පසුගිය ජූලි 4 දා රාත්‍රියේ ඩෝසර් කළ තවමත් කිසිදු වගකිවයුත්තෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය අසමත් වූ කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල මේ වනවිට ජනශූන්‍ය ස්ථානයකි. ඒ අධිකරණ නියෝගයක් නිසා නගර සභාවට හෝ පිටස්තර පුද්ගලයන්ට එම ස්ථානය තහනම් වූ හෙයිනි. එම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. මේ අනුව අදාළ විමර්ශන අවසන් වනතුරැ කිසුවකුටවත් එම ස්ථානයට පිවිසීමට වරම් නැත.
මේ අතර බුද්ධ ශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ විනාශ කළ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 9ක් වියදම් වන බවය. කිසිම වගකිවයුත්තෙකුට ඩෝසර් කළ පුද්ගලයා හෝ එයට නියෝග නිකුත්කළ බලවතා සොයාගත නොහැකි මේ අරුම පුදුම ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැගිල්ලක් නොවන බව කුරැණෑගල නගරාධිපතිවරයා පුන පුනා සඳහන් කරයි. පුරාවිද්‍යාව ගැන මෙලෝහසරක් නොදන්නා දේශපාලනඥයන් ද ඔහුගේ අදහස අනුමත කරමින් දුන් වොයිස්කට් පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය විය.
දේශපාලනඥයන් මහත් වෙහෙස වී කළ ශාස්ත්‍රීය ගවේෂණවලින් ඓතිහාසිකත්වයක් නැති හෝටලයක් පැවති තැනක් ලෙස කන්ඩෙම් කළ මේ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනතට යටත් වන ඉන් රුකවරණය ලබන ඓතිහාසික ස්මාරකයකි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකද ඒ බව තහවුරු කළේය. නමුත් බුවනෙකබා රාජ සභා මණ්ඩපය යැයි හැඳින්වූ මේ ගොඩනැගිල්ලේ නියම ඉතිහාසය සොයා යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
පර්යේෂකයන් ද උනන්දු වූ බවක් නොපෙනේ.
ඉංග්‍රීසි පාලන සමයේ ඉදි වූ මේ ගොඩනැගිල්ලේ ඓතිහාසිකත්වය ගැන සැකයක් නැති අතර බුවනෙකබා හෝ කුරැණෑගල රාජධානි යුගයට නම් එහි සම්බන්ධයක් නැති බවයි පැහැදිලි වන්නේ. දැනට කුරුණෑගල පළාත් සභා කාර්යාලය හා පැරණි කච්චේරිය අසල පිහිටි මාලිගා නටබුන් මේ ගොඩනැගිල්ල පිහිටි ස්ථානය දක්වා පැවති බවක් ඉංග්‍රීසින්ගේ පැරණි වාර්තාවලද සඳහන් නොවේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ වයඹ පරිපාලන කේන්ද්‍රය කරැණෑගල පිහිටා තිබූ අතර පැරණි සිතියම් අනුව පෙනෙන්නේ 1878 වර්ෂය වනවිට හෝ ඊට පෙර මේ භූමිය සරඹ භූමියක් ලෙස භාවිත වී ඇති බවකි. පුරාවිද්‍යා පර් යේෂක ධනේෂ් විසුම්පෙරැම සඳහන් කරන්නේ 1878 වර්ෂයේ සිතියමක මේ භූමිය Parade Ground ලෙස සඳහන් කර ඇති බවයි. එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිසාවේ කෙළවරට වන්නට පිහිටා ඇති ගොඩනැගිල්ලක් පමණි.
1883 මැයි 16 දින දිසාපති මෙන්ම ලෝකල් බෝඩ් (නගර සභාවලට පෙර ප්‍රධාන නගර පරිපාලනයට පැවති ආයතන වර්ගයකි) සභාපතිවරයා විසින් මේ භූමිය ලෝකල් බෝඩ් වෙත ලිඛිතව පවරා දී ඇත. එදා සිට අද දක්වා ඒ භූමිය නගර සභාව සතුය. මේ බව සඳහන් වන්නේ 1903.09.19 දින යටත් විජිත ලේකම්වරයා වෙත යවන ලද ලිපියකය. එකල ඉඩම් සැලසුමකට අනුව වර්තමාන දොස්තර ද සිල්වා මාවත එකල හඳුන්වා ඇත්තේ පැරේඩ් ස්ට්‍රීට් යනුවෙනි. එම පිටිය හමුදා හෝ පාසල් ළමුන් සඳහා භාවිතා වූ බව පෙනේ. සමතලා පිටියක් ලෙස සකස් කළ භූමියක රාජධානි සමයට අයත් පැරණි ඉදිකිරීම් නොතිබීමට වැඩි අවස්ථාවක් පවතී. මෙම භූමියේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 1880 දශකයේ මැද භාගයේ සිට බවට සාධක හමුවේ.
වර්ෂ 1887දී වික්ටෝරියා රුජිනගේ රාජ්‍ය පදප්‍රාප්ත ජුබිලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක ජුබිලි අම්බලම් සහ ජුබිලි කණු පිහිටවීය. කුරුණෑගල, කෑගල්ල, රුවන්වැල්ල, ජුබිලි අම්බලම් ඉදිකර තිබේ. නගරයට පැමිණෙන පිරිස්වලට විවේක ගැනීමට ඒ අම්බලම් ඉදිකෙරිණි. කුරැණෑගල දොස්තර ද සිල්වා මාවත හා දඹුලු පාර අතර භූමියේ ජුබිලි අම්බලමක් තැනුණි. එම අම්බලම සඳහා උඩරට ගෘහ නිර්මාණ ශිල්පයට අනුව පේකඩ සහිත දැව කැටයම් කුලුනු යොදාගත් බව අද ඉතිරිව පවතින රැවන්වැල්ල අම්බලම විමසන විට පැහැදිලි වේ. කරුණෑගල ජුබිලි අම්බලම කඩා දමා එහි දැව කොටස් භාවිත කරමින් 1894දී එම ස්ථානයේම නගර ශාලාවක් ඉදිකර තිබේ.
අම්බලම ඉදිකිරීමට රැ. 7000ක් වැයවී තිබෙන අතර එය අවුරැදු හතරක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබූ බව කුරුණෑගල දිසාපති ඇලෙක්සැන්ඩර් මරේරේ දිනපොත් සටහනකින් (1901.05.30) පෙනේ. අම්බලමේ තිබූ උඩරට අලංකාර වාස්තු විද්‍යාත්මක මෝස්තර සහිතව ඉදි කළ නගර ශාලාවේ නිතර මහජන රුස්වීම්, ප්‍රසංග, නැටුම් හා නාට්‍ය පෙන්නූ බව මරේ සඳහන් කරයි. අම්බලම නගර ශාලාවක් බවට පත්වූයේ 1893 හා 1894 වර්ෂවලදීය. අම්බලමේ ගොඩනැගිලි ද්‍රව්‍ය, කැටයම් කණු භාවිතයෙන් ඉදි කළ නව ගොඩනැගිල්ල දිගින් අඩි 72ක් හා පළලින් අඩි 22ක් විය. එහි ස්ථිර වේදිකාවක් ද නේපථ්‍යාගාරයක් ද විය. නගර ශාලාව තැනීමට වැය වූ මුදල රු. 5785.57කි. දශක පහක් පමණ එම නගර ශාලාව භාවිත විය.
අද තිබෙන නගර ශාලාව 1948 දී හෙවත් ශ්‍රී ලංකාව නිදහස ලැබූ වර්ෂයේ ඉදි කරන ලද්දකි. මුල් නගර ශාලාව පසුව විවිධ වෙනස් කිරීම්වලට ලක්ව භාවිත කෙරැණි. උප දිසාපති කාර්යාලය ලෙසද භාවිත කළ එය පසුව බැංකු ශාඛාවක් සඳහා කුලියට දී තිබේ. ඊටත් පසුව නගර සභාව විසින් නවීකරණය කර හෝටලයක් ලෙස බදු දී තිබුණි. මෙම නවීකරණ කටයුතු කර තිබෙන්නේ ද කිසිදු පුරාවිද්‍යාත්මක මූලධර්මයකට අනුව නොවේ.
මෙහි පෞරාණික වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එහි ගොඩනැගිලි සැලසුම් ද ඇඳ තිබුණි. එමෙන්ම එහි කිසිදු වෙනස්කමක් නොකරන ලෙස පසුගිය මැයි මාසයේදී නගරාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණි. එවන් පසුබිමක් මතය අදෘෂ්‍යමාන හස්තයක්^ විසින් මහ රෑ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කරන ලද්දේ.
එය විනාශ කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍යය. කෙසේ වුවද පවත්නා වාතාවරණය අනුව මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ අනාගතය අවිනිශ්චිත නිසා එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතුය. එමෙන්ම කුරැණෑගල නගරයේ පවත්නා අනෙකුත් ඓතිහාසික ගොඩනැගිලි වෙත ද අදෘෂ්‍යමාන ඩෝසර් රකුසන් බැල්ම හෙළීමට පෙර ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍යය.
මේ අතර මෙම ඓතිහාසික ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නාගරික කොමසාරිස් ඇතුළු චූදිතයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පසුගිය 6දා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහට උපදෙස් දුන්නේය. ඒ අනුව පොලිසිය විසින් කුරැණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් 7දා වරෙන්තුවක්ද ලබා ගත්තේය. වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගෙන 10දා අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් පොලිසිය සුපුරැදු පරිදි දේශපාලනඥයන් ආරක්ෂා කරන බව රටටම පෙන්නුම් කළේය.
නඩුව 10දා විභාගයට ගත්විට චූදිතයන් කිසිවෙක් ඉදිරිපත් කිරීමට කුරැණෑගල පොලිසිය සමත් වූයේ නැත. මේ නිසා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නගරාධිපතිවරයා ඇතුළු චූදිතයන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට ලබාදී තිබූ වරෙන්තුව නැවත බලාත්මක කරමින් 13 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙවැනි වරටත් පොලිසියට නියෝග කළේය.
පර්යේෂණ තොරතුරු ධනේෂ් විසුම්පෙරැම
- කුසුම්සිරි විජයවර්ධන