2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

ළමා රියැලිටි වැඩසටහන් ඕනැද? එපාද?

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 301

“දරුවන් යනු මේ රටේ අනාගතයයි, ඒ අනාගතය අපි රැකගත යුතුයි, අපි දරුවන් ආරක්ෂා කරගත යුතුයි” මේ කතා අපි අනන්ත අප්‍රමාණ අසා ඇත්තෙමු. උදෑසන රූපවාහිණියේ විද්වත් සාකච්ඡාවල සිට පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පාසලේ, සමාජයේ, දේශපාලන වේදිකාවල පවා ඇසෙන්නේ දරුවන් සම්බන්ධයෙන් ඉහත කී අර්ථකථනය. ඒ කතා ඇසෙන ආකාරයට ඕනෑම පිටස්තරයකුට හිතෙන්නේ මේ රට කොතරම් දරුවන් සම්බන්ධයෙන් සිතන රටක්ද? දරුවන්ට කෙතරම් ආරක්ෂිත රටක්ද යන්නය. එහෙත් ඇත්තටම දරුවන්ට රට ආරක්ෂිතද?

මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් ළමා අපයෝජන කිරීම් 5000කට එහාය. පසුගියදා දරුවන් සිව්දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනය කර ඝාතනය කර තිබිණි. ශ්‍රී ලංකාවේ දත්ත අනුව සෑම පැය දෙකකට සැරයක් අවමයෙන් ළමා අපයෝජන දෙකක් සිදුවේ. එසේ නම් දරුවන් ගැවසෙන ඔබත් මමත් ජීවත්වෙන සමාජය ආරක්ෂිතද? නැත. එසේ ආරක්ෂිත නැත්නම් එයට ඔබ අප සියලුදෙනාම වගකිවයුතුව ඇත.

පසුගිය දිනෙක ටියුෂන් ගුරුවරයෙක් පිරිමි දරුවන් අපයෝජනය කර කොටු විය. ඒ ඔහු ටියුෂන් දෙන මුවාවෙන් අපයෝජනය කිරීම හරහාය. එසේම ඔහු මෙරට රූපවාහිණී නාළිකාවල ළමා රියැලිටි වැඩසටහන්වල පවා පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු ඒ හරහාද දරුවන් හඳුනාගෙන අපයෝජනයෙහි යොදවා ඇත. කෙසේ වෙතත් ප්‍රමිතියකින් තොර ළමා රියැලිටි වැඩසටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම හොඳ නරක සංවාද තිබුණු අතර පසුගියදා ඇති වූ ටියුෂන් ගුරුවරයාගේ සිද්ධියත් සමඟ මේ සංවාදය තීව්‍ර විය. එහිදී ළමුන් සම්බන්ධයෙන් අධිකාරී බලය පැවරී ඇති ළමා ආරක්ෂක අධිකාරිය විසින් වහාම අවුරුදු 13ට අඩු දරුවන් රියැලිටි වැඩසටහන් සඳහා යොදාගැනීම නැවැත්වීමට නීතියක් ගෙනෙන බව ප්‍රකාශ කළේය.

මෙකී අලුත් යෝජනාව සම්බන්ධයෙන් සියලුදෙනාම උද්දාමයට පත්වුණු අතර ඇතැම් අය එන ප්‍රවෘත්තිය මහා ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීය. එහෙත් වියයුත්තේ එයද? අවුරුදු 13 ට අඩු දරැවන් පමණක් සීමා මායිම් දැමුවත් 13 සිට 18 තෙක් දරුවන්ට රියැලිටි වැඩසටහන්වලදී ලැබෙන ආරක්ෂාව කෙසේද යන්න කිසිවකුට වගේ වගක් නැත. ළමා ආරක්ෂක අධිකාරියට අවුරුදු 13ට වඩා අඩු දරුවන් දරුවන් ලෙස පෙණුනත් ලෝක සම්මතය, නීතිය, රීතිය වන්නේ දරුවන් යනු අවුරුදු 18ට අඩු කාණ්ඩයක් ලෙසය. එසේ නම් ළමා ආරක්ෂක අධිකාරියේ 13ට අඩු දරුවන් සීමාකර ඔවුන්ට පමණක් ආරක්ෂාව සැලසීම ප්‍රායෝගික නැත.

මෙකී ප්‍රායෝගික නැති ක්‍රමවේදය වෙනුවෙන් ලියුම්කරු ඇතුළු ළමා ආරක්ෂණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල යෝජනාව වන්නේ රියැලිටි වැඩසටහන් සීමා කිරීම නොව නියාමනය කිරීමය. එකී වැඩසටහන් නියාමනය කිරීම හරහා දරුවන්ට විශාල ආරක්ෂාව ලැබෙන අතරම ඕනෑම දරුවකුට තම කුසලතා දක්ෂතා පෙන්වීමට ඇති අයිතිය සීමා නොවනු ඇත.

ඇත්තෙන්ම නියාමනය විය යුත්තේ යම් නාලිකාවක් ළමා රියැලිටි වැඩසටහනක් ආරම්භ කරනවා නම් ඒ සඳහා විශේෂ අවසරයක් ළමා ආරක්ෂක අධිකාරියෙන් ලබා ගැනීමය. එකී නාලිකාවේ ප්‍රධානියාගේ සිට වැඩසටහන් නිෂ්පාදක, සහායකයන් සියලුදෙනාම ළමා ආරක්ෂක අධිකාරියට යටත්ව තබා ගතයුතු අතර යම් දරුවකුට කායික හෝ මානසික හිංසනයක් සිදුවනවා නම් ඊට එරෙහිව අධිකාරියට බලය යෙදවීමට ගිවිසුමක් තබාගත යුතු යැයි අපේ අදහසය. එය සරලව කිවහොත් ළමා රියැලිටි වැඩසටහනක් කිරීමට ළමා ආරක්ෂක අධිකාරියෙන් ලයිසන් එකක් ගැනීම අනිවාර්ය කළ යුතුය.

ඒ නිසා මේ රියැලිටි වැඩසටහන් සම්බන්ධයෙන් වයස් කාණ්ඩ ගත කිරීමට වඩා ලියුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා විධිමත් නියාමනයක් බව කිව යුතුය. එසේ නියාමනයක් තුළින් මේ රියැලිටි ප්‍රශ්නය හරහා කඳු ගැහෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබිය හැක.

විශේෂයෙන් ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙය තවත් යෝජනාවක් වුවත් මෙය සියයට සීයක් ක්‍රියාත්මක වනු ඇතැයි සිතන්නට බැරිය. එයට හේතුව ළමා ආරක්ෂක අධිකාරියේ දියාරැ ක්‍රමවේදය නිසාය. තවමත් ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගත නොහැකි අධිකාරියකින් තවත් බලාපොරොත්තු තබාගැනීම නිශ්ඵල ක්‍රියාවක් බව සඳහන් කළයුතුමය.

2018 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක කමිටුවේදී මෙරට රජය ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එතරම් සුබදායක සිතුවිල්ලක සිටියේ නැත. ඒ නිසාම ඔවුන් රතු එළියක් ශ්‍රී ලංකා රජයට නිකුත් කළ අතර වහාම ළමා ආරක්ෂක ප්‍රතිපත්තියක් ගොඩනගන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය 2019 වසරේදී සැකසූ අතර අදටත් එය ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ පිළිතුර වන්නේ එය වසර පහක සැලැස්මක් ලෙස ක්‍රියාත්මක වන බවය. දරුවන් විශාල වශයෙන් අපයෝජනයට හිංසනයට ලක්ව ඇති මොහොතක තවදුරටත් එය කල් යැවීම කෙතරම් විහිළුවක්ද? එසේ තිබියදී තවත් නීතියක් ගෙන ඒමට උත්සාහ දැරීම ගඟට ඉනි කැපීමක් හා සමානය. ඒ නිසා ළමා ආරක්ෂක අධිකාරිය මීට වඩා ප්‍රායෝගික වියයුතු බව බොහෝදෙනාගේ අදහස වී ඇත.

මෙහිදී එක් දෙයක් කිවයුතුවම ඇත. ඇතැම් රියැලිටි වැඩසටහන් යනු ළමයින්ගේ හීන හෝ බලාපොරොත්තු නොවන්නේය. ඒවා දෙමව්පියන්ගේ හීනය. දෙමව්පියන්ට අහිමි වූ තැන් දරැවන්ට ලබාදීම සඳහා ඔවුන් දරුවන්ට කියාදෙන තවත් එක් ෂෝර්ට් කට් එකක් ලෙස මේ ගණයේ රියැලිටි වැඩසටහන් හැඳින්විය හැක. ඒ නිසා වැඩිහිටියන්ගේ හීන අධ්‍යාපනය හරහා පමණක් නොව මේ රියැලිටි වැඩසටහන් හරහාද දරුවන්ට කරගහගෙන යෑමට සිදුව ඇත. දරුවන්ගේ හීන අහුරා දෙමාපියන්ගේ හීන කරමත තබාගෙන යන්නට වීමම ළමා හිංසනයකි. 

ඒ නිසා ළමා හිංසනය ආරම්භ වන්නේ එවැනි රියැලිටි වැඩසටහන්වලට සහභාගි කරවීම හරහාය. ඒ බව අම්මලා තාත්තලා “එයා දන්නෙත් නෑ... මම ඇප්ලිකේෂන් දානකල්” යැයි කියන්නේ උජාරැවෙනි. එහෙත් යථාර්ථය නම් එකී දරුවන්ගේ නිදහස අහිමි කිරීමක් වීමය. එහෙත් දෙමාපියන් සුළුතරයක හීනය එය නම්, ඒ සඳහා අවස්ථාවත් ඇති නම් ඊට පූර්ණ ආරක්ෂාව ලබාදී නියාමනය කිරීම ළමා ආරක්ෂක අධිකාරිය සතු වගකීමකි. එකී වගකීම වයසකින් සීමා නොකර ඒ සඳහා පුළුල් වැඩ පිළිවෙළක් සකසන තෙක් අප අවදියෙන්ය.

I ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02