2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුව: පරණ අභියෝග

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අලුත් ආණ්ඩුවක් පිහිටුවා තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් වූ අතර විසි හය දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් සහ 39 දෙනකුගෙන් සමන්විත රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන ඇත. දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නායකයන් විසි තුන් දෙනකු පත් කිරීම ද විශේෂ සිද්ධියකි. ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයට භාරධූර වගකීමක් පැවැරී තිබේ. පවතින දුෂ්කර තැනින් ගැලවී නවෝදයක් ඇති කිරීමය. පහසු නැත. දුෂ්කරය. නිසි සැලැස්මක් සහ ස්ථිර සැලැස්මක් අවශ්‍යය.

මුළු ලෝකයම එකම අර්බුදයකය. කොවිඩ් - 19 වසංගතය අණසක පතුරුවා තිබේ. සමාජය හා ආර්ථිකය තුළ මතු වී තිබෙන ගැටලු නිරාකරණය පහසු කාර්යයක් වී නැත. ලෝකයේ දියුණුම රාජ්‍යයේ සිට ඉතාම දුප්පත් රට දක්වා සෑම තැනකම මුහුණ පා ඇති ප‍්‍රමුඛ අභියෝගයක් තිබේ. ජනතාව ජීවත් කරවීමය. සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකි වන අතරවාරයේ ජීවනෝපාය අවස්ථා දුර්වල වන අතර සහන වැඩ පිළිවෙළ ඉතාම අවශ්‍ය වන තැනට පත්ව ඇත. පවතින ග‍්‍රහණයෙන් ගැලවෙන අවකාශයක් ලැබෙන්නට ඉඩ ඇති නමුත් සමස්ත ව්‍යූහය නැවත නගා සිටුවන්නට වසර ගණනක් කල් ගත විය හැකි බව විශේෂඥ මතයයි. නිසි තීරණ නියමානුකූලව ගැනීම සාර්ථකත්වයට පදනමක් වනු ඇත.

ආදායම සහ වියදම ගලපා ගැනීම පහසු නැත

ආණ්ඩුව ඉදිරියේ ඇති ගැටලු අලුත් ඒවා නොවේ. පරණ නොවන, හැමදාමත් තිබුණ අභියෝග එලෙසම දිග හැරී ඇත. සමහර අංශ ඉතා තීරණාත්මක ස්වරූපයක් ගෙන තිබේ. රාජ්‍ය ආදායම සීමිතය. වියදම දෙගුණ තෙගුණ වී ඇත. පරතරය පියවා ගැනීම සඳහා තව තවත් දෙස් විදෙස් ණය ගැනීමට සිදු වී ඇති බව පෙනේ. මෙවැනි පසුබිමක් තුළ බලයට පත් වූ ආණ්ඩුව සිය මුදල් ප‍්‍රතිපත්තිය අනාවරණය කළ යුතුව තිබේ. එය වාර්ෂිකව ඉදිරිපත් කරන අය වැය ලේඛනයයි. වසර 2020 වර්ෂය සඳහා අය වැය යෝජනා මෙතෙක් ඉදිරිපත් කර නැත. පසුගිය ආණ්ඩුව පළමු කාර්තුව සඳහා තාවකාලික ඇස්තමේන්තු සම්මත කරගෙන තිබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැර සහ මැතිවරණය පවත්වන්නට ඉඩ තොතිබුණ හෙයින් ජනාධිපතිවරයාට ඇති බලතල අනුව තවත් මාස තුනකට අතිරේක වියදම් අනුමත කරගත්තේය. එම මුදල් ද අවසන්ය. 2020 අය වැය ඉදිරිපත් කළ යුතු නමුත් එය අවසන් වූ වහා ඉනික්බිතිව එන 2021 මූල්‍ය වර්ෂය ගැන ද අවධානය යොමු කිරීම අවශ්‍ය කාරණයකි. අවුරුද්දේ ඉතිරි කාලය සඳහා අතුරු සම්මත ගිණුමකින් මුදල් ලබා ගෙන අනාගතය දෙස අලුතින්ම බලන්නට අලුත් මුදල් අමාත්‍යවරයා කල්පනා කරන බව විශ්වාස කළ හැකිය. එවැනි තීරණයක් නරක නැත. එහෙත් ආර්ථිකයේ තරම හඳුනා ගැනීමට නොලැබෙන අවකාශය තුළ අවදානමක් නිර්මාණය විය හැකිය.

මුළු මහත් ආර්ථිකය දුර්වල තැනෙක බව ජාත්‍යන්තරයෙන් එන පණිවුඩයයි. සමහර රටවල ආර්ථිකය සෘණ අගයක් ගෙන තිබේ. ජගත් විචාරකයන්ගේ අනාවැකි අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ 0.5ක පමණ ප‍්‍රමාණයකින් පහත වැටෙන්නට ඉඩ ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව එයට වෙනස් මතයක සිටී. මුල් කාර්තුවේ දුර්වල වන නමුත් අවසානයේදී වර්ධනයක් සනිටුහන් කරන මෙරට ආර්ථිකය වසර අවසන් වනවිට සියයට 3-4 අතර වර්ධනයකට යා හැකිය. කෘෂි අංශයේ ප‍්‍රගතිය වඩාත් දායක වනු ඇති බව දක්වයි. කාලගුණ පීඩා නොතිබුණහොත් කෘෂි අංශයේ, විශේෂයෙන් වී නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. සේවා අංශයෙන් ඉදිරියට පැමිණ ඇති රටක් වන අතර පසුගිය වසරවල තත්ත්වය සලකන විට කෘෂිකර්මයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබුණ දායකත්වය සුළු බව ද අමතක කළ යුතු නැති කාරණයකි.

වැඩ කරන රටක නිෂ්පාදනය නංවනු සඳහා වැඩි මහන්සියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී වැඩ කරන රටක් නිර්මාණය කරන සෞභාග්‍යයේ දැක්ම දර්ශනයක් ඉදිරිපත් කළේය. මහ මැතිවරණයේදී එය තවත් ඉදිරි පියවරකට ගමන් කර තිබේ. මහ මැතිවරණය එය අනුමත කර ඇත. ආණ්ඩුව භාරගත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ අනන්‍යතාව පැත්තක තැබිය යුතුය. අති විශාල ජනතා ප‍්‍රසාදයක් හිමි වූ නමුත් රට වැසි සියලුම දෙනා වෙනුවෙන් තීරණගැනීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. ජනතාව ඉල්ලා සිටියේ පරිවර්තනයකි. අලුත් ආරම්භයකි. පවතින ගැටලු විසඳා දරැවන්ගේ අනාගතය සහතික කරන පිළිවෙළකි.

වැඩ කරන රටක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ඇත. උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න තිබිය දී විශාල කැබිනට් මණ්ඩලයක් සුදුසු නැත. මහජන නියෝජිතයන් නඩත්තු කිරීම සඳහා මෙරට කරන වියදම ගැන ජනතාව තුළ කිසිම ප‍්‍රසාදයක් නැති බව ද සඳහන් කළ යුතුය. අති සුඛෝපභෝගි කාර්යාල, සුපිරි වාහන, තරු හෝටල්වලින් ආහාර, විශාල කාර්ය මණ්ඩලය, වැටුප් හා දීමනා පමණක් නොව විශ‍්‍රාම වැටුප් ගැන පවා බරපතල විවේචන තිබේ. පසුගිය ආණ්ඩුවල කැබිනට් සාමාජිකයෝ කාර්යාල වෙනුවෙන් කරන වියදම ගැන චෝදනා තිබුණි. නිල නිවාස හා වාහනවලට කරන ලද වැය ගැන පුදුම හිතෙන වියදම් මාධ්‍යවලින් අනාවරණය කළේය. දුරකතන හා විදුලි බිල් අමාත්‍යංශවලින් පියවීමේදී සීමා ඉක්මවා ගිය අතර අමතර ගෙවීම් අමාත්‍යංශවලට අනුබද්ධ ආයතනවලින් නීතියට පටහැනිව කරන ලද අවස්ථා විගණනවල දී වාර්තා වී තිබේ. මේවා ගැන කිසිම නීතිමය පියවරක් ගත් බවක් දැන ගන්නට නැත. ජනතාව අපේක්ෂා කළේ කුඩා කැබිනට් මණ්ඩලයක් සහ කාර්යක්ෂම ආණ්ඩුවකි. තාක්ෂණය යහමින් භාවිතා කළ ජනතාවගේ පහසුව ඇති කරනු ඇතැයි විශ්වාස කළේය.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය විසි අට දෙනෙකි. රාජ්‍ය අමාත්‍යවරු තිස් නමදෙනකු දැනට පත් කර තිබේ. එයට අමතරව දිස්ත‍්‍රික් සම්බන්ධීකාරකවරු විසි තුන් දෙනකු පත් කරන ලදී. පත්වීම් ලිපි සමඟ මෙම සියලු දෙනා වෙනුවෙන් කාර්යාල හා වාහන වෙන් කරන ලද බව තොරතුරු අනාවරණය කරයි. වියදම් අඩු, සාමූහිකත්වය වැඩි ප‍්‍රවණතාවයක් ඇති කරන අවශ්‍යතාව අභිමුවෙහි තිබියදී පත්කරන ලද කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු සතු වගකීම බලවත්ය. දිසා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ද පෙරමුණ ගත යුතුය.

අමාත්‍යංශ ව්‍යුහය වෙනස් කරන්නට ගෙන ඇති පියවර

මැතිවරණය අවස්ථාවේ ජනතාවට තිබුණ ප‍්‍රශ්න ගම්මිරිස් විකුණා ගැනීමය. ගමේ කර්මාන්තවලට තැනක් නැති වීම සහ කිතුලක් මැද ගැනීමට බාධා කිරීම බව අපට මතකය. මහා පරිමාණයෙන් එතනෝල් ගෙන්වන අතර වේවැලක් කපාගැනීමට ගැමියකුට තහනම් විය. ගෙපැලක් හදා ගන්නට වැලි ටිකක් ගොඩදා ගත්තොත් අපරාධයක් වන නමුත් මහා පරිමාණයෙන් කැලෑ සංහාරයක් සිදුවිය. වෙරළබඩ ඉදිකිරීම් කරන ලද අතර වනාන්තර ආශ‍්‍රිත ජනතාවට අලි ගම්වැදීම හා අලිවැට ඉදිකිරීම ගැන ප‍්‍රශ්න තිබුණි. බලයට පත්වන ඇමැතිවරුන් කොළඹට යන අතර ජනතාවගේ ප‍්‍රශ්න නොවිසඳෙයි. ඇමැතිවරු මන්ත‍්‍රීවරු හොයාගන්නට නැත. එවැනි පසුබිමක ජනතාවට කෙලින්ම වගකීම ගැන ඇමැතිවරයාගේ අමාත්‍යංශයෙන්ම කියන්නට ඉඩ දීම නරක නැත. එහෙත් කෙටි සහ අමාත්‍යංශ නාම පුවරුවක සඳහන් කරන්නට හෝ ලිපි ශීර්ෂයක මුද්‍රණය කළ නොහැකි අමාත්‍යංශයක් නූතන යුගයට කුමකටද? අද කාලයේ දිග නම් තවත් කෙටි කරයි. තාක්ෂණයට එය පහසුවකි. එළවළු, ලොකු ලූනු වගකීම ඇති නමුත් අමාත්‍යංශ නමකින් ඒ ගැන කියන්නේ ඇයි? බතික්, අලිවැට හා අගල් අමාත්‍යංශයක නමට තිබීම සහ වේවැල්, මැටි භාණ්ඩ ගැන හෝ ඉස්සන් ගැන සඳහන් කිරීම කාලෝචිතද? මෙරට ඇති මහා මාර්ග හා අතුරැමාර්ගවලට වෙන වෙනම විෂය අවශ්‍යද? කිරි, බිත්තර හා උක් වශයෙන් රාජ්‍ය අමාත්‍යංශ නම් කිරීමෙන් ජනතාවට විශාල වාසියක්ද? රටට අවශ්‍යම කරන තොරතුරු තාක්ෂණය ගැන සඳහන් නොකර දුම්රිය මැදිරි ගැන දක්වන හේතුව කුමක්ද? මහ ඡන්දයේදී ව්‍යවස්ථාව ගැන ආන්දෝලනයක් තිබුණි. 1978 වසරේ සම්මත කරගත් ව්‍යවස්ථාව සහ දූෂිත මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන බව පුන පුනා සඳහන් කෙරිණි. පෙර පාසල්වලට රාජ්‍ය ඇමැතිවරයෙක් ඇති නමුත් ව්‍යවස්ථාව ගැන අනවධානය ප‍්‍රශ්නයකි.

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල නම් කෙසේ වෙතත් මේවායේ තීරණ ගන්නා පිළිවෙළ වෙනස් කළ යුතුය. නිලධාරීන් වැඩ කරන තැනට තල්ලු කරන බලයක් ඇමැතිවරයාට අවශ්‍යය. එය නීති පහසුකම් ඇති කිරීම සුදුසුය. වේවැල් කර්මාන්තය දියුණු කරන ඇමැතිවරයාට වේවැල් වගා කරන්නට හෝ ක‍්‍රමානුකූලව කර්මාන්තකරුවන්ට ලබා දෙන බලය අවශ්‍යය. ලොකු ලූනු ගැන අස්වැන්න ලැබෙන කාලයේදී තීරණ ගන්නට රාජ්‍ය ඇමැතිවරයා සමත් විය යුතු අතර සීනි ආනයනය නතර කර උක් වගාව ගොඩ නගන්නට නොහැකි වුවහොත් එම රාජ්‍ය ඇමැතිවරයාට ඇති අවස්ථාව ගැන නැවත සලකා බැලිය යුතුය.

ආර්ථිකය ගැන සොයන පියවර ගැන ද වෙනම කලාවකි

මහ මැතිවරණය අවස්ථාවේදී ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන විරෝධය තිබුණි. රටවල්වලින් එන ආධාර හා ජාත්‍යන්තර ප‍්‍රජාව සමග අත්සන් කරන ගිවිසුම් ගැන බලවත් විවේචන පැන නැගිණි. බලයට පැමිණි පසු මේවා හුදෙක් මතවාද පමණකි. වැඩ කරන්නට නම් ලෝකය සමඟ සම්බන්ධ විය යුතුය. එපා කරන දෙයක් නැති අතර ගැලපෙන ක‍්‍රමයක් හදා ගත යුතුය. මුළු ලෝකයම ආර්ථික අර්බුදයකය. වෙළෙඳාම ඇනහිට තිබේ. සංචාරක කර්මාන්තය බිංදුවට වැටී ඇත. ගුවන් සමාගම් ගමන් නතර කර ඇති අතර බලශක්ති අංශය ගැන අලුත් මුහුණුවරක් මතුවෙමින් තිබේ. එවැනි පසුබිමක තනියම ක්‍රියාත්මක වීම පහසු නැත. අලුතින් හිතන්නට අවශ්‍යය.

රටට අවශ්‍යම විනිමය සම්පාදනය සම්බන්ධයෙන් එක පැත්තකින් අපනයනය නැංවිය යුතු අතර අනෙක් පැත්තකින් තාවකාලිකව ණය හා ආධාර ලබා ගත යුතුය. ඒවා භයානක දේ නොවේ. ලබා ගන්නා ණය හෝ ආධාර පරිභෝජනයට නොව සංවර්ධනයට වැය කළ යුතුය. ආයෝජනය කර ආදායම් උත්පාදනය අවශ්‍යම කාරණයකි. එයට අවශ්‍ය දර්ශනය හදා ගැනීම අභියෝගයකි. දේශීයත්වය ආරක්ෂා කරගන්නා අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම වෙනම අධ්‍යාශයක් වන අතර ජාත්‍යන්තර බැඳීම් හා ගිවිසුම් දෙස නවතම ද්‍රෘෂ්ඨියකින් සලකා බලන්නට අවශ්‍යය. එවැනි පියවර නොගතහොත් මෙරට පාරිභෝගික ජනතාව ඉල්ලන දේ වාරණය කරන්නට සිදුවනු ඇති අතර අවසානයේදී වෙළෙඳපොළ භාණ්ඩ හිගයක් ඇති වෙන්නය ඉඩ තිබේ. සමතුලිත සහ සමබර වැඩ පිළිවෙළකින් හැර ගැලවීමක් නැත. 

 

ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02