2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

යහපාලනයෙන් නඩු වැටුණු මැති ඇමැතිලා

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

2015 දී යහපාලන රජය බලය ලබාගත්තේ දූෂණය තුරන් කරන බවට පොරොන්දු රාශියක් දෙමින් හා යහපාලනය ස්ථාපිත කරන බව කියමිනි. මහින්ද රාජපක්ෂ රජයේ සාමාජිකයන්ට එරෙහිව පැවැත්වූ විවිධාකාර විමර්ශනයන්ට එකී පරිපාලනය උඩගෙඩි දුන්නේය. කෙසේ වුවද වැඩි කල් යන්නට මත්තෙන් එම රජය තමන්ගේම විෂමාචාරවලම එරැණේය. අද වන විට දූෂණ චෝදනා එල්ල කොට නඩු පැවරෑ අය බොහෝ දෙනකුට නැවත පාර්ලිමේන්තුවට එන්නට වරම් ලැබී තිබේ. නීතිය සමඟ පොර බදමින් ඉන්නා පක්ෂ දෙකේම ජය ලැබූ අය කිහිප දෙනකු පිළිබඳ විස්තර පහත දැක්වේ.

ප්‍රේමලාල් ජයසේකර

ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට පසුගිය මාසයේ මරණ දඬුවම නියම විය. 2015 ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී එක් අයකු වෙඩි තබා මරණයට පත් කිරීම හා දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම දඬුවම නියම විය. 2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණයට තරග කළ ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයගත් අයගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයට ආවේය. පසුගිය සතියේදී ඔහු මනාප 100,000කට වඩා ලබා ගනිමින් පොදුජන එක්සත් පෙරමුණේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ආවේය.

නාමල් රාජපක්ෂ

නාමල් රාජපක්ෂ මුහුණදුන් චෝදනා අතර නිල් බලකාය, තරුණයාට හෙටක් සහ කාල්ටන් සුපර් ක්‍රීඩා සමාජයට අදාළ සිද්ධි මුල් වී තිබිණි. අමෙරිකානු ඩොලර් මිලියන 650ක ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 70ක් ලබාගත් බවට චෝදනා කොට ඔහු 2016 දී අත්අඩංගුවට ගනු ලැබීය. නාමල් රිමාන්ඩ් භාරයේ තබා ඇප මත මුදාහරින ලදී. හෙලෝ කෝර්ප් නම් වූ සමාගමකින් කොටස් මිලදී ගෙන තමාගේ මන්ත්‍රී ආදායම් ඉක්මවා යන අරමුදලක් යොදමින් ගවර්ස් කෝපරේට් සර්විස් (පෞද්) යන සමාගමක් පිහිටුවීමට කටයුතු කළැයි නාමල් සහ තවත් පස්දෙනකුට චෝදනා එල්ල විය. අනතුරැව විමර්ශන ඇරඹිණි. නාමල් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 170,000කට ආසන්න මනාප ලබා ඉහළම ස්ථානයට ආවේය.

විමල් වීරවංශ

ව්‍යාජ හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් සහ ව්‍යාජ දින යොදාගනිමින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ වූ ශශීට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවක් පැවරුවේය. ඉන් පසුව ඔහුට ද උපන් දින දෙකක් තිබීම පිළිබඳ ප්‍රශ්නයක් මතු විය. 2015 ඔක්තෝබරයේ දී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ වූ නොගැලපීම් සම්බන්ධයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ඔහුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබීය. රුපියල් මිලියන 21ක පාඩුවක් සිදු කරමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, රජයට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් 2017 ජනවාරියේ දී ඔහුව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරිණි. වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 267,000ක් ලබාගෙන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ආවේය.

උදය ගම්මන්පිල

ඩිජිටල් නොමිනීස් නම් සමාගමක කොටස් ව්‍යාපාරික ධම්මික පෙරේරාට විකුණන අවස්ථාවේදී රුපියල් මිලියන 20ක් අයුතු ලෙස ලබාගත් බවට චෝදනා කරමින් කොළඹ මහාධිකරණයේ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩු පවරනු ලැබිණි. මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගෙන බවද සඳහන්ය. මෙම නඩුව තවමත් විමසමින් පවතී. උදය ගම්මන්පිල මහතා මනාප 140,000ක් ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන්වැනි ස්ථානයට පත් වූවේය.

පාඨලී චම්පික රණවක

2018 පෙබරවාරියේ රාජගිරියේ සිදුවූ රථවාහන අනතුරක් සම්බන්ධයෙන් රණවක මහතා ඇප මත මුදාහැර තිබේ. අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදෙමින් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී, ඔහුට කොළඹ මහාධිකරණයේ නඩු පැවරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට ඔහු පත්වූයේ මනාප 65,000ක් ලබාගනිමිනි.

නාලක ගොඩහේවා

සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය උදෙසා චෝදනා එල්ල කොට, ආරක්ෂක හා හුවමාරු කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතාව 2015 දෙසැම්බර් මාසයේදී (එෆ්.සී.අයි.ඩිය) විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට සහ තවත් තිදෙනකුට, මහජන දේපල පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේය. ඒ විනිමය හුවමාරැ කොමිසමෙන් (SEC වෙතින්) නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 5ක් තාරුණ්‍යයට හෙටක් වෙත ගෙවීම සම්බන්ධ චෝදනාවකටය. නඩුව තවමත් විභාග වෙමින් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට නාලක ගොඩහේවා පත්වූයේ 325,000කට වඩා මනාප ලබාගනිමිනි.

ප්‍රසන්න රණතුංග

කොළොන්නාවේ, මීතොටමුල්ලේ පිහිටි ඉඩමක් වැඩිදියුණු කිරීම හා එහි සිටි අනවසර පදිංචිකරැවන් ඉවත් කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 63ක් ලබාගැනීම උදෙසා තර්ජනය කොට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට රණතුංග මහතාටත් ඔහුගේ බිරිඳටත් එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබිණි. රණතුංග මහතා මනාප 317,000ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානය පත් විය.

ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තුවේ මිරිස් දියකළ වතුර ගැසූ බවට නරක නාමයක් දිනාගත් රණවීර මහතාව 2008 දී, පළාත් පාලන මැතිවරණයේ එ.ජා.ප. අපේක්ෂකයකු හට ශාරීරිකව හිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට 2018, රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය. හම්බන්තොට දී ප්‍රචණ්ඩකාරී විරෝධතාවන්ට සහභාගි වීම සම්බන්ධයෙන් ද 2017 දී ඔහුව රිමාන්ඩ් භාරයට ගනු ලැබීය. පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරීමෙන් අනතුරැව ඔහුට එහි අසුන් ගැනීම තහනම් කරන ලදී. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 83,000ක් ලබා අටවැනි ස්ථානයට පත් විය.

නලින් ප්‍රනාන්දු

සතොසට අයත් රුපියල් මිලියන 5.2ක අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් 2013 දී, සතොස හිටපු සභාපති වූ ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් භාරයට පත් විය. 2018 ඔක්තෝබරයේ දී ඔහු සියලු චෝදනාවලින් නිදහස් කෙරිණි. 2015 ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී සතොසට අයත් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහු රිමාන්ඩ් භාරයේ පසුවිය. ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී මනාප 70,000කට ආසන්න සංඛ්‍යාවක් ලබා 11 වැනි ස්ථානයට තේරීපත් විය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු

2010 සිට 2014 දක්වා මැතිවරණ කටයුතු සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට සේවකයන් 153 දෙනකු නීතිවිරෝධී ලෙස අලුතෙන් බඳවා ගනිමින් රජයට රැපියල් මිලියන 40ක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට ප්‍රනාන්දු මහතාට සහ තවත් දෙදෙනකුට එරෙහිව දූෂණ නඩුවක් පවරනු ලැබීය. එම නඩුව තවමත් විභාග වෙමින් පවතී. ඊට අමතරව 2013 පළාත් සභා මැතිවරණයේ දී, තම පුත්‍රයාගේ මැතිවරණ කටයුතුවලට සහයෝගය දීම උදෙසා ලක් සතොස වෙළෙඳසල්වලින් රුපියල් මිලියන 5.2ක් වටිනා භාණ්ඩ මුදාහරින ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් ද කුරැණෑගල මහාධිකරණයේ ඔහුට නඩු පැවරිණි. සාක්ෂි පරස්පර වීමත්, තවත් හේතු නිසාත් ඔහුව 2018 දී එම දෙනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. 2010 අමාත්‍ය ධූරය දරන කාලයේ වත්කම් හා දේපල පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අසමත් වීමට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයේදී ප්‍රනාන්දු මහතාව නිදහස් කරන ලදී. එහිදී පැමිණිලිකරැවෝ චෝදනා ඔප්පු කිරීමට අසමත් වූහ. කුරැණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ප්‍රනාන්දු මහතා පත් විය. ඒ මනාප 200,000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙනයි.

සමන්ප්‍රිය හේරත්

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ හේරත් මහතා 2015 දී, මැතිවරණ කටයුතු නවතා දැමිය යුතුව තිබූ කාල පරිච්ඡේදය තුළ සමෘද්ධි නිලධාරීන්ගේ රුස්වීමක් පවත්වමින්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට උත්සාහ දැරීම නිසා අත්අඩංගුවට පත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරැණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී ලැයිස්තුවේ ඔහු 6 වැනි ස්ථානයටත් පත්වන්නේ මනාප 66,000කට වඩා ලබාගෙනයි.

රිෂාඩ් බදියුදීන්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට උපකාර කිරීම යන චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් බදියුදීන් මහතා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එම ඉල්ලීම නිෂ්ප්‍රභා විය. 2012 ඔක්තෝබරයේ දී මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ කටයුතුවලට බලපෑම් කිරීම හේතුවෙන් 2014 දී බදියුදීන් මහතා මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව ඉල්ලීය. එහිදී ඔහු කියා සිටියේ මහේස්ත්‍රාත්වරයාට ඇමැතුමක් දීම සඳහා තම දුරකථනය අවභාවිතයට ලක් වී ඇති බවයි. වන්නි දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ලැයිස්තුවේ මුල්තැනට බදියුදීන් මහතා පැමිණියේ මනාප 28,000කට වඩා හිමිකර ගනිමිනි.
(2020 අගෝස්තු 9 Sunday Times පුවත්පතේ පළවූ නාමිනි විජේදාස ලියූ What a motley Crew in our August assembly ලිපියේ පරිවර්තනයයි.)

 පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ