පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම් සම්බන්ධයෙන් මෙවර මැතිවරණය යම් සාධනීය ස්ථානයක පවතින බව නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරයි. මෙය සෞඛ්‍ය නිර්දේශවලට අනුව සාමකාමී අන්දමින් පැවැත්වූ මැතිවරණයක් බව ඔවුහු පෙන්වා දෙති.
“1947 සිට අද දක්වා මැතිවරණ හැත්තෑ හතරක් පවත්වා තියෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වූයේ දහසය වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. 1977 පසුව පැවැති මහ මැතිවරණ පිළිබඳව සාපේක්ෂව ගත්කල මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම ඉතාමත් යහපත් ආකාරයට පැවැත්වුණු මැතිවරණය යැයි නිරීක්ෂණ සංවිධායකයන් ලෙසින් අපිට කියන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයත් පැවතෙද්දී දකුණු ආසියාවේ රටවල්වලින් ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූ මුල්ම රට වන්නේත් අපේ රටයි.”
යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධයස්ථාන ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මංජුල ගජනායක පැවසුවේ එයද ඉතා සාර්ථක අන්දමින් මුහුණ දුන් බවයි.
“ශ්‍රී ලංකාව මෙම මැතිවරණයට මුහුණ දුන්නේ ජනාධිපතිවරණයේදී මෙන්ම නොවිසඳුණු ගැටලු රාශියක් සමඟිනි. උදාහරණයක් ලෙස ගත්විට මාධ්‍ය ක්‍රියාකාරීත්වය කිසිසේත්ම මැතිවරණ කොමිෂන් සභාවට පාලනය කරගන්නට නොහැකි වුණා. ඇතැම් පක්ෂපාතී වාර්තාකරණයක් සහ භාවිතයක් තිබුණා. එය ශ්‍රී ලංකාවේ අනාගතයේ පවත්වන කිසිදු මැතිවරණයකට හිතකර තත්ත්වයක් නොවෙයි. ඊට අමතරව රුපියල් පන්දහසේ මුදල බෙදාදීම, උපාධිධාරීන්ට පත්වීමට අදාළව පැවති සාකච්ඡා, කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන් විවිධ ව්‍යාපෘති හඳුන්වා දී පූර්ණ මැතිවරණ කාල සමයේ වක්‍රාකාරව ඡන්ද දායකයන්ට අල්ලස් ලබා දීමේ ක්‍රියාවලියක්දෝයි සැක හිතෙන මට්ටමට ක්‍රියාකාරී වීම වැනි සිදුවීම්වලින් පූර්ණ මැතිවරණ කාල සමයේ පැවතිය යුතු සාමකාමී නිදහස් සාධාරණ වාතාවරණ බිඳ වැටීමක් සිදුවුණා. අනාගතයේදී පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මෙම නීතිරීති, විශේෂයෙන් සමාජ ජාල මාධ්‍යවලට ද අදාළ විය යුතු වෙනවා. අවසන් පැය හතළිස් අට හෙවත් නිහඬ කාල සීමාවේදීත් සමාජ මාධ්‍ය භාවිතය ඉතාමත්ම ප්‍රබල වුණා. නිහඬ කාල සීමාවේදී එය නිහඬ වුණේ නැහැ. ඒ නිසා අනාගතයේදී ඒවා පිළිබඳව අපි තවදුරටත් සිතිය යුතු වනවා”
යැයි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක වැඩිදුරටත් දේශයට පැවසීය.
මෙවර මැතිවරණයේදී වෙනත් මැතිවරණයක් මෙන් ඡන්ද අපේක්ෂකයන්ට තමන්ගේ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට එතරම් අවස්ථාවක් හිමිවූයේ නැත. මේ නිසා අවුරුදු තිස් නවයක් පැරණි මැතිවරණ පනත සහමුලින්ම වෙනස් කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
1977 සිට සෑම මැතිවරණයක් අවසානයේදීම ගුරුවරුන් ඈත පළාත්වලට මාරුවීම්, පොලිස් ස්ථානාධිපතිවරුන්ට දඬුවම් මාරුවීම් ලැබීම්, රාජ්‍ය නිලධාරීන් මාරැවීම්, පළිගැනීම් සහ නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම් සිදුවුණි. නමුත් මැතිවරණ නිරීක්ෂකවරුන් මෙවර පෙන්වා දෙනු ලබන සුවිශේෂී සිදුවීම් වන්නේ අසහාය බලයක් ලැබී ඇති මැතිවරණයක් වුවත් එවැනි කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු බවය. එබැවින් මෙය ඉතාම සාමකාමී මැතිවරණයක් බව මංජුල ගජනායක පෙන්වා දෙයි.
ඡන්දය ගණනය කිරීම ඉතාමත් නිවැරදි බවත් විපක්ෂය මෙවර ලබාගෙන ඇත්තේ ඔවුන්ට හිමි අස්වැන්න බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක වැඩිදුරටත් අදහස් දක්වමින් දේශයට පැවසීය.
“කොවිඩ් 19 සමඟ මැතිවරණය අවස්ථා ගණනාවකදීම කල් දමන්නට සිද්ධ වුණා. ඒ වගේම කොවිඩ් නිසා මැතිවරණ ප්‍රචාරය සීමා වුණා. මේ සියල්ලම මැද මෙවර පැවැත්වූ මැතිවරණය සාර්ථකව අවසන් වූ බව අපිට පැවසිය හැකියි. අනෙක් රටවල් හා සසඳද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළු සෞඛ්‍ය අංශය කොවිඩ් වෙනුවෙන් කළ මැදිහත් වීම අපි අගේ කළ යුතු වෙනවා. මැතිවරණ කොමිසම තීරණාත්මක අවස්ථාවකදී මැතිවරණය කල් දැම්මා. යම් හෙයකින් ඒ වකවානුවේදී මෙම මැතිවරණය පැවැත්වූවානම් රට යම් බරපතල තත්ත්වයකට පත්වෙන්න තිබුණා. ඒ නිසා නිවැරදි කාලයක නිවැරදි ලෙසින් මෙම මැතිවරණය අවසානයේදී පැවැත්වූවා. ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන පවත්වා ඡන්දයට පෙර බාධක හඳුනාගැනීමට ගත් උත්සාහයක් නිරීක්ෂණ සංවිධාන ලෙස අපි අගේ කරනවා.”
යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි දේශයට අදහස් දක්වමින් පැවසීය.
කොවිඩ් වසංගතය පැවතියද ඡන්දදායකයන් තමන්ගේ වගකීම ඉටුකර ඇත. පැෆරල් සංවිධානය ද පෙන්වා දෙනු ලබන්නේ මෙම මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය මැතිවරණයට සාපේක්ෂව අඩු බවය. නමුත් ඡන්ද අපේක්ෂකයන්ගෙන් මුදල් හදල් යහමින් විදයම් කළ හැකිව තිබූ අපේක්ෂකයන්ට මෙම මැතිවරණය ගැටලුවක් වූයේ නැත. මෙවර සම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරයන් කළ නොහැකි විය. පෝස්ටර් ගැසීම, බැනර් එල්ලීම මෙවර තහනම් වුණි. මේ නිසා අඩු වියදමක් දැරිය හැකි ඡන්ද අපේක්ෂකයන්ට වඩා මුදල් හදල් ඇති ඡන්ද අපේක්ෂකයන්ට රූපවාහිනී දැන්වීම්, පුවත්පත් දැන්වීම් ආදී ප්‍රචාරණ මගින් තම මනාප අංකය ඡන්ද දායකයන්ට දැනුම්වත් කිරීමට හැකියාව ලැබුණි. මේ නිසා මුදල් හදල් ඇති ඡන්ද අපේක්ෂකයන්ට වැඩි අවස්ථාවක් ලැබුණ බවද නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. එබැවින් ඉදිරි මැතිවරණවලදී අපේක්ෂක වියදම් සීමා කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය ද පවසන්නේ 2010 – 2015 මැතිවරණය හා සාපේක්ෂව ගත් කල මෙවර මැතිවරණය ඉතාමත් සාමකාමී මැතිවරණයක් බවය.
“ඉතිහාසයේ ප්‍රථම වරට සෞඛ්‍ය ගැටලුත් සමඟ මැතිවරණයකට මුහුණ දෙන්න අපිට සිදුවුණා. පසුගිය කාලයේ යුධමය හේතුන් නිසා උතුරු නැගෙනහිර පළාත්වල ජාතික මැතිවරණවලදී යම් අභියෝගයක් එක්ක මැතිවරණ පැවැත්වුණා. නමුත් අනෙත් දිස්ත්‍රික්කවල එවැනි ගැටලු ඇතිවුණේ නැහැ.” යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක මනාස් මකීන් දේශයට අදහස් දක්වමින් පැවසීය.
කොවිඩ් වසංගතය මෙන්ම ඡන්ද දායකයන්ට තම ඡන්දය භාවිතා කිරීමට තිබූ උනන්දුව අඩුවීමට තවත් හේතූන් කිහිපයක් බලපෑ බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි. මෙවර තැපැල් ඡන්දය භාවිතා කිරීමද රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව අඩු විය. කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂයෙන් අවුරුදු හැටට වැඩි වැඩිහිටියන් තම ඡන්දය භාවිතා කිරීමට මැලිකමක් දක්වා ඇත. එමෙන්ම බොහෝ මැතිවරණ පැවැත්වූයේ සති අග දිනකදීය. නමුත් මෙවර සතියේ මැද දිනෙක (බදාදා) ඒ සඳහා යොදා තිබුණි. පෞද්ගලික අංශයේ රාජකාරි කරන බොහෝ දෙනා තම ඡන්දය දැමීමට ගමට යාමට දැක්වූයේ මැලිකමකි.
“අපි සෑම දිස්ත්‍රික්කයකටම ගොස් දේශපාලන පක්ෂ නියෝජිතයන් සංවිධාන නියෝජිතයන් මුණගැසුණා. බොහෝ ඡන්දදායකයන් ඔවුන්ගේ ඡන්දයට නිසි වටිනාකමක් ලබා නොදීම නිසා කලකිරී සිටියා. පසුගිය මැතිවරණවලදී ඡන්දයට ඉදිරිපත් වී මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ අපේක්ෂකවරුන්ට නැවත වරක් ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලබාදීපු අතීතයක් තියෙනවා. ඒ නිසා තම ඡන්දයෙන් වටිනාකමක් නැති බවත් ඡන්දදායකයන්ගේ අදහස වී තිබුණා. මෙවර ඡන්දය නොදුන් ඡන්දදායකයන් ඡන්දය නොදුන්නේ කොරෝනා නිසාම නොවෙයි. කෙසේ වුවත් බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු නිසාවෙන් මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක්* යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ මනාස් මකීන් වැඩිදුරටත් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න