2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

ගිනස් පොතට යන්න හදන හමුදාවේ නිවුන්නු

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ලොව දරුණුයැයි කී ත්‍රස්තවාදය පරාජය කළ වීරෝදාර හමුදාව අප සතුය. ඒ අභිමානවත් යුද හමුදාවේ 35 වසරක සේවයක් සපුරා ලෝක ඉතිහාසය අලුතින් ලියවන්නට මේජර් ජෙනරාල් නිලයෙන් විශ්‍රාම ලබන නිවුන් සොහොයුරන් දෙදෙනකු සූදානමින් පසුවෙති.

සෙනෙවිරත්න පියාණන්ට දාව ලීලා සෙනෙවිරත්න මෑණියන්ගේ කුසින් 1965 සැප්තැම්බර් 6 වැනිදා මෙලොව උපන් පූරක සෙනෙවිරත්න සහ ජයන්ත සෙනෙවිරත්න නිවුන් සොහොයුරන් මීට වසර 35කට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බල සේනාවට එක්ව තිබුණේ එකම දිනකදීය. 1985 ඔක්තෝබර් 31 වැනිදා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක - 22 යටතේ හමුදා සේවයට එක්වූ නිවුන් සොයුරන් ආදර්ශමත් සේවා කාලයකට පසුව ලබන සැප්තැම්බර් 6 වැනිදා යුද හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

දෙවන ලුතිතන් නිලයේ රාජකාරි අරඹා ක්‍රමක්‍රමයෙන් එකම දිනකදී උසස්වීම් ලබාගත් නිවුන් සොයුරන් ඔවුන්ගේ 53 වැනි උපන්දිනය දවසේ මේජර් ජෙනරාල් නිලයට උසස්වීම විශේෂයකි. මේ ආකාරයෙන් එකම දිනක යුද හමුදාවේ කෙඩෙට් නිලධාරීන් ලෙස එක්වූ නිවුන් සොහොයුරන් මේජර් ජෙනරාල් නිලයටත් එකම දිනකදී උසස්වීම් ලබා එම නිලයේ විශ්‍රාම ලබන ලොව පළමු සහෝදරයන් දෙපළ බවට විශ්වාස කෙරේ.

ලෝක ඉතිහාසයේ යුද හමුදාවට එක්වූ නිවුන් සොහොයුරන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා එකම දිනකදී විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු යුද හමුදා මූලස්ථානය මැදිහත්වීමෙන් සූදානම් කෙරෙමින් පවතී. ඊට අවශ්‍ය කෙරෙන ලියකියවිලි භාරදීමේ උත්සවය ඉකුත් 30 වැනිදා යුදහමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාව 71 වසරක අභිමානවත් ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයට මෙන්ම ලෝක ඉතිහාසයේත් අලුතින් සටහන් තැබීමකි. ඒ සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය. එසේම මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ බලය ලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමඟ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී වූහ.

1965 සැප්තැම්බර් 6 වැනිදා නිවුන් දරුවන් සේ උපත ලබා එකම දිනක පාසැලට ඇතුළත්ව උසස් පෙළ දක්වා එකම පන්තියේ ඉගෙනුම ලබා පාසල් අධ්‍යාපනයෙන් පසු එකම දිනයක යුද හමුදාවට බැඳී අධිකාරියට පත්වූයේද එකම දිනකදීය. පසු පාකිස්තානයේ ක්වේටා (Quetta) විදේශීය හමුදා පාඨමාලාවක් හදාරා එකම දිනකදී සිය උසස්වීම් ලැබූ සොයුරන්ගෙන් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන්ද මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න බටහිර ආරක්ෂක සේවා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරයි. තවත් මාස කිහිපයකින් හමුදා ජීවිතයෙන් සමුගැනීමට නියමිත නිවුන් සොයුරන් දෙපළ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත්වීම සඳහා නියමිත නිල ලිපි ලේඛනවලට අත්සන් තැබීම පසුගිය 30 වැනිදා සිදුකෙරිණ.

එහිදී යුද හමුදාපතිවරයා ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපළගේ යුද හමුදාවට අදාළ නිල ලේඛනවල සැබෑ පිටපත් සහතික කොට ගිනස් වාර්තා කමිටු නියෝජිත වෙත බාරකර ඇත. එසේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොළ මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කොට ජාතික ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටු සභාපති වෙත බාරදී තිබිණ.
මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ ජයන්ත සෙනෙවිරත්න නිවුන් සහෝදරයන් දෙපළ රත්නපුරය සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. එකම පංතියක සිට පාසල් අධ්‍යාපනය ලැබූ සොයුරන් දෙපළ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව තෝරාගෙන තිබිණ. පසුව කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 22 යටතේ යුද හමුදාවට එක්ව තිබෙන දෙපළ දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානයේ මංගලා නිලධාරී පුහුණු පාසල වෙතින් මූලික යුද පුහුණුව හදාරා ඇත. අනතුරැව 1986 ජූලි 24 වැනිදා පාකිස්තානයේදී දෙවන ලුතිතන්වරු වශයෙන් අධිකාරියට පත්ව ඇත.

මෙම සාර්ථක පුහුණු පාඨමාලා අවසානයේ සියරට පැමිණි නිවුන් සොහොයුරන්ගෙන් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න ශ්‍රී ලංකා සංඥා බලකායටත්, මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත් අනුයුක්තව සේවය කරමින් සිටිති. දෙවන ලුතිතන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වාම එකම දිනකදී සිය උසස්වීම් ලබමින් හමුදා සේවයේ නිරතවූ නිවුන් සොයුරන් මේ දෙපළ පමණක්ම විය හැකිය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02