2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අලුත් මන්ත්‍රීලාගේ හඬ

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

මෙරට මැතිවරණ ඉතිහාසයේ පෙරළිකාර මහ මැතිවරණයක් නිමා දුටුවේය. පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු රැසකට පරාජය උරුම විය. 30 කට විශ්‍රාම වැටුප් අහිමිය. අලුත් මුහුණ හැටකට අධික සංඛ්‍යාවක් දියවන්නා කරළියට පැමිණියේය. සමානුපාතික ක්‍රමය යටතේ එක් කඳවුරක් ලබාගත් විශාලතම ජයග්‍රහණය පොහොට්ටුව ලබා ගත්තේය. එම නිසාම මෙම මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බව ඉතාම පැහැදිලිය.

පාර්ලිමේන්තුවට අලුත් මුහුණු පැමිණිය යුතු බව පොදුවේ මෙම මැතිවරණ සමයේ සමාජ මතයක් නිර්මාණය වී තිබිණි. එනිසාම මෙවර මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රිවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ඉන් අතිමහත් බහුතරයක්ම තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වීම විශේෂත්වයකි. කෙසේ නමුත් මෙය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. නව පරපුරේ ජනමතය හැසිරීම තේරුම් ගැනීමට කදිම අවස්ථාවකි. එම නිසාම මෙම නවක මුහුණු පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රීවරුන් 6 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකර ගත්හ. එම නවක මන්ත්‍රිවරුන් වූයේ ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, නලින් රුවන්ජීව ප්‍රනාන්දු, මිලාන් සජිත් ජයතිලක සහ උපුල් මහේන්ද්‍රයි. නාලක ගොඩහේවා මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද හිමිවිය.

කොළඹ දිස්ත්‍රික්කයේ නවක මන්ත්‍රීවරුන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ මේජර් ප්‍රදීප් උඳුගොඩ, මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොළවත්ත සහ ජගත් කුමාර යන පිරිස තේරී පත්වූහ. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු වරම් ලද නවක මන්ත්‍රිවරුන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල් සහ ලලිත් එල්ලාවලයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදුණු සිව්දෙනෙකුටම නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වීමට හැකි විය. මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි එම නවක මන්ත්‍රිවරුන් සිව්දෙනා වූ අතර චන්න ජයසුමන මහතාට අමාත්‍ය ධුරයක්ද හිමිවිය. ඊට අමතරව සමගි ජන බලවේගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ රෝහණ බණ්ඩාර විජේසුන්දරද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවකයෙකි. මහනුවර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරිඳිගොඩ මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කරගත් නවක මන්ත්‍රීවරු වෙති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදුණු ජීවන් තොණ්ඩමන්, මරධපාණ්ඩි රාමේෂ්වරන් සහ නිමල් පියතිස්ස නවක මන්ත්‍රීවරුන් ලෙස නුවරඑළියට තේරී පත්වූහ. නුවරඑළියෙන් සමගි ජන බලවේගයෙන් තරග කළ එම්. උදය කුමාර් ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙක් විය. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයන් තිදෙනෙකු බැගින් මෙවර නව මන්ත්‍රිවරුන් ලෙස වරම් ලැබූහ. ඒ අනුව සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු සහ වීරසුමන වීරසිංහ පාර්ලිමේන්තුවට වරම් ලද්දෝය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂද පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු වූහ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති නවක මන්ත‍්‍රීවරුන් ගණන 04කි. ඒ ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර යන අයයි.

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ අපේක්ෂක තිදෙනා බැගින් නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ඒ අනුව රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල සහ මුදිතා ප්‍රශාන්ති ද සොයිසා රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද පාර්ලිමේන්තු වරම් ලැබුවෝය.

මීට අමතරව උතුරු නැගෙනහිර දෙපළාතෙන්ද නවක මුහුණු කිහිපයක් පාර්ලිමේන්තු වරම් ලැබූහ. ජාතික ලැයිස්තුව සම්පූර්ණ ප්‍රකාශයට පත්කරන තුරු අලුත් මන්ත්‍රී සංඛ්‍යාව නිශ්චිතව දැක්වීමේ යම් ගැටලුවක් තිබේ. කෙසේ නමුත් පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, අලි සබ්රි, ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, සීතා අරඹේපොළ, ෆලීල් මර්ජාන් යන පිරිස නවක මුහුණු ලෙස පාර්ලිමේන්තු සුදුසුකම් ලැබුවෝය. සමඟි ජන බලවේගයෙන් ජාතික ලයිස්තුවෙන් නවක මුහුණක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ඩයනා ගමගේ මහත්මියයි. එසේම ජාතික ජනබලවේගයෙන් හරිනි අමරතුංග මහත්මිය නවක මුහුණක් ලෙස පාර්ලිමේන්තු වරම් ලද්දාය.

මේ අනුව නවක මුහුණ සමඟ අලුත් පාර්ලිමේන්තුව පිළිබඳ නව බලාපොරොත්තු රැසක් ජනතාව තබා ඇති බව පෙනී යයි. එසේම මෙම නවකයන්ගේ යුතුකම එම බලාපොරොත්තු ඉටුකිරීම බව අවසානයේ කිවයුතුමය.

ගඟ පෙනි පෙනී ජලයට හූල්ලන එක නවත්වමු
උදයන චාමින්ද කිරිඳිගොඩ 
පොදු ජන පෙරමුණ - මහනුවර දිස්ත්‍රික්කය

මම ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා. මහනුවර වියත්මග ශාඛාවේ ජාතික සංවිධායකවරයා. ඒ පදනම මත තමයි මම මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණේ. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පළමුවෙන් ස්තූතිවන්ත වෙනවා මේ ජයග්‍රහණය ලබාදීම සම්බන්ධයෙන්. මගේ පළමු පාර්ලිමේන්තු ආගමනය තුළ සෞභාග්‍යයේ දැක්ම සමඟ එකතුව අපේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මම බලාපොරොත්තු වෙනවා. විශාල වෘත්තීයවේදීන් පිරිසකගේ එකතුවෙන් තමා මේ දේශපාලන ගමන පැමිණියේ. එනිසා ඉදිරියේ ජනතා ගැටලු සම්බන්ධයෙන් වියත් සාකච්ඡාවක් ඇතිකරලා දේශපාලන අධිකාරිය සමඟ එකතුව විසඳුම් සෙවීමට අපි බලාපොරොත්තු වෙනවා.

මහනුවර ප්‍රදේශයේ තිබෙන දැවෙන ප්‍රශ්නයක් තමා ජල ප්‍රශ්නය. අපි ගඟ පෙනි පෙනී ජලයට හූල්ලන පිරිසක් බවට පත්වෙලා ඉන්නවා. ඒ සම්බන්ධව මම විශාල අවධානයක් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තු ආගමන තුළදී. ඒ වගේම අවුරුදු විසිතුනක වෘත්තීය පළපුරුද්දක් එක්ක නීතීඥවරයෙක් විදිහට රටේ ව්‍යවස්ථා සම්පාදනයට නීති ප්‍රතිසංස්කරණවලට ව්‍යවස්ථාදායකය තුළ මගේ කාර්යභාරය මැනවින් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා.

රජරට ජනතාවට සාධාරණය ඉටුකරනවා
මහාචාර්ය චන්න ජයසුමන 
පොදුජන පෙරමුණ - අනුරාධපුරය දිස්ත්‍රික්කය

මීට පළමු පක්ෂ දේශපාලනයෙන් තරග නොකළ දේශපාලනඥයකු ලෙස ඡන්ද එක්ලක්ෂ තිස්පන්දහසකින් පමණ දැක්වූ අනුග්‍රහය පිළිබඳ අනුරාධපුර ජනතාවට ස්තූතිවන්ත විය යුතුයි. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්කවල දැන උගත් තරුණ දේශපාලනඥයන් සඳහා මධ්‍යම පාන්තිකයන් තුළ වූ ප්‍රවණතාව ග්‍රාමීය ප්‍රදේශය දක්වා පැතිර ඇති බව මෙම ප්‍රතිඵලය තුළින් දැකිය හැකියි.

මෙවර මාගේ ඡන්ද ව්‍යාපාරය ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව මෙන්ම  සම්පූර්ණ මතින් තොර ක්‍රියාවලියක් බවට පත්කරන්නට හැකිවීම සුවිශේෂියි. එමෙන්ම මැතිවරණ ව්‍යාපාරයේදී වැඩි අවධානයක් යොමු කළේ දෙකන්නය සඳහා ගොවිතැනට ජලය, වකුගඩු රෝගය, වල් අලි ගැටලුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිඳවැටී තිබෙන අධ්‍යාපන තත්ත්වය නගාසිටුවීම ආදී ජනතාවගේ ප්‍රධාන ගැටලු වෙත. ඒ සඳහා ජනතාව සංවේදී වෙලා තිබෙනවා. ඉදිරියේදී රජරට ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා.

ජනතාවට ණය ගෙවන්න මම සූදානම්
සංජීව එදිරිමාන්න 
පොදුජන පෙරමුණ - කළුතර දිස්ත්‍රික්කය

මේ මැතිවරණයේ මාගේ ප්‍රතිඵලය මනාප 105573ක්. කළුතර දිස්ත්‍රික්කයේ අප පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව අතරින් ඉහළ ප්‍රතිශතයක්. එයට හේතුවුණේ මා ගමින් ගමට ගොස් මේ වනවිට රටේ දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනතාව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කිරීමයි. හුදු ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගිහින් මම ඔවුන්ට කිව්වා මම ආවේ ගමේ ප්‍රජා සමිතියට පුටු බෙදන්න නෙවෙයි කියල. ඒ වනවිටත් කවුරුන් හෝ මන්ත්‍රීවරයෙකු ලබාදුන් පුටුවල වාඩි වී සිටින ඔවුන්ට මම එක් දේශපාලන සත්‍යයක් තේරුම් කරලා දුන්නා. ඒ තමයි පුටු දහයක් ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරාගැනීම තේරුමක් නෑ කියන එක. ඔවුන් ඒ සත්‍යය තේරුම් ගත්තා. ඔවුන්ට ඒක දැනුණා. මේ මැතිවරණ ව්‍යාපාරයේදී මම මගේ මාධ්‍ය අනන්‍යතාව, පාසල, විශ්වවිද්‍යාලය හෝ මා පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක බව පවා ඔවුන්ට පැවසුවේ නෑ. එවන් සාධක මත පදනම් නොවී අවංකවම මගේ දේශපාලන දර්ශනය ඔවුනට පැහැදිලි කළා. ජනතාව ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා.

මම ඔවුන්ට කිව්වා ගමේ තිබෙන ප්‍රධානම ගැටලුව හැමදාමත් ආර්ථික ප්‍රශ්නය බව. මම ජනතාව පැහැදිලි කළ අනෙක් කාරණය තමයි කළුතර අපි නව ආර්ථිකයකට යායුතු බව. ඉතින් කළුතර ජනතාව අලුත් හොඳ මිනිසෙක් හොයමින් හිටියා. හොඳ වුණාට වැඩක් නැහැ අලුත් සංකල්පයක් නැත්නම්. ලංකාවේ තරගකාරීම ලැයිස්තුව තිබුණ කළුතරින් මගේ මට්ටමේ කෙනෙකුට යා හැකි උපරිමයෙන් තරඟය අවසන් කළා. අවසානයේ මම ජනතාවට කිව්වා මේ ජයග්‍රහණය මා ඔබෙන් ගත්ත ණයක්. ඉතින් මම ලෑස්තියි ඒ ණය ගෙවන්න ඊළඟ පස් අවුරුද්ද තුළ කියලා. මම ඒකට සූදානම් වෙනවා.

ජනතා සේවයට කැපවෙනවා
හරිනි අමරතුංසූරිය
ජාතික ජනබලවේග - ජාතික ලැයිස්තුව

පසුගිය වසර කිහිපය තුළ මහජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳ පිළිකුලක් ඇතිවුණා. තමන් වෙනුවෙන් හඬ නොනැගෙන අශීලාචාර තැනක් විදිහට ජනතාව පාර්ලිමේන්තුව පිළිබඳ අදහසක් ඇතිකරගෙන තිබුණා. ඒ නිසා මගේ උත්සාහය මිනිසුන්ව නියෝජන වන සහ තරුණ පරපුරට කැමත්තක් ඇතිවෙන පාර්ලිමේන්තුවක් ඇතිකරන්න. පාර්ලිමේන්තුව වැදගත් තැනක්, අපිටත් මෙතැනට එන්න පුළුවන් කියන එක පිළිබඳ විශ්වාසය ගොඩනගන එක බොහොම වැදගත්.

මම නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක සහෝදරයා සහ විජිත හේරත් සහෝදරයා මා සමඟ පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපේ ප්‍රතිපත්ති මාලාවක් සහ දේශපාලන අදහස් මතවාදයක් තිබෙනවා. ඒ නිසා අපි කිසිවෙක්ට පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ. ජනතා සේවය වෙනුවෙන් කැපවීමට බලාපොරොත්තු වෙනවා.

හොඳ වැඩට සහාය: වැරදි වැඩට විරෝධය
ධර්මසේන විජේසිංහ 
සමගි ජනබලවේගය - මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල උපන් කෙනෙක් විදිහට බුත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවෙක් ව්‍යාපාරිකයෙක් විදිහට මේ ලැබුණු ජනවරම පිළිබඳ මම සතුටුවෙනවා. මම මේ දේශපාලන ගමන ආවේ 2002දී ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා 2014 දී පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා. ඒ වගේම 2015 දී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරලා දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට ලබාගෙන. නමුත් එදා අපිට ලැබුණු ආසන සංඛ්‍යාව නිසා පාර්ලිමේන්තුවට පිවිසෙන්නට මට නොහැකි වුණා.

මෙවර අපේ ජනතාව මාව දිස්ත්‍රික්කයේ පළමුවෙනියා බවට පත්කරලා තිබෙනවා. ඉදිරියේදී පක්ෂයේ නායකත්වය අනුව විපක්ෂයේ කාර්යභාරය සාර්ථකව ඉටුකරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආණ්ඩුව ගන්න හොඳ තීරණවලදී සහාය දෙන්නත් නරක තීරණවලදී විරුද්ධ වෙන්නත් අපි කටයුතු කරනවා. සමගි ජනබලවේගයේ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳ විශාල විශ්වාසක් අපිට තිබෙනවා. එතුමා පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ කටයුතු කරපු ආකාරයත් එතුමාගේ පියාගේ දේශපාලනයත් පිළිබඳ ප්‍රසාදයකින් තමා මේ දේශපාලන ගමන අපි යන්නේ.

 චමිඳු නිසල් ද සිල්වා