2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අහිංසක දරුවන්ගේ සිරුරු උඩින් කැබ්රිය එළවූ බීමත් රියැදුරා

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

“තාත්තා අද එන්න එපා.. ගෙදර තියෙන වැඩක් කරන්න. මම බස් එකේ එන්නම්... කියලා ගෙදරින් ගිය අපේ සතුට සම්පත කොහෙද යන බේබදු ඩ්‍රයිවර් කෙනෙක් උදුරා ගත්තා. අනිත් දරුවන්ගේ අත පය ටිකත් කඩා දාලා. දැන් මගේ දරුවාගේ කොටස් අරගෙන හරි අනිත් පුතාලා ටික බේරලා දෙන්න. මට මේ දුක ඉවසන්න බෑ..”

අරලගංවිල ප්‍රදේශයේදී කැබ් රථයක් පාසල් දරුවන් පිරිසක් යටකරමින් සිදුකළ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සචින්ත හේෂාන්ගේ මව හැඬූ කඳුළින් එසේ කීවාය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සචින්ත හේෂාන් ඇතුළු දරු පිරිස අමතර පන්තියක් සඳහා සහභාගි වී තිබුණේ පසුගිය 9 වැනිදාය. පන්තිය අවසන් වීමෙන් පසුව අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය මාර්ගයට පිවිසි පිරිස ප්‍රධාන මාර්ගයේ පසෙකට වී ගමන් කළහ. එක් මිතුරන් කණ්ඩායමකට අයත් දරුවන් දොළොස් දෙනෙකි. ඔවුහු එක පොදියට තරමක් වේගයෙන් කතාබස් කරමින් ඉදිරියෙන් යමින් සිටියහ. එම මිතුරු කැලට මීටර් කිහිපයක් පසුපසට වන්නට තවත් දරු පිරිසක් ඒ දෙසට ගමන් කරමින් සිටියහ. ඉදිරියෙන් ගිය තරුණ දරු පිරිස දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ බෝගස් හන්දියට කිට්ටු වූවා පමණය. පසුපසින් යමින් සිටි දරු පිරිස පසුකරමින් ඉදිරියට ගිය සුදු පැහැති කැබ් රථයක් එක පොදියට මාර්ගය පසෙකින් යමින් සිටි දරු පිරිස යටකරගෙන ගියේය.

දරුවන් පිරිසේ පසුපසින්ම ගමන් කරමින් සිටි අය තමුන් පසුපසින් වාහනයක් එන බව වටහාගෙන සෙසු අයටත් අනතුරු අඟවමින් බේරෙන්නට පැන යන්නට උත්සාහ කර තිබිණි. ඉදිරියෙන් සිටි දරුවන්ට කලබලය ගැන වගක් නොවූයෙන් පසෙකට යන්නට වෙලාවක් නැත. එසැණින් කැබ් රථය දරු පිරිසේ ගැටෙද්දී එක් දරුවකු රථයේ බොනට්ටුවේ ගැටී මාර්ගය මැදට විසි වී යයි. සෙසු පිරිස බොනට්ටුවේ ගැටුණු සැණින් මාර්ගයේ වම්පස වූ කැලෑව දෙසට විසිවී වැටෙති. ඒත් සමඟ රථයේ බෆරය ඉදිරිපිටට ඇදවැටෙන දරුවකු මතින් කැබ් රථය වේගයෙන් ධාවනය වන්නේ මාරක අනතුරක් වාර්තා කරමිනි. එතෙකින් නොනවතින රථය තවත් වේගයෙන් ඉදිරියට ධාවනය වන බව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබිණ.

තත්ත්පර දෙක තුනක් ඇතුළතදී සිදුකළ මාරක අනතුරින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්ව සිටි අතර තුවාල ලබා සිටි සෙසු දරුවන් එකොළොස් දෙනා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

අනතුර සිදුකර තිබුණේ මොණරාගල, දඹගල්ල, දෙලිව ප්‍රදේශයේ අයකුට අයත් කැබ් රථයක් පැදවූ රියැදුරෙකි. ඔහු ඇතුළු පිරිසක් දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද ප්‍රදේශයේ අවමංගල්‍යයක හත් දවසේ දානමය පුණ්‍යකර්මයට සහභාගි වී ඇත. ඒ සඳහා සහභාගි වූ ඥාති පිරිස රැගත් වාහන තුනක් මොණරාගල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා පැමිණ ඇති අතර එම නිවෙසින් වාහන පිටත්ව තිබුණේ මිනිත්තු දෙක තුනක පරතරයක් තබා ගනිමිනි.

ඒ අනුව එක් රථයක නැගි ඥාතීන් පිරිස කැබ් රථයට පෙර ගමන් අරඹා ඇත. දෙවනුව පිටත්ව ඇත්තේ මෙම කැබ් රථයයි. එහි රියැදුරු අසුනට වම්පස අසුනේ රියැදුරුගේ මව රැදී සිට ඇති අතර රථයේ පසුපස දැරියන් කිහිප දෙනකු සමඟ කාන්තාවක් රැඳී සිට ඇත.

පිරිස රැගත් කැබ් රිය අරලගංවිල බෝගස් හන්දිය පසුකරමින් සිටියදී මෙකී මාරක අනතුර සිදුව තිබේ. එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ අංක 14 ඒ.එච්. කොටස, රත්මල්තැන්න, අරලගංවිල පදිංචිව සිටි සචින්ත හේෂාන් (16) නැමැති දරුවෙකි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු පවුලේ වැඩිමලා වන අතර ඔහුට බාල සොහොයුරෙකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් සිටි සචින්ත හේෂාන්ගේ මරණය සිදුකළ රියැදුරා බීමතින් සිට ඇති බවත් අනවධානයෙන් රිය පදවා අනතුර සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරැ කරගෙන තිබේ.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් රියැදුරා අගෝස්තු 24 වැනිද තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා ඉකුත් 10 වැනිදා නියෝග කළේය.

එම සැකකරු 47 හැවිරිදි රංහොටි බණ්ඩාරලාගේ විමලසේන නැමැත්තෙකි. කැබ් රථ රියැදුරුට එරෙහිව මිනීමැරුම් හා මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාවන් යටතේ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් නීති කොට්ඨාසයේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

අනතුර නිසා ප්‍රතිකාර ලබන දරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. සැකකාර රියැදුරු සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ ශ්වසන පරීක්ෂාවෙන් හා වෛද්‍ය පරීක්ෂාවෙන් ද රියදුරු බීමත්ව සිට ඇති බව සනාථ වී ඇත. ඒ අනුව බීමත්ව රිය පදවා අනවධානය මත රිය අනතුර සිදුකළ බව පැහැදිලිය. මේ ආකාරයේ අපරීක්ෂාකාරීව රිය පදවා අනතුරු සිදුකරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගන්නා බව පොලිස් නීති කොට්ඨාසය අවධාරණය කරයි.

අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02