ඉන්දියාවේ සිදුවූ මහා ගුවන් අනතුරට හේතු වශයෙන් මේ වනවිට කරුණු කාරණා රැසක්ම ඉදිරිපත්ව තිබේ. එම අවස්ථාවේ බලපෑ වේගවත් සුළං ප්‍රවාහය, නියමුවන් හදිසියේ ගත් වැරැදි තීරණ, තෙත්ව තිබූ ගුවන් පථයේ අනතුරුදායක තත්ත්වය, ගුවන් ගොඩබෑමේ පද්ධතියේ වැරදි දත්ත බඳු කරුණු රැසක් කේරලයේ ඛේදවාචකයට හේතූ වූ බව ගුවන් විශේෂඥයන්ගේ මතයයි.
ගුවන්යානය ගොඩබෑමේ පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පසු වෙනත් ගුවන් තොටුපළක් කරා හැරී නොයන්නට ගුවන් නියමුවන් ගත් වැරදි සහගත තීන්දුව මෙයට ආසන්නම තනි හේතුව ලෙස විශේෂඥයෝ කියති. යානය දෙවරක්ම පහත් කිරීමට උත්සාහ දරා ඇති අතර අයහපත් කාලගුණය තුළ වෙනත් තොටුපළක් කරා යාමේ ආරක්ෂක උපක්‍රමය අනුගමනයට නියමුවන් උත්සාහ කර නැත.
පසුගිය 7 වැනිදා රාත්‍රියේ බෝයිං 737 මාදිලියේ එයාර් ඉන්දියා යානයක් ඩුබායි සිට ඉන්දියාව බලා ආවේ මගීන් 190ක් රැගෙනය. මෙම යානය මෙයට පෙර ලෝකය පුරා කරක් ගසා තිබුණේ කොවිඩ් 19 නිසා ලෝකයේ විවිධ රටවල අතරමංව සිටි ඉන්දියානුවන් මවුබිම කරා රැගෙන එන්නටය. මෙවර යානය පුරා සිටියේද එබඳු අනාථයන් පිරිසකි. අවට භුමියෙන් මේසයක මතුපිට මෙන් උස්ව පිහිටා තිබූ කැලිකොට් කාරිපූර් ගුවන් තොටුපළේ 10 වැනි ධාවන පථයට ගොඩබෑමේදී මාර්ගයෙන් පිට පැන්න යානය ගුවන් තොටුපළට අඩි 35ක් පහතින් පිහිටා තිබූ තැනි බිමට කඩා වැදී දෙකට කැඩී ගියේය. සිද්ධියෙන් ප්‍රධාන නියමු දීපක් සාතේ සහ සහායක අකිලේෂ් කුමාර් ඇතුළු නියමුවන්ද ඇතුළුව 19ක් මියගියහ. යානයේ කාර්ය මණ්ඩලය 6 දෙනෙකි. පියාසර අංක IX 1134 යානය අනතුරට මුහුණ දෙන විට එය තුළ අත දරැවන් 10 දෙනෙක් ද සිටි බව වාර්තාගතය. එදින රාත්‍රී 7.40ට පමණ යානය ගුවන් පථය වෙත ළංවෙද්දී පැවතුණේ අධික වර්ෂාවකි. මේ නිසාම නියමුවන්ට ගුවන් මඟ නිසිලෙස දිස් නොවීම නිසා ගුවන් පථයෙන් මීටර් 1000කට එපිටින් වූ නිදහස් පෙදෙසට ඇදී ගිය යානය ඉන් පහළට ඇද වැටීමෙන් සිදුවූ ඝට්ටනය හේතුවෙන් දෙකට කැඩී මේ ඛේදවාචකයට මුහුණ දී ඇත.
කැලිකොට් නැතිනම් දැන් හඳුන්වන පරිදි කොෂිකොඩ් කාරිපූර් ගුවන්තොටුපළ ලොව ගුවන් නියමුවන් අමාරුවේ දමන අන්දමේ පිහිටීමක් සහිත තොටුපළකි. එය පිහිටි භූමියෙන් අඩි 35ක් පමණ ඉහළට මේස තට්ටුවක් මෙන් එසැවී පිහිටා තිබෙන්නකි. කේරලය මේ දිනවල මුහුණපාන නා කපනා මෝසම් වැසි මැද තියා කාලගුණය යහපත් දිනයකත් එහි ගොඩබෑම විශ්වකර්ම වැඩකි. මේසයෙන් පහළට වැටුණ පිඟානක් සේ දෙකට කැඩීගිය යානයේ බඳ කපා සිද්ධියෙන් කම්පනයට පත්ව සිරවී සිටි මගී ජනතාව බේරාගන්නට සෞඛ්‍ය සේවකයන්ට සිදුවිය. ඉන්දියාවද අස්සන් තබා ඇති මොන්ට්‍රියෙල් සම්මුතියට අනුව මේ ගුවන් අනතුරට ලක්වූ එක් අයෙකුට ඉන්දියානු රුපියල් කෝටි 1.19ක් ගෙවීමට ගුවන් සමාගමට සිදුවනු ඇතැයි සැලවේ. මේ වනවිටත් සමාගම තාවකාලික සහන මුදල් ගෙවීමට කටයුතු අරඹා තිබේ. අවුරුදු 12 සහ ඉන් ඉහළ මියගිය අයෙක් වෙනුවෙන් ළඟම ඥාතියාට ලක්ෂ10ක්ද, 12න් පහළ අයෙක්ට ලක්ෂ 5ක්ද, බරපතළ තුවාල ලද අයකුට ලක්ෂ 2ක්ද, සුළු තුවාල සඳහා 50000ක්ද ලෙස මේ සහනය ලබාදේ. මේ අනතුරින් සිය දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. යානය ගිනි නොගැනීම නිසා මෑත කාලයේ සිදුවු දරුණුතම අනතුර ලෙස සැලකෙන මේ ඛේදවාචකයේ විනාශය මේ තරම් අවම වී ඇති බව විශේෂඥ මතයයි. තුවාල ලද අය කොෂිකොඩේ සහ මාල්ලප්පුරම් රෝහල් වෙත ගෙන ගොස් තිබුණි.
සුගත්