2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

එජාපයටයි ජවිපෙටයි මොකද වුණේ?

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

2020 මහා මැතිවරණය අවසන් වූයේ දේශපාලන ලෝකය උඩුයටිකුරු කරමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂා කළ පරිදි තුනෙන් දෙකක බලයක් ඔවුනට හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට මුහුණ පෑවේය. ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 249,435කි. එහි ප්‍රතිශතය 2.15කි.  පරාජයෙන් පසු එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළද සුදුසු නායකයකු පත් කරන තුරු තමන් ඉවත් නොවන බව යළි පවසා තිබේ. නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන පිරිස අතර තරගයක් පවතී. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා පරාජිතයන් කිසිවකු ඇතුළත් නොකිරීමටද තීරණය වී ඇති අතර අලුත් මුහුණක් ඒ සඳහා ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවක් පවතී. 

ජනතා විමුක්ති පෙරමුණටද අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි වූ අතර 2015 ආසන 6ක් හිමි කරගත් ඔවුනට මෙවර හිමි වූයේ ආසන 3ක් පමණි. මෙවර ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 445,985ක් වන අතර එහි ප්‍රතිශතය 3.84කි. තමන් ලද ප්‍රතිඵලය අනුව කිසියම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නා බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට මෙම පසුබැසීම බාධාවක් නොවන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා තිබේ. එක්සත් ජාතික පක්ෂයට හා ජාතික ජනබලවේගයට ඇත්තටම සිදු වූයේ කුමක්ද? ඔවුන් දැන් කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව අප විමසා සිටියේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේගෙනි. 

මහ මැතිවරණය පැවැත්වීමට පෙර පැවැති විද්‍යාත්මක පදනමක් සහිත අනාවැකි අනුව එක්සත් ජාතික පක්ෂය එක් ආසනයකට සීමා වනු ඇතැයි යන පූර්ව නිගමනයක කිසිදු දේශපාලන විශ්ලේෂකයෙක් නොසිටියේයැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. අවම වශයෙන් ඔවුන් ආසන 25ක් පමණ හෝ හිමිකරගනු ඇතැයි යන්න ඔවුන්ගේ පූර්ව නිගමනය වී තිබූ බවද ඔහු කීය. 

එක්සත් ජාතික පක්ෂයේ කිසියම් පසුබෑමක් ඇතැයි වටහා ගත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව පක්ෂයක් පිහිටුවා ගත්තා. මැතිවරණයට ඉදිරිපත් වන මොහොතේ පවා තමනට රජයක් පිහිටුවිය නොහැකි බව ඔවුන් දැන සිටියා. බොහෝ විට විපක්ෂය තුළ ප්‍රධාන බලවේගය වීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇති. එය ඉටුවී තිබෙනවා. 

සමගි ජනබලවේගයේ කණ්ඩායම පවා නොසිතූ අයුරින් එක්සත් ජාතික පක්ෂය දරුණු කඩාවැටීමකට ලක් වුණා. ඊට සාධක කිහිපයක් බලපෑවා. එක් සාධකයක් නම් සුළු ජාතික පක්ෂවල හැසිරීමයි. සාමාන්‍යයෙන් සුළු ජාතික පක්ෂ සමාජවාදී කඳවුරේ සිටිය යුතු වුවද අතීතයේ සිටම ඔවුන්ගේ සහය ලැබුණේ ප්‍රධාන ධනවාදී පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයටයි. කලක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, දිගම්බරම් සහ මනෝ ගනේෂන් වැනි දේශපාලනඥයන් මෙවර සහය දැක්වූයේ ජාතික සමගි ජනබලවේගයටයි. සමගි ජනබලවේගයට හිමි වූ ඡන්ද ප්‍රමාණයෙන් 40ක් පමණ වූයේ සුළු ජාතික ඡන්දයි. ඒ අනුව ඔවුන් හිමිකරගත් මන්ත්‍රීධුරවලින් 1/3ක් පමණ සුළු ජාතික නියෝජනයන්. මෙම සුළු ජාතික පක්ෂ එක්සත් ජාතික පෙරමුණින් ඉවත්වීම නිසා එක්සත් ජාතික පක්ෂය දරුණු පසුබෑමකට ලක් වුණා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළ ජනතාව ආකර්ශනය කරගත හැකි දක්ෂ කථිකයන්ද සිටියේ නැහැ. එම පක්ෂයේ ඇතැම් පුද්ගලයන් පිළිබඳව ජනතාවට ගැටලු තිබුණා.

මෙවර පැවැති මැතිවරණය පෙර පැවැති මැතිවරණවලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තා. විශාල ප්‍රචාරක රැලි, පෙළපාලි, පෝස්ටර් කටවුට් වැනි කිසිවකින් තොරව පැවැති මැතිවරණයක්. එවැනි ප්‍රචාරණයක් පැවතියානම් එක්සත් ජාතික පක්ෂයට වැඩි ජනමතයක් ගොඩ නඟා ගැනීමට හැකිවනු ඇති. පසුගිය වසර ගණනක සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට අභියෝගයක් එල්ල වී තිබුණා. එයට සාර්ථකව මුහුණ දීමට ඔහුටද හැකිවුණේ නැහැ ඒ නිසා පක්ෂය සෝදාපාළුවට ලක් වුණා. කොළඹ, ගාල්ල, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයට ජය හිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් විශ්වාස කළා. එහෙත් ඡන්ද දායකයාගේ හැසිරීම වෙනස් වී තිබෙනවා. යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයට තනිව ගමනක් යා නොහැක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයේදී ආසන 16ක් පමණ හිමි වූයේ ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීම හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු බිඳී ගිය කොටස් යළි එකතු වනු ඇතැයි යන්න මහචාර්ය සුදන්න ලියනගේගේ අදහසයි. 

පාර්ලිමේන්තුවේ 225න් එක් ආසනයක් යනු කිසිදු බලපෑමක් කළ හැකි තත්ත්වයක් නොවෙයි. ඒ නිසා ඔවුන් ජාතික සමගි ජනබලවේගය සමඟ එක්ව අලුත් ගමනක් ආරම්භ කළ යුතුයි. එහිදී නායකත්වය, නියෝජ්‍යනායකත්වය වැනි කරුණු සම්බන්ධයෙන් ඉවසන්නට ඔවුනට සිදුවේවි. මෙවර මැතිවරණයේදී පොදුජන පක්ෂයේ ඇතැම් අපේක්ෂකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට එරෙහි ප්‍රචාර ගෙන ගිය ආකාරය අප දුටුවා. ඒවා ඉවසාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූ බැවින් ඔවුන්ට ආසන 16ක් පමණ දිනාගත හැකි වුණා. එක්සත් ජාතික පක්ෂයත් ඉදිරි මැතිවරණයකදී එවැනි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. රජයට විපක්ෂ බලවේගයක් සමඟ එක්ව කරන ගමනක් තුළින් ඔවුන්ට යළි හිස එසවිය හැකි වේවි. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට මෙහෙය විය හැකි හොඳ නායකත්වයක් අවශ්‍යයි.‘ නායකයන් තෝරා පත් කර ගන්න බැහැ නායකයන් බිහි විය යුතුයි‘ කියා කියමනක් තිබෙනවා. හොඳ නායකයන් බිහිවන්නේ අර්බුදයක් තුළිනුයි. හොඳ නායකත්වයක් හා සංහිඳියාවක් තුළින් ඔවුනට ජයග්‍රහණය හිමිකරගත හැකියි. එවැනි පුද්ගලයන් තවමත් එක්සත් ජාතික පක්ෂය තුළ සිටිනවා. ඔවුනට නැගිටිය හැකියි එහෙත් තනිව නොවෙයි. යනුවෙන් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් සාර්ථක වූයේ 2004 මැතිවරණයෙනි. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගතවීමෙනි. එම සන්ධානයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් වීමත් සමඟ ඔවුනට හිමිව තිබූ බහුතර ඡන්ද පදනම බිඳවැටෙන්නට වූ අතර මේ වන විට 3දක්වා පහත වැටී තිබේ. ඇතැම් මැතිවරණවලදී කුඩා පක්ෂවලට යම් බලපෑමක් කළ හැකි වුවද තුන්වැනි බලවේගයක් ලෙස මතු විය නොහැකි විය.. මෙතෙක් පැවැති ප්‍රධාන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට (දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හා සමගි ජනබලවේගයට) සහය දැක් වූ කණ්ඩායම් දෙකක් වූහ. ඉන් පරිබාහිරව තුන්වැනි බලවේගයකට ආණ්ඩු බලයක් අත්පත් කර ගැනීම අසීරු කරුණකි.. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික ජනබලවේගය ලෙසිනි. ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණට හිමිවූයේ එක් මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර තුනක් හිමිවීම එක් අතෙකින් ඔවුන් ලද ජයග්‍රහණයකි. එහෙත් 2015 මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඔවුන්ගේ පසුබෑමක් පෙන්නුම් කරයි. ඔවුන්ට එවැනි පසුබෑමක් ඇති වීමට බලපෑ හේතු සාධක මොනවාද? ඒ සම්බන්ධයෙන් මහාචාර්ය සුදන්ත ලියනගේ මෙලෙස සඳහන් කරයි. 

ජනතා විමුක්ති පෙරමුණ සුළු පක්ෂයක් වුවත් ඔවුන්ගේ මූලික ඡන්ද පදනම ඇත්තේ සිංහල ජනතාව අතරයි. ඔවුනට සමාජවාදී දර්ශනය තුළ පැවතිය හැකි වුවද එම දර්ශනය සිංහල ජනතාව කෙරෙහි හානිදායක ලෙස බලපාන බව ඒත්තු ගැන්වෙන අවස්ථාවක ඔවුන්ගේ ඡන්ද පදනම අවම වෙනවා. 2015 යහපාලන ආණ්ඩුව සමඟ ජනතා විමුක්කි පෙරමුණ ගනුදෙනු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ කිසියම් කලකිරීමක් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය භාවිත කරන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පිරිස්. ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජාතික ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ සුහදශීලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඡන්ද පදනම බිඳ වැටුණා. ඔවුන් එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි ජනබලවේගය යන පක්ෂවලට විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් යළි ඡන්ද පදනම වැඩි කරගත හැකි වේවි. එමෙන්ම කිසිදු සුළු ජාතික පක්ෂයක සහය ඔවුනට නොමැති හෙයින් බහුතරයක් වන සිංහල ජනතාව දිනා ගැනීමට ඔවුන් උත්සාහ කළ යුතුයි. දැඩි ලෙස සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණක සිටියහොත් තව දුරටත් කඩා වැටීමට ලක්වේවි. ඔවුන් සතු දේශපාලන හැකියාව අපි අගය කළ යුතුයි. මෙවර මැතිවරණයෙන් ඔවුනට වැඩි ආසන ප්‍රමාණයක් හිමි නොවීම සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රජාව තුළ කිසියම් කනගාටුවක් තිබෙනවා. තමන්ගෙන් ගිලිහුණු පිරිස යළි දිනාගානීමට ඔවුන් උත්සාහ කළ යුතුයි. ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරයා සැබවින්ම ජාතික ලැයිස්තුව නියෝජනය කළ හැකි වියතෙකු විය යුතුයි යන්නයි මගේ හැඟීම.

තම පක්ෂයේ ජාතික ලැයිස්තු ධුරය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය වැඳගත් තීරනයක් ගෙන ඇතිබව පෙනේ.ඔවුන් ඒ සදහා නම් කර ඇත්තේ රුඩිකල් චරිතයක් වන ආචාර්යය හරිනි අමරසූරියයි
අතීතයේ ආසන  අටට බැස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පසු කාලීනව අති විශාල බහුතරයක් සහිතව ජය ලැබූ අවස්ථා දැකිය හැකිය. එහෙයින් සිදුවූ අතපසුවීම් මඟහැරගනිමින්, ඉවසීමෙන් යුතුව, දක්ෂ නායකත්වයක් යටතේ පක්ෂය ප්‍රතිසංවිධානය කළහොත් එක් ආසනයකට වැටුණු එක්සත් ජාතික පක්ෂයටත් ආසන තුනට වැටුණු ජනතා විමුක්ති පෙරමුණටත් ජයග්‍රාහි මාවටතට පිවිසීමට හැකි වනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02