2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

මහ මැතිවරණයේදී මොකද වුණේ?

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව උදෙසා මන්ත්‍රීවරුන් 225 දෙනකු  තෝරා පත් කර ගැනීම සඳහා 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය අගෝස්තු 5දා පැවැත්විණි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ20කින් අපේක්ෂකයන් 3652ක්ද,  ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයන්  3800ක්ද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියහ. ඡන්ද කොට්ඨාශ 12,777ක ඡන්ද මධ්‍යස්ථාන 12,985ක ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුසුසුකම් ලද ඡන්දදායකයන් සංඛ්‍යාව 16,263, 885ක් විය. වැඩිම ඡන්දදායකයන් පිරිස ලියාපදිංචි වී සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1,785,964කි. අඩුම ඡන්දදායකයින් පිරිස වන්නි දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 287,024කි. 

මින් ඉහත එක්වරක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරැ 208 දෙනෙක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටියහ. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තමන්ට ජයග්‍රහණය ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේ විවිධ පොරොන්දු සමඟිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාවට දුන් සහන කිසිවක් කපා නොහරින බවයි. තුන් වේලම කන්න එජාපයට ඡන්දය දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ  හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් හදන්න එක්වන ලෙසටය.

2019 ජනාධිපතිවරණයේදී දිවයින පුරා වාර්තා වූ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  85% ක පමණ ප්‍රමාණයක් වුවද  මෙවර මැතිවරණයේදී එය 71% දක්වා පහත වැටී තිබිණි. ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය විශාල ලෙස පහත වැටී තිබිණි. ජනාධිපතිවරණයේදී 83.31% ප්‍රකාශ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර ප්‍රකාශ වූයේ 68% කි. ජනාධිපතිවරණයේදී 82.82% ප්‍රකාශ වූ කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 68%කි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වූයේ 64෴ක ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණයේදී එය 76.52% විය. යාපනය දිස්ත්‍රික්කයෙන් 67%ක් වාර්තා විය. අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලින් 70% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබිණි. කෙසේ වුවද ජනාධිපතිවරණය හා සැසඳීමේදී ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයේ 10% පමණ අඩුවක් දැකිය හැකිය. කොවිඩ් බිය නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට ඇතැම් පිරිස් මැළිවීම මත මෙවැනි තත්ත්වයක් මතුවන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වුවද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කර තිබේ. කොවිඩ් වාතාරණය මධ්‍යයේ වෙනත් රටවල පැවැති මැතිවරණ හා සැසඳීමේදී මෙරට ඡන්දදායකයා ඉතා උද්‍යෝගය ඡන්දය භාවිත කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. 

මෙතෙක් පැවැති සියලු මැතිවරණවලදී ඡන්ද විමසීම අවසන් වූ විගස ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ඡන්ද ගණන් කිරීම ආරම්භ වුවද කොවිඩ් අවදානම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය සවස 5 දක්වා දීර්ඝ කෙරුණු අතර ඡන්ද ගණන් කිරීමට නියමිත වූයේ පසුදින උදෑසන 7ටය. දිවයින පුරා මධ්‍යස්ථාන 77කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරිණි. අධික වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල ඡන්දය ගණන් කිරීම ආරම්භ වූයේ උදෑසන 8ටය. පළමු වැනි ඡන්ද ප්‍රතිඵලය 6 දින දහවල් වන විට නිකුත් කිරීමට හැකි විය. වැඩිම අපේක්ෂකයන් පිරිසක් තේරී පත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19කි. එම 19 දෙනාට තේරී පත්වීම සඳහා දේශපාලන පක්ෂ 16කින් සහ ස්වාධීන කණ්ඩායම් 26 කින් අපේක්ෂකයෝ 924 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 18කම ජය  ඔවුනට හිමි වූ අතර ලැබූ ඡන්ද සංඛ්‍යාව 6,853,690ක් වන අතර එහි ප්‍රතිශතය 59.09%කි. දෙවැනි ස්ථානයට පත් සමගි ජනබලවේගයට වඩා මිලියන 4ක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ඔවුන් ලබා තිබේ. 

මැතිවරණ ඉතිහාසයේ අති විශාල ජයග්‍රහණයක් වාර්තා වූයේ 1977 පැවැති මහ මැතිවරණයේදීය. මෙවර එම වාර්තාව බිඳ දැමීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් ව සිටී. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69ක ඡන්ද ප්‍රමාණයක් හිමි විය. 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම ඡන්ද 4,732,664 ලද අතර මන්ත්‍රීධූර 95ක් හිමිකර ගත්තේය. පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණ කෙරැණු අතර එම පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙක් දෙකක බලයක් ලබා දෙන ලෙසටය. ගතවූ මාස කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග ජනතාව අනුමත කර ඇති බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් සනාථ වේ. විශේෂයෙන්ම ලොවම භීතියට පත් කළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව ඔහුට කළ ගුණ සැලකූ බව පැහැදිලිය. සෞභාග්‍යයේ දැක්ම බලගන්වන මැතිසබයක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාව ඉටු වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ. මෙවර උතුරැ නැගෙනහිර ප්‍රදේශවලට තරග නොකළද පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ කිහිපයක් එම ප්‍රදේශවලට තරග කළේය. උතුරු නැගෙනහිර ප්‍ර දේශවලට  තරග කළ ඊ.පී. ඩී. පී. පක්ෂය ආසන දෙකක් දිනා ඇති අතර තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටී.එන්. ටී.කේ පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනය බැගින් දිනා සිටී. ඔවුන්ගෙන්  ඊ.පී.ඩී.පී. ඇතුළු පක්ෂ 5කම සහය හිමිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඔවුන්ගේ සහය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙක් දෙකක බලය හිමිකර ගැනීමට හැකි වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයට මෙවර අත්වූයේ දරැණු පරාජයකි. එකදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීධුරයක් හෝ හිමිකර ගැනීමට ඔවුනට නොහැකි වූ අතර හිමිවූයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ ආසනය පමණි. ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 249,435කි. එහි ප්‍රතිශතය 2.15%කි. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩවීම මෙවැනි පරාජයක් හිමිකර දීමට බලපෑවේය. ඔවුන් මෙවැනි ඉරණමකට මුහුණ දුන්නේ ඉතිහාසයේ පළමුවරටය. 1946 සැප්තැම්බර් මස 6 දින ආරම්භ කෙරුණු ශ්‍රී ලංකාවේ පැරණිතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මින් ඉහත දරැණු පසුබෑමකට ලක්වූයේ 1956 මැතිවරණයේදීය. එවර ඔවුනට හිමි වූයේ ආසන අටක් පමණි. රෝදය ලකුණින් ශ්‍රීලනිපය හා එක්ව තරග කළ මහජන එක්සත් පෙරමුණට ආසන 51ක්ද, ලංකා සමසමාජ පක්ෂයට ආසන 14ක් ද එවර හිමිවිය. මැතිවරණ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගත්තේ 1977 මහ මැතිවරණයෙනි. එහිදී ඔවුනට ආසන 140ක් හිමි වූ අතර එය හයෙන් පහක අති බහුතරයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ ආසන 8කි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 හිමිකර ගත්තේය.  තනි පක්ෂයක් ලෙස බොහෝ කලක් මෙරට දේශපාලනයේ නිරත වූයේ එක්සත් ජාතික පක්ෂයයි. 

2015 මහ මැතිවරණයට ඔවුහු එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කළ අතර ඡන්ද 5,098,916ක් හිමිකර ගෙන මන්ත්‍රිධුර 106 දිනා ගැනීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීමට බල පෑ ප්‍රධාන සාධකය මහබැංකු  වංචාව හා දුර්වල නායකත්වය යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සමගි ජනබලවේගය සමඟ එක් නොවූ එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රබලයන්ගේ පාර්ලිමේන්තු සිහිනය මේ වන විට බොඳවී තිබේ. දසක 4කට අධික කාලයක් අමාත්‍යවරයකු, අගමැතිවරයකු, හා විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වීම මෙවර මැතිවරණයේ සුවිශේෂ සිදුවීමක් විය. 

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ සමගි ජනබලවේගය වටා එක්සත් ජාතික පාක්ෂිකයන් පෙළ ගැසී ඇති බව ඔවුන් දෙවැනි ස්ථානයට පත්වීමෙන් පැහැදිලිය. ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 2,771,980කි එහි ප්‍රතිශතය 23.90%කි. ඔවුන් ජයග්‍රහණය කළේ එක් දිස්ත්‍රික්කයක් පමණි. ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි. එය සජිත් ප්‍රේමදාසගේ නායකත්වය අනුමත කිරීමක්ද නැතිනම් රනිල් වික්‍රමසිංහ කෙරෙහි පැවැති විරෝධය ප්‍රකාශ කිරීමක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය සිව්වැනි ස්ථානයට ඇද දමමින් සමගි ජනබලවේගය දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය යාපනය, මඩකලපුව සහ වන්නි යන දිස්ත්‍රික්ක ජයගනිමින් මන්ත්‍රිධුර 10ක් දිනා ගැනීමට සමත් විය.

දශක ගණනක් පුරා මෙරට ප්‍රධාන පක්ෂ දෙක බවට පත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වූ අතර එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී සමගි ජනබලවේගය නිර්මාණය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ චෝදනාව එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත එල්ල වන අතර එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ චෝදනාව එල්ල වන්නේ රනිල් වික්‍රමසිංහටය. මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් වූයේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පමණි. අනිකුත් දිස්ත්‍රික්ක සඳහා ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද මහලේකම්වරැන්ද පක්ෂ ලකුණ වන අත ලකුණ අතහැර පොහොට්ටුව ලකුණින් තරග කිරීම දෛවයේ සරදමකි.

2015 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 543,944ක් හිමි වූ අතර මන්ත්‍රීධූර 6ක් දිනා ගැනීමට සමත් විය. පසුගිය ජනාධිපතිවරණයට ඔවුන් ඉදිරිපත් වූයේ තවත් සංවිධාන කීපයක් සමග සන්ධාන ගතව ජාතික ජනබලවේගය ලෙසිනි. ජාතික ජනබලවේගයට .3%කට වඩා වැඩි ඡන්ද පදනමක්  නොමැති යැයි බොහෝ පිරිස් උපහාසයෙන් කියා සිටියහ. මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්ව සිටියද, 2015 ඔවුන් හිමිකරගත් ඡන්ද ප්‍රතිශයට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබේ. මෙවර ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 445,985කි. ඒ අනුව ඔවුන් මන්ත්‍රී ධූර දෙකක් දිනා තිබේ. ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රි ධූරයත් සමඟ මන්ත්‍රිධූර 3කි. තුන්වැනි බලවේගයක් ලෙස ඔවුන් තවදුරටත් පසුබැසීමට ලක්ව තිබේ. ඔවුන් ලද ඡන්ද ප්‍රතිශතය 3.84%කි.

මෙවර මැතිවරණයේ විශේෂත්වය පළමුවරට මහ මැතිවරණයකට ඉදිරිපත් වූ නවක පක්ෂ දෙකක් බහුතරය දිනාගැනීමට සමත් වීමයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වාර්තාවක් ද තබා තිබේ. නවක පක්ෂයක් ලෙස පළාත්පාලන, ජනාධිපතිවරණ හා මහමැතිවරණය යන මැතිවරණ තුනම දිනාගත් මෙරට බිහිවූ පළමු නවක පක්ෂය ලෙසිනි. 

කෙසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ  එම ජයග්‍රහණය හිස නමා පිළිගන්නා බවයි. රජයට ලැබී ඇති අති බහුතර බලය ඔවුන් භාවිත කරන්නේ කෙසේදැයි යන්න තමන් බලා සිටින බවද ඔහු සඳහන් කළේය. පරාජයට පත් සියලු පක්ෂයන්හි ඡන්ද ප්‍රමාණය එකතු කළද එම ප්‍රමාණය අභිබවා පොදුජන පෙරමුණ ඡන්ද ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය. මෙම පරාජය ජයග්‍රහණයේ මාවත බවට පත් කර ගන්නා බවද, තමන් යළි ප්‍රතිසංවිධානය වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීධූර 17ත් සමඟ මන්ත්‍රිධූර 145ක් හිමිව ඇති අතර, සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධුර 7ක් සමඟ මන්ත්‍රි ධුර 54ක්ද, ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රි ධුරයක් සමඟ මන්ත්‍රිධුර 3ක්ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයෙක් සමග මන්ත්‍රි ධුර 10ක්ද හිමිවී තිබේ. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ 51 අතුරින් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පක්ෂ 15ක් පමණි. ඉන් එක්සත් ජාතික පක්ෂය හා අපේ ජනබල පක්ෂයට හිමිව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණි. ඉතිරි සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් එකදු මන්ත්‍රී ධුරයක් හෝ ලබා නොමැත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
     සේයාරූ - වැල්ලවාය අයි. ආර්. ඉන්දික