උත්තරීතර පාර්ලිමේන්තුවේ තනි අලියෙක් පමණක් තබා ලාංකීය දේශපාලන වංශයේ මහා හස්ති පරපුර අවසන් ගමන් ගියේය. මේ සටහන මෙරට දැවැන්ත දේශපාලන පක්ෂය ලෙස සැලකුණු එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයේදී ලැබූ නින්දාසහගත පරාජය පිළිබඳවයි.
එක්සත් ජාතික පක්ෂයට අර්බුදය අරැමයක් නොවූ බව ලාංකීය දේශපාලන ඉතිහාසය දත් සැවොම දන්නා කරුණකි. නමුත් ඉතිහාසයේ කිසිදාක එක්සත් ජාතික පක්ෂයට මෙවන් ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවූයේ නැත. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස නික්ම යාම සමඟ එක්සත් ජාතික පක්ෂය 2020 මහමැතිවරණයේ යම් අර්බුදයකට මුහුණ පානු ඇතැයි බොහෝ දෙනා සිතූ බව සැබෑවකි. එහෙත් මෙතරම් ඇද වැටීමක් කිසිවෙක් අපේක්ෂා කළේ නැත.
වර්තමාන එජාප බිඳවැටීමට හේතු වූ ප්‍රතිරෝධ නිර්මාණය වූයේ 2001 එජාප ආණ්ඩුවේ බිඳවැටීම සමඟයි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිබඳව කලක් තිස්සේ තිබූ කලකිරීම ප්‍රසිද්ධයේ දලු ලෑමට පටන් ගත්තේ අනතුරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර අරගල කිහිපයක් පසුගිය වසර විස්සකට ආසන්න කාලය තුළ නිර්මාණය විය.
2004 අප්‍රේල් මැතිවරණ පරාජයෙන් අනතුරුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයට පළමු අභියෝගය එල්ල කරනු ලැබුවේ කරු ජයසූරිය මහතාය. එම ප්‍රතිරෝධයේම දිගුවක් ලෙස කරැ ජයසූරිය ප්‍රමුඛ පිරිසක් යූද්ධයට සහයෝගය දීමේ අරමුණින් 2007 දී පක්ෂය හැර ගොස් මහින්ද රාජපක්ෂ රජයට එකතු වූහ. සජිත් ප්‍රේමදාස නායකත්වයට අභියෝග කරන්නට පටන්ගත්තේ ඉන් අනතුරුවයි. 2012 දෙසැම්බර් පළමුවැනිදා සිරිකොත මූලස්ථානයේ පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික මහ සමුළුවට කලින් නම් කරනු ලැබූ පිරිසකට ආරාධනා ලැබුණි. ඒ සජිත් - රනිල් ගැටුම උග‍්‍රව පැවතීම හේතුවෙනි. ඒ අනුව 54 ජාතික සම්මේලනය පැවැත්වීමට සිදු වූයේ ‘සිරිකොත‘ පක්ෂ මූලස්ථානය වටකොට පොලිස් විශේෂ කාර්ය බළකාය රඳවා තබමිනි. මහින්ද ලවා රනිල් පාරවල් කාපට් කෙරෑ කතාව නිර්මාණය වූයේ මෙහිදීය.
2013 දී මාතර නගර සභාව ඉදිරිපිටදී කුරුඳු පොලු ගැටුමක් ඇති වන්නේ ද මෙම අර්බුදයේම දිගුවක් ලෙසිණි. එහිදී සිදුවූයේ රනිල්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් දෙවිනුවර සිට කොළඹ දක්වා ගමන් කළ පා ගමනට ප‍්‍රහාරයක් එල්ල වීමයි. එහිදී කුරුඳු පොලුවලින් ගුටි බැට හුවමාරු කර ගත් අතර 15 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකත්වය සමඟ ක්‍රමයෙන් නැගී එන අතරේ 2015 ජනාධිපතිවරණය හරහා රනිල් වික්‍රමසිංහ නැවත පක්ෂයේ බලය තහවුරු කරගත්තේය. දිගින් දිගටම එජාප බලය වික්‍රමසිංහ කණඩායම වෙත ගොනු වීමට කෘත්‍යාධිකාරී මණ්ඩයේ බලය හේතුවිය. කෙසේ නමුත් යහපාලන ආණ්ඩුවේ පිරිහීම සමඟ සජිත් පාර්ශවය පෙරට වඩා විරෝධයක් නායකත්වයට එරෙහිව ගොනු කළේය. එය වඩාත් බලවත් වූයේ 2019 ජනාධිපතිවරණයට දින ළංවීමත් සමඟයි. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත්ට ලබාදීමේ අරමුණින් සෘජු බෙදීමක් එජාපය තුළ නිරූපණය විය. අපේක්ෂකත්වය ඉල්ලා ජනරුලි පවා සංවිධානය කෙරුණු අතර අවසානයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස හට හැකිවිය. එහෙත් නායකත්වය රනිල් වික්‍රමසිංහ සතු වූ අතර ජනාධිපතිවරණය පරාජය සජිත් පාර්ශ්වය විසින් වික්‍රමසිංහ ගිණුමට බැර කරනු ලැබුවේය.
එතැන් පටන් සමගි ජනබලවේගය මහමැතිවරණයට වෙනම නාම යෝජනා භාරදීම දක්වා කාලය එජාප අර්බුදයේ උණුසුම්ම කාලය විය. නාමයෝජනා සමඟ එජාප ප්‍රබල කණ්ඩායමක් පක්ෂයෙන් බිඳී ගියේය. එහෙත් සජිත් ප්‍රමුඛ කණ්ඩායම තමන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බව කීමට උත්සුක වූහ. එජාපයේ බලය නැවත් අත්පත් කරගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක් විය. එම නිසාම මැතිවරණ ව්‍යාපාරයේ මත ගැටුම් රැසක් නිර්මාණය විය. මේ අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ද සජිත් පාර්ශ්වය කටයුතු කළේය. එහි අරමුණද වූයේ එජාප බලය තවදුරටත් තමන් වෙත රඳවා ගැනීමයි. නමුත් එය අසාර්ථක විය. මැතිවරණය පෙනි පෙනී එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සහ පළාත් පාලන මන්ත්‍රීවරැන් හැටකගේ සාමාජිකත්වය අහෝසි කළේය.
කෙසේ නමුත් අවසානයේ මහමැතිවරණයේදී අලියා ලකුණ ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය ලැබුවේය. 1946 සැප්තැම්බර් 6 වැනි දින, බහුතර සිංහල ප‍්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූන් ඒකරාශි වී සෑදූ එජාපය අත්විඳි මෙම පරාජය ඓතිහාසික එකක් විය. 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ සමස්ත ඡන්ද දෙලක්ෂ හතලිස් නවදහස් හාරසීය තිස් පහයි. (249435) එය මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකයි දශම එකයි පහක් (2.15) විය. කිසිදු මන්ත්‍රී ආසනයක් දිස්ත්‍රික් මටමින් දිනාගැනීමට එකසත් ජාතික පක්ෂ අසමත් වූ අතර හිමි වූ එකම අසුන ද ඔවුනට හිමි වූයේ ජාතික ලස්තුවෙනි.
මෙම පරාජය නායකත්වය මතම පදනම් වූවක් බව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නමක් දිනූ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු වන මුත් ඔහුගේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නොවීම මෙම එජාප විනාශයට මූලික හේතුව විය. වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ලැබූ දැවන්ත පරාජය මෙම තත්ත්වය මනාව පැහැදිලි කරයි. කෙසේ නමුත් එජාපයේ අනාගතය තවත් අවිනිශ්චිතය. සජිත් කණ්ඩායම එජාප බලය අත්පත් කරගැනීමේ මෙහෙයුම මේවන විටත් අරඹා තිබේ.
චමිඳු නිසල් ද සිල්වා