ඔහු නමින් සුනිල් හඳුන්නෙත්තිය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) හිටපු සභාපතිවරයාය. මෙවර ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපේක්ෂකයා වූ හඳුන්නෙත්ති පිළිබඳ රටම කතා කළහ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රීවරයකු ලෙස පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ඔහුව සුවිශේෂී කොට හැඳින්වූහ. නමුත් අවාසනාවන්ත ලෙස ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්නට අවැසි ජනවරම ඔහුට නොලැබිණි. මන්ත්‍රීධූරයක් නොලද නමුත් ඔහුගේ කතාව ලියා තැබීමට බොහෝ හේතු කාරණා ඇත. මන්ද යත් පැරදුණු හඳුන්නෙත්ති පිළිබඳ තවමත් රටම කතා කරමින් සිටිනි.
හඳුන්නෙත්ති පක්ෂ දේශපාලනයේ නියුතු වුවද ගෙවුණු දශකයකට ආසන්න කාලය තුළ ඔහුටම අනන්‍ය ප්‍රතිරෑපයක් ගොඩනගා ගත්තෙකි. ඔහුගේ භූමිකාව කැපී පෙනුණේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හරහාය. 2000 වසරේ සිට වසර විස්සක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හඳුන්නෙත්ති මහතා ආරම්භයේ කෝප් කම්ටුවේ සාමාජිකයෙක් ලෙස පත්වීම් ලද්දේය. අවසන් පාර්ලිමේන්තුවේ වසර පහකට ආසන්න කාලය තුළ ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මහතා වසර විස්සක්ම කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇත. මෙම කාලය තුළ තමා වෙත පැවරුණු වගකීම ඔහු නොපිරිහෙලා ඉටුකළ බවට පක්ෂ විපක්ෂ බොහෝ දෙනා මැතිවරණ සමයේ දී සාක්ෂි දැරූහ.
කෝප් කමිටුව පිළිබඳ මහජනතාවට වැඩි අවබෝධයක් ලැබුණේ හඳුන්නෙත්ති සභාපතිවරයා යටතේ බව කිව හැකිය. ඔහු විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් ඊට හේතු විය. ඉන් ප්‍රධානම තීරණය වූයේ කෝප් කමිටුව මාධ්‍ය වෙත විවෘත කිරීමයි. එය තරමක් අභියෝගාත්මක තීරණයක් වූ නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. තවත් සුවිශේෂී තීරණයක් වූයේ කෝප් කමිටුව විසින් ස්ථානීය පරීක්ෂා සිදු කිරීමට ගත් තීරණයයි. ඒ අනුව රාජ්‍ය ආයතන කිහිපයක්ම කෝප් කමිටු සාමාජික පිරිස විසින් පරීක්ෂා කෙරිණි. බලතල අනුව මෙවන් තීරණ ගැනීමේ හැකියාවක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉතිහාසය පුරාවට හිමි වී තිබුණි. නමුත් ඉන් නිසි ඵල ලබාගැනීමට හැකි වූයේ හඳුන්නෙත්ති මහතාගේ නායකත්වය යටතේය.
බැඳුම්කර වංචාව පිළිබඳ රටට හෙළි කිරීමේ ප්‍රමුඛ ගෞරවයක් කෝප් කමිටු සභාපතිවරයා ලෙස හඳුන්නෙත්ති මහතාට හිමිවෙයි. එසේම ඔහුගේ ප්‍රධානත්වයෙන් කොප් කමිටුව ඔස්සේ හෙළිදරව් වූ ප්‍රබල වංචා සහ දූෂණ රුසක් වෙයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ වංචා දූෂණ, වරාය අක්‍රමිකතා, තෙල් සංස්ථාවේ අක්‍රමිකතා දැක්විය හැකිය. ඊට අමතරව රටේම අවධානය දිනාගත් සිද්ධීන් ලෙස එයාර් බස් ගනුදෙනුව, ක්‍රිකට් මූල්‍ය වංචාව ආදිය දැක්විය හැකිය. රජයේ මූල්‍ය පාලන බලතල හිමි ප්‍රධානතම ආයතනය වන පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉතිහාසය පුරා සාධනීය ලෙස ඉටු නොවූ බව කීමට ඕනෑ තරම් සාක්ෂි සාධක තිබේ. කෙසේ නමුත් මෑත අවුරුදු පහක කාලය තුළ ජනතා මුදල් අවභාවිතවලට එරෙහිව යම් පමණකට හෝ දායකත්වයක් ඉන් ලැබුණු බව පෙනී යයි. එහි ගෞරවය වැඩිමනක් හිමිවිය යුත්තේ පැවති රජයට නොව සුනිල් හඳුන්නෙත්ති ප්‍රමුඛ කෝප් කමිටුවටයි.
සුනිල් හඳුන්නෙත්ති මහතාගේ පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපන වපසරිය පිළිබඳ කෙටියෙන් හෝ සොයා බැලීම වටියි. ඔහුගේ උපන් ගම මාතර දෙණියාය කොටපොළ ප්‍රදේශයයි. කොටපොළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වී ඇත. හෙතෙම උසස් පෙළින් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ උපාධිය ලබා තිබේ. හඳුන්නෙත්ති මහතා මේ වන විට දෙදරු පියෙකි. දේශපාලන භූමිය තුළ හිතවත්හු ඔහුව "හඳුන්" නැමති කෙටි නමින් හඳුන්වති.
මෙවර පාර්ලිමේන්තු වරම් නොලැබුවද, හඳුන්නෙත්තිගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අවධානය යොමු කිරීම වටියි. මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට බට ඔහු 2015 මැතිවරණයේදීද පරාජය ලැබුවේය. අවසානයේ ඔහු පාර්ලිමේන්තු පැමිණියේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි. එවන් පසුබිමක් තුළ වුවද මෙවරද ජාතික ජනබලවේගය සුනිල් හඳුන්නෙත්ති මහතාව මාතර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට එක් කර තිබුණි. කෙසේ නමුත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩි බරක් තබමින් විකල්ප ධාරාවේ උගතුන් බුද්ධිමතුන් මෙන්ම කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ද මාතරට පැමිණියහ. ඔවුහු හඳුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් මැතිවරණ වේදිකාවලට පවා ගොඩවූහ. මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් රුසක් ප්‍රසිද්ධියේම හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රීවරයකු බව කියා සිටියහ.
කෙසේ නමුත් මනාප පන්දහසකට ආසන්න සංඛ්‍යාවකින් සුනිල් හඳුන්නෙත්ති මහතාට පාර්ලිමේන්තු අසුන අහිමි විය. ජාතික ජනබලවේගය ද පරාජිත අපේක්ෂකයන් නැවත ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගෙන ඒමට කල් ඇතිව තීරණයක් ගෙන තිබුණි. එම නිසාවෙන් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබාගත නොහැක. කෙසේ නමුත් මෙම පාරාජය පිළිබඳ විවිධ පාර්ශ්ව එකිනෙකට පරස්පර මත දරන බව පෙනී යයි. අප කළ සොයා බැලීමට අනුව මෙම පරාජය අරභයා මාතර ජනතාවට බැණ වදින බොහෝ දෙනකු සමාජ මාධ්‍ය තුලින් හමුවිය. එසේම හඳුන්නෙත්ති මාතරින් මැතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව ජවිපයට දොස් පවරන උගත් සමාජ ක්‍රියාකාරීහු ද වෙති. කෙසේ නමුත් සුනිල් හඳුන්නෙත්තිගේ පරාජය පිළිබඳ ජාතික ජනබලවේගය නම් කඳවුරට අයත් නොවන බොහෝ පිරිසක් දුක්වන බව නම් ඉතා පැහැදිලිව පෙනී යයි. එය මෙරට දේශපාලන ඉතිහාසයේ එක්තරා සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් බව අපගේ අදහසයි.
අවසානයේ දැක්විය යුතු වැදගත් කරුණ වන්නේ හඳුන්නෙත්ති නොමැති නමුදු හඳුන්නෙත්තිගේ කාර්යභාරයේ දිගුවක් පාර්ලිමේන්තුවේ ඉදිරි වසර පහක කාලයට ද අවැසි බවයි. කෝප් කමිටුවට නීති අංශය සම්බන්ධ කර ගැනීම එම දිගුවේ ප්‍රධාන කාර්යභාරය ලෙස අපි දකිමු. එසේම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා තීරණය සම්බන්ධව පැහැදිලි කිරීම් ලබාගැනීමේ හැකියාව ද කෝප් කමිටුවට ලැබීම වටියි. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපතිත්වයේ පූර්වාදර්ශය සහිතව ඉදිරි සභාපතිවරයා ද ක්‍රියා කරන්නේ නම් ජනතා මුදල් බිලියන ගණනක් ආරක්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුවට හැකිවනු නොඅනුමානය.
රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ කෝප් කමිටුවට. මම හිතනවා මගේ විෂය දැනුම අනුවත් මගේ හැකියාව අනුවත් මම උපරිම සාධාරණයක් ඊට ඉටු කළා කියලා. අනිත් කාරණය පාර්ලිමේන්තු කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය පිළිබඳ මුදල් කාරක සභාවෙත් සාමාජිකයෙක් විදිහට මම කටයුතු කළා. 2004 – 2005 සන්ධාන ආණ්ඩුවේ කුඩා හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා විදිහට හිටියා. කර්මාන්ත ගම්මාන දහසක ව්‍යාපෘතිය කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කළා.
දැනට විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී ඉන්න "එතෙර අපි" සංවිධානයේ සහාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ නියෝජිතයෙක් විදිහට කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙක් විදිහට පරාජයන් දරාගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේක ජනතාවගේ කැමැත්ත. සම්පූර්ණ මන්ත්‍රීධූරයක් ලබාගන්න ඡන්ද අසූ දහසක් විතර අවශ්‍ය වුණා. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ ඉතිරිවන මන්ත්‍රීධූරය ලබාගැනීමට ඡන්ද පන් දහසක් විතර තමා මදි වුණේ.
ඉදිරියේ දී අපි දේශපාලනය කරන එක නතර වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව කියන්නේ දේශපාලනය කරන්න තියෙන එක තැනක් විතරයි. ජනතාවට අපේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු නොගියත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව සමඟ තමයි ඉදිරි කාලයේ දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනතා අවශ්‍යතාවයන්, ප්‍රශ්න ගැටලු වෙනුවෙන් අපිට පාර්ලිමේන්තුව ඇතුළේ වගේම එළියෙත් අරගලයක් තියෙනවා. දැන් ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳන්න විශාල තුනෙක් දෙකේ බලයක් ජනතාව දීලා තියෙනවා. මම හිතනවා ආණ්ඩුව ඒ වගකීම ඉෂ්ඨ කරන්න ඕනෑ. ඒ වගකීම ආණ්ඩුව ඉෂ්ඨ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොකෙරෙන තැන්වලදී ජනතාව එක්ක එකතුවෙලා ආණ්ඩුවේ අවධානය ඒ තැන්වලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
චමිඳු නිසල් ද සිල්වා