකාර දේශපාලකයන් හට මේ නවමාධ්‍යයේ ද දොරටු “හායී!” කියා විවරව පවති. මේ නිසාම අතදිගහැර සමාජ මාධ්‍ය ප්‍රචාරණයට වියදම් කළ ඔවුන්ට දැන් සතුටු විය හැකි ප්‍රතිඵල ලැබී හමාරය.
පසුගිය කාලයේ ඉවක් බවක් නැති සේ පෞද්ගලික ජාල ගිණුම් තුළට මේ ප්‍රචාරණ දැන්වීම් බලෙන්ම වාගේ ඇතුළු වී තිබුණේ ඒ සඳහා විශේෂඥ දැනුම සහිතව කටයුතු කරන ආයතනවලට මිලියන ගණන් බලිබිලී දීමෙනි. මේ පිදේනිවල බලය කෙතරම්ද යත් සමහරුන්ට මේ තමන්ගේ මුහුණුපොතදැයි සැක සංකා මතුවන තරමටම දේශපාලන දැන්වීම් සුනාමිය පෞද්ගලික ජාල ගිණුම් තුළ ජංජාලයක් ඇති කර තිබුණී. ෆේස්බුක් හෙවත් මුහුණුපොත පමණක් භාවිතා කරන ලක්ෂ 620ක් වූ පිරිස මේ සුනාමියේ ගොදුරු බවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පත්ව උන්හ.
නමුත් මේ ජාල - ජංජාලය මගින් ජනතාව අල්ලා ගැනීමේ වාසනාව ලද්දේ සැබැවින්ම අතමිට සරුසාර කිහිපදෙනෙක්ට පමණි. තමන්ගේම සුවිශේෂී ෆේස්බුක් පිටුවක් අරඹා ජනගත කරන්නට සාමාන්‍යයෙන් අව වශයෙන් රුපියල් 20000ක්වත් යට කළ යුතුය. නිශ්චිත ප්‍රදේශයක තෝරාගත් ඉලක්කගත ජන කණ්ඩායමකට සිය පණිවුඩය ලබා දෙන්නට සාමාන්‍යයෙන් 75000ට වැඩියෙන් වියදම් කළ යුතුය. සුනාමියක් ලෙස අනුන්ගේ ගිණුම් තුළට වැදෙන්නට නම් මෙලෙස දිනපතා මුදල් වියදම් කළ යුතුය.
මුහුණු පොත ඔස්සේ දැන්වීමක් ප්‍රචාරය ලේසී පහසු කාරියක් නොවේ. ඒ සඳහා යන වියදම හුදී ජනයා හට හිතාගන්නටවත් නොහැකි මට්ටමකය. මූලික මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වන සමයේ ෆේස්බුක් දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් පළ කළ දැන්වීමකට අනුව ඔවුන් එක් දිනයයක් තුළ ෆේස්බුක් මගින් 32000ත් 72000ත් අතර නිශ්චිත පිරිසක් වෙත පණිවුඩ ලබාදීමට රුපියල් 12500ක අවම මුදලක් අයකර ගන්නා බව පළ කර තිබුණි. දින 2ක් සඳහා මෙයට වැය වන උපරිමය රුපියල් 24000කි. එම දැන්වීම 60000-150000කට ළඟාවෙන බවට ඔවුහු සහතික වෙති. දින 07ක කාලයක් ෆේස්බුක් තුළින් ලක්ෂ 05කට සිය පණිවුඩය ප්‍රචාරණයට මේ ආයතනය ගන්නේ රුපියල් 64000කි. මේ මැතිවණ ප්‍රචාරක උණුසුම ඇරඹීමට පෙර පෙබරවාරියේ පමණ තිබූ මිල ගණන්ය. මැතිවරණ උණුසුම සමඟ හටගත් ප්‍රචාරක සුනාමියත් සමඟ කලින් කීවාක් මෙන් මේ වියදම සති දෙකක් ඉක්මෙන්නටත් පෙර සියයට 300කින් ඉහළ ගොස් තිබුණි.
අදාළ දැන්වීම ඩිජිටල් කුණු බක්කියකට යාමෙන් හෝ ප්‍රතික්ෂේප වීමෙන් හෝ අවහිර වීමෙන් වළක්වාගෙන ඉලක්කගත ප්‍රෙක්ෂක පිරිසගේ ගිණුම් වෙත ස්ථීරවම ළඟාවෙන බවට මේ ආයතන සහතික කරයි. කොරොනා පලහිලව්ව නිසා ජනතාවට ළංවීමට පහසු ආරක්ෂාකාරී මගක් සොයමින් සිටි දේශපාලක පිරිසට ජාලයේ නිර්මිත වූ මේ බුකී අවකාශය වෙස්වලාගත් ආශීර්වාදයක් විය. දැන්වීම අදාළ අය නැරඹූ බවත්, ඔහු හෝ ඇයගේ කැමැත්ත අකමැත්තත්, විවේචන විචාර ආදියත් එවේලේම සජීවී ලෙස ලැබෙන නිසා මේ ෆේස්බුක් දැන්වීම් සෙල්ලම පසුගිය සමයේ සෑම පක්ෂයකින්ම හරිහරියට ක්‍රියාත්මක විය. ඒ නිසාම ඔවුන්ට හරිහරියට වියදම් දරන්නට ද සිදුවිය.

සිදුවිය යුතු සේම මෙවර මුහුණු පොතේ ද වැඩිම මැතිවරණ ප්‍රචාරක වියදම දරා ඇත්තේ පොදුජන පෙරමුණය. මුහුණු පොතේ ප්‍රචාරක කටයුතු සඳහා ජූලී 02- අගෝස්තු 01දක්වා කාලයේ එම පක්ෂය රුපියල් මිලියන 26ක් වැය කර තිබුණී. සමගි ජන බලවේගය රුපියල් මිලියන 18කි. එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 06කි. ජාතික ජන බලවේගය රුපියල් මිලියන 2කි. අපේ ජන බලවේගය රුපියල් මිලියන 03ක්ම වැය කර තිබූ අතර ඉලංගෙයි තමිල් අර්සු පක්ෂය රුපියල් මිලියන 01ක් වියදම් කර තිබුණි. ඉතිරි පක්ෂ සියල්ලම එකතුව ගත්විට මුහුණු පොතට රැපියල් මිලියන 02ක් ගෙවා තිබුණි. මේ අනුව මේ සීමිත කාලයට සියලු පක්ෂ එකතුව මුහුණු පොතේ සිය පම්පෝරිය ලියන්න දරා ඇති මුළු පිරිවැය රැපියල් ලක්ෂ 600කි.
විය යුතු සේම මේ වියදම්කාරයන් වැඩියෙන්ම වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. එහි ජාල දැන්වීම් වියදම රුපියල් ලක්ෂ 200කට ආසන්නය. මේ සඳහා අවම වියදම් දරා ඇත්තේ උතුරු මැදය. එය රුපියල් 881,060කි.
මුහුණු පොත දැන්වීම් හැසිරීම නිරීක්ෂණ කරමින් සජිව දත්ත සපයන අඩවියක් වන Ad-library tool මගින් පෙන්වා දෙන දත්ත අනුව ජූලි මස 26දා වනවිට රුපියල් ලක්ෂ 555කට අසන්න (55507437.53ක) මුදලක් විවිධ පක්ෂ අපේක්ෂකයන් විසින් මැතිවරණයට සම්බන්ධ දැන්වීම් 19,717ක් වෙනුවෙන් වැය කර තිබුණි. එම ජූලි 26 දත්ත අනුව ප්‍රධාන පෙළේ වියදම්කාරයන් 10දෙනා අතර මුල් තැන ගෙන තිබුණේ සජිත් ප්‍රේමදාසය. ඔහු රුපියල් 2404511.77ක් මෙදා ෆේස්බුකියට වියදම් කර වියදම්කාරයන් අතර මුල්තැන ගෙන තිබුණි. දෙවෙනි තැන ගත් අංගජන් රාමනාතන් රුපියල් 2069393.91ක්ද, කණිෂ්ක සේනානායක රුපියල් 1767367.34ක්ද, සංජීවනී ගුණරත්න රුපියල් 1506476.35ක්ද, හර්ෂද සිල්වා 1296227.83ක් ද, සුනේත්‍රා සමරකෝන් රැපියල් 1280139.25ක් සහ ආන්දෝලනාත්මක චරිතයක් වන විජේදාස රාජපක්ෂ රුපියල් 1011203.97ක්ද වියදම් දරා තිබුණි.
මෙලෙස බලයේ රස දන්නා කලින් ධූර හෙබැවූ 208 දෙනෙක් ඇතුළු අතමිට සරැ කිහිපදෙනෙක් අවසන් සති කිහිපය තුළ ජාලය තුළ දැන්වීම් ජංජාලයක් මතු කරන්නට මිලියන ගණනින් වියදම් දරා ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සොයා බලන මධ්‍යස්ථානයේ (CMEV) නිරීක්ෂණයට හසුව තිබේ. ඔවුන්ගේ Ad-library tool මගින් පෙන්වා දෙන එක් නිදසුනකට අනුව මුහුනු පොත ඔස්සේ දැන්වීම් 33000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රචාරය වී තිබුණි. ඒ සඳහා රුපියල් මිලියන 108කට වැඩි (108049456.80ක) ඇදහිය නොහැකි තරම් වූ වියදමක් දරා තිබුණි.
මැතිවරණය අවසන් සමයේ දේශපාලන ඕපාදූප මෙහෙයුම් පණගසා අවුත් සිය අපේක්ෂකයාට සුදු හුණු ගෑමේත් ප්‍රතිවාදීන්ට මඩ ගැසීමේත් සුපුරුදු ඉපැරැණි මාධ්‍ය මෙහෙයුම ඩිජිටල් ලෝකයෙත් සුනාමියක් ලෙසින් ක්‍රියාත්මක කළ අයුරු CMEV නිරීක්ෂණය කර තිබුණි. සියයට 90ක්ම මේ ඩිජිටල් සුනාමිය සඳහා අතදිග හැර වියදම් දරා තිබුණේ ඡන්ද අපේක්ෂකයන්මය. එය රුපියල් මිලියන 514කි.
- සුගත් පී.කුලතුංගආරච්චි