2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

විජය ඝාතනයේ නාවල නිහාල්ගේ පශ්චාත්තාපය

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1745

මෙරට වාම දේශපාලනයේ හැරවුමක් ලෙස විජය කුමාරණතුංගගේ දේශපාලන ආගමනය හැඳින්විය හැකිය. ඔහු ඒ වනවිට සිංහල සිනමාවේ සිහින කුමාරයා මෙන්ම පිට පිට කිහිප වතාවක් ජනතාවගේ ජනප්‍රිය නළුවා බවට පත් වූ අයෙකි. ඒ නිසා ඔහුට රටක් ඇලුම් කළේය. එසේම ඔහු මානවවාදී දේශපාලනඥයකු ලෙස හැඳින්වීය. ඒ ඔහුගේ නිහතමානීකම නිසාය.

ඒ නිසා විජය, ඇන්.ඇම්, කොල්වින්, විජේවීර ගිය පාරට වෙනත් දේශපාලන මාවතක් ඔස්සේ අලුත් වමක් රටේ බිහිකරමින් සිටියේය. විශේෂයෙන් විජය එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය ගිනි අවියෙන් නොව සාකච්ඡාවෙන් විසඳිය යුතු තැනකට තල්ලු කරන්නට විය. මේ නිසා විජය ප්‍රධාන පක්ෂවලට පමණක් නොව වමේ දේශපාලන පක්ෂවලට පවා ගැටලුවක් විය.

විශේෂයෙන් විජය මේ රටේ වලව් පෙළැන්තියේ දේශපාලන පවුලක් වූ බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා බණ්ඩානායක සමඟ විවාහයත් නිසා එවකට ජවිපෙය, විජය සමඟ එතරම් සුබදායක දැක්මක් තිබුණේ නැත. විශේෂයෙන් විජය දේශපාලන කපටියකු ලෙසත්, වලව් පෙළැන්තියේ විවාහයක් සිදුකර රටේ දුප්පත් මිනිහාට නායකත්වය දෙමින් වමේ දේශපාලනය කිරීම දෙබිඩි ප්‍රතිපත්තියක් ලෙසත් එවකට ජවිපේ මතය විය.
මේ නිසාම විජයට සිය දහස් වාරයක් වමේ දේශපාලනයට නායකත්වය සපයන ක්‍රමවේදය නවතා දමන ලෙස ජවිපේ රතු නිවේදන නිකුත් කළේය. එහෙත් විජය එය තඹයකට මායිම් කළේ නැත. හේතුව වූයේ විජය සම්බන්ධයෙන් කිසිවෙකු වෛරී හැඟීමක් නැතැයි විජය විසින්ම සිතූ නිසාය. ඒ බව විජය හිතවතුන් හමුවේ පවා කියා තිබිණි. ඒ නිසාම විජය තව තවත් සක්‍රීය දේශපාලනයේ නිරත වුණේය. එහෙත් ඔහුට ඊට අවසර ලැබුණේ නැත.

1988 පෙබරවාරි 16 වැනිදා උදෑසන අමානුෂික ලෙස ඔහු ඝාතනය විය. මේ ඝාතනය ලාංකික දේශපාලනයේ පමණක් නොව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ හද කම්පා කරවන සිද්ධියක් විය. එය එවකට හැඳින්වූයේ සමනලයකුට වෙඩි තැබූ බවය එය තවත් කම්පා කිරීමට හේතුවූයේ ජනතාව ඇඳ බැඳ තබාගත්, සිනහවත්, රන් පැහැ මුහුණත් විනාශ වන්නටම වෙඩි තැබූ නිසාය.
මෙම ඝාතනය දෙදෙනකු විසින් සිදුකළ බවට විජයගේ රියදුරු කීවේය. පසුව එම ඝාතකයන් පසුපස හඹාගියත් අල්ලා ගැනීමට හැකිවූයේ නැත. එහෙත් විජයගේ ඝාතනය දුටු රියදුරුත්, ආරක්ෂකයාත් සැකකරුවන්ගේ ලක්ෂණ කීවේය. එම ලක්ෂණවලට අනුව රෑපයක් පොලීසිය විසින් චිත්‍රයට නැගුවේය. ඒ පොලිස් ඉතිහාසයේ සැකකරුවකුගේ රූපය ඇඳි පළමු අවස්ථාවක් විය. ඒ අනුව සැකකරුවන් කොටුකර ගත්තේය. එවකට ආණ්ඩුවට අනුව එකෙක් ලයනල්ය. අනිකා ටාසන්ය.
මේ විජයගේ ඝාතනය සම්බන්ධයෙන් කලබලය මැද අත්අඩංගුවට ගත් සැකකරුවන්ය. එහෙත් මේ කතාව එවකට නාවල නිහාල් පවා දැන සිටි, එකට හිරේ සිටි අයෙකු ලියුම්කරැ වෙත හෙළිකළේ මෙලෙසය. ඔහුගේ නම කීමට ලියුම්කරුට අයිතියක් නැත. ඒ ඔහුගේ විරෝධය නිසාය.

විජය මහත්තයා ගැන ඔය චේගුවේරාකාරයෝ විතරක් නෙමෙයි, ආණ්ඩුවේ අයටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. මේ ඝාතනය ගැන හරියට පරීක්ෂණ කරනවාට වඩා ඉක්මනින් වැඩේ කරන්න ඕනෑ වුණේ. විජයට වෙඩි තිබ්බේ ටී 56 කින් කියනවා. තව තැනක පිස්තෝලයකින් කියනවා. ඔය වගේ අවුල් තියෙනවා.
ඇත්තටම විජයට වෙඩි තිබ්බේ කවුද?
ඇත්තටම විජයට වෙඩි තිබ්බේ කවුද කියන එක ඒ දවස්වල පාතාලයේ ප්‍රසිද්ධ රහසක්. හැමෝම දැනන් හිටියා නොයෙල් සහ බදුල්ලේ හෙට්ටිගේ වැඩක් කියලා. බදුල්ලේ හෙට්ටි තමයි ගැහුවේ. නොයෙල් බයික් එක පැද්දා. හෙට්ටි ඒ කාලේ හිටියේ නොයෙල්ගේ ගෙදර. නොයෙල්ගෙයි, හෙට්ටිගෙයි තිබුණ මිත්‍රකම හැමෝම දන්නවා. නොයෙල් ජේවීපී කියලයි ඒ කාලේ කතාවුණේ. මොකද ඒ හෙට්ටි නිසා.

හෙට්ටිම ගැහුවා කියන්නේ කොහොමද?
ඔය අල්ලගත්ත උන් මෙලෝ දෙයක් කළ උන් නෙමෙයි. පේනවනේ උන්ගේ හැටි. අනික විජය වගේ කෙනෙක්ට ගහන්න ආවට ගියාට මිනිස්සු එවන්නේ නෑ. හොඳම වැඩකාරයෙක් එන්න ඕන. ඉතිං ඒකට හෙට්ටි දක්ෂයා. හෙට්ටි ඒ වෙනකොට 88/89 භීෂණයේ ලොකු ලොකු ටාර්කට්වලට ගැහුව පොරක්.
නොයෙල්ලා මේකට සම්බන්ධයි කියලා කොහොමද කියන්නේ?

මේ කතාව කවුරුත් නොදන්න කතාවක්. මේ වැලිකඩ වුණු සිද්ධියක්. විජයට ගහපු වෙලාවේ කවුරු හරි විසිට් එක දාලා නිහාල්ට කියලා මේ කේස් එක. එදා දුක්වුණා. ඇඬුවා. හේතුව නිහාල් පෞද්ගලිකවම දන්න ආදරය කළ මිනිහෙක් නිසා. හැබැයි මේ අස්සේ ඒ දවස්වල පත්තරේ ගියා විජයට ගහන්න ආපු බයික් එක කියලා හොයාගත්ත බයික් එකක්. සී.සී 200 ක්. මේ බයික් එක ගැන ආරංචි වෙලා නිහාල් වැලිකඩ බිත්තියේ ඔලුව ගහගත්තා. කෑ ගැහුවා. ඇඬුවා. පුදුම දුකක් විඳලා තිබ්බේ. ඔය අස්සේ නොයෙල්ව මරනවා කියලත් කෑගහලා. පස්සේ හොයලා බලද්දී තමයි හෙළිවුණේ, නොයෙල් ගෝනවල සුනිල්ට ගහන්න කියලා නිහාල්ට කියලා අරගත්ත බයික් එක තමයි මේ කියලා. ඒක නිසා නිහාල් පුදුම විදිහට දුක්වුණා. ඒ විජය මරන්න නොයෙලුත් එක පැත්තකින් උදව් කළා කියලා. හැබැයි නිහාල් දැනන් හිටියා බයික් එක පැද්දේ වගේම විජයට ගහන්න නොයෙල් සම්බන්ධයි කියලා. ඒත් ඒවා එළියට ආවේ නෑ.

මේ කතාව ඇසෙන ඕනෑම කෙනෙකුට තර්ක කළ හැක. පිටු 179ක ප්‍රකාශයක් දුන් ලයනල් නැමැත්තා විජය ඝාතනය කළ බව පිළිගෙන තිබුණි. ඒ නිසා මෙය බොරුවක් යැයි කිව හැකිය. එහෙත් මේ පාතාලයේ ඇතුළේ කතාය. බොහෝ ඝාතනවල ඇත්ත කාලය සහ බලය විසින් වසන වාර අනන්තය. ඒ නිසා අපිට මේ කතාව අහක දැමිය නොහැක. හේතුව එවකට ආණ්ඩුවේ කල්ක්‍රියාවද එතරම් යහපත් නොවන නිසාය. එහෙත් මේ කතාව මෙලෙස සටහන් කරන්නේ මෙවැනි කතාවක්ද පාතාලයේ ඇති නිසාය.

88/89 කලබල ඉතා ඉක්මනින් රටපුරා ඇවිලි ගියේය. ජනතා ව්‍යාපාරය එන්න එන්නටම රට පාලනයට නතු කරමින් සිටියේය. මේ නිසා ජනතා ව්‍යාපාරයත්, ආණ්ඩුවේ හමුදාවත් අතර ගැටුම් වැඩිවිය. කෙසේ වෙතත් මේ අතර කාලයේදී බදුල්ලේ හෙට්ටි ආරක්ෂක අංශයේ වෙඩි පහරින් මියගොස් තිබුණේ කිසිම සාක්ෂියක් නැති වන්නටය.

මේ සියල්ල මැද තනිවුණු නොයෙල් තනි අලියකු සේ රටේ නැති අපරාධ කරමින් සිටියේය. අවසානයේ නොයෙල් පොලීසියට කොටුවී වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේය. ඒ නොයෙල්ගේ අවසන් කාලයයි.
අමරසිංහලා, අමරසිංහලා අතර ඇතිවූ ගැටුමත් සමඟ නොයෙල් අමරසිංහට අභියෝගයක් විය. මාදින්නාගොඩ අනිල් ඇතුළු පිරිසක් නොයෙල්ගේ තවත් මස්සිනා කෙනකු මරාදැමීම නිසා නොයෙල් අනිල්ගේ ගෝලයෝ රුසක් මැරැම් කෑහ. මේ නිසා අනිලුත්, නිහාල් අමරසිංහත් නොයෙල් ඝාතනයට සූදානම් වී සිටියෝය. ඒ සඳහා එක් වතාවක් එක්තරා බන්ධනාගාර නිලධාරියකු අතේ ගිනි අවියක් ඇතුළට යවා නොයෙල් ඝාතනය කරන්නට හැදුවත් එය සිදුකිරීමට හැකිවුණේ නැත. ඒ එය හෙළිවූ නිසාය. මේ නිසා නොයෙල් දන්නා බොහොමයක් පරිස්සම් වෙන ලෙස නොයෙල්ට දැනුම් දුන්නත් නොයෙල් ඒ කිසිවත් තඹයකට මායිම් කළේ නැත. ඒ නොයෙල්ට හොඳම ආරක්ෂාකාරී තැන ලෙස බන්ධනාගාරය ගැන විශ්වාසය තබාගෙන සිටි නිසාය.

මේ අතර නිහාල් අමරසිංහත් මාදින්නාගොඩ අනිලුත් නොයෙල් ඝාතනයට පිඹුරැපත් සැකසුවේය. ඒ අනුව නොයෙල් ඝාතනයට වෙනින් කවුරැත් නොව නිහාල්ම යායුතු බව තීරණය කළේය. නිහාල්ට එරෙහිව තිබූ නඩු තීන්දුවකට අනුව නිහාල් වැලිකඩ බන්ධනාගාරයට කැමැත්තෙන්ම ආවේය. එහෙත් නොයෙල් සහ නිහාල් එකෙකුට එකෙක් නැති තැනක සිටියේය.

මේ සියල්ල මැද දිනක් නිහාල්ට එවනු ලැබූ බන්ධනාගාර විසිට් එකකින් පිස්තෝලයක් ඇතුළට ගෙනාවේය. එය සූක්ෂම ලෙස ඇතුළට ගත් නිහාල් අවස්ථාව එනතෙක් අවධානයෙන් සිටියේය. එක්තරා දිනෙක සියලුදෙනාම එළියේ සිටි අවස්ථාවේ නිහාල් පිස්තෝලය රැගෙන විත් නොයෙල්ට එක දිගට වෙඩි තබා ඝාතනය කළේය. ඒ ප්‍රහාරය කිසිවකුට සිතාගත නොහැකි විය. එල්ලකරන ලද වෙඩි ප්‍රහාර ශබ්දය වැලිකඩ බන්ධනාගාරය සිසාරා රැව් දුන්නේ එතෙක් පාතාලයේ නමක් මෙන්ම අසීමිත ඝාතන රැසකට සම්බන්ධ නොයෙක් අමරසිංහ මහ පොළව මත කපාදැමූ කෙසෙල් කඳක් මෙන් බිම හෙළමිනි.

මෙම ප්‍රහාරය බන්ධනාගාරය ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් විය. එනම් බන්ධනාගාර ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ රුඳවියකු විසින් තවත් රුඳවියකු වෙඩිතබා ඝාතනය කළ පළමු අවස්ථාව එය විය. මෙය බන්ධනාගාරය තුළ සිදුවූ පළමු ඝාතනයද විය. මේ ඝාතනයත් සමඟින් අමරසිංහ පරම්පරාවේ අලුත් පාතාල නායකයා බවට නිහාල් ඉබේ පත්විය. ඒ නිසා නිහාල් සිටියේ රජකම් ලැබුණා සේය. සැබවින්ම මෙම ඝාතනයට සියල්ල උදව් උපකාර කළේ නොයෙල්ගේ පරම හතුරකු වූ සොත්ති උපාලි බව පසුව අනාවරණය විය.

නොයෙල්ගේ පවුලේ මස්සිනාලා ඝාතනය වූයේද, නැගණියක දූෂණය කර මරා දැමුවේද නිහාල් අමරසිංහ බව නොයෙල්ගේ පවුලේ අය දැන සිටියේය. එපමණක් නොව නිහාල්ගෙන් නොයෙල්ගේ පවුලේ කිසිවකුට ඉන්නට නොදෙන බවත් දැන සිටියේය. මේ නිසා නොයෙල්ගේ පරම්පාරවම බියවී සිටියේය.

මේ අතර නොයෙල්ගේ තවත් සහෝදරියකගේ පිරිමි දරුවන් දෙදෙනාගෙන් වැඩිමල් දරැවා කතෝලික ආගමට නැඹුරැ වෙමින් ඔහු පියතුමෙකු වීමට සිහින දකිමින් සිටියේය. ඔහු කවදා හෝ දේවස්ථානයකට යාමේ අරමුණකින් සිටියේය. මේ නිසාම ඔහු පියතුමෙකු වීම සඳහා ඉගෙන ගනිමින් සිටියේය. එකී දරුවාගේ පියාද නිහාල් අමරසිංහ විසින් ඝාතනය කර තිබිණි. ඒ කුඩා කලදීය. ඔහුට චොකලට් ගෙන ඒම සඳහා කඩයට ගිය මොහොතක නිහාල් මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දරුවාගේ මව සිටියේ දැඩි වෛරයකිනි. තම ස්වාමියා, සහෝදරයා, නැගණිය ඇතුළු පවුලේ අය ඝාතනයට නිහාල් සම්බන්ධ නිසා ඇයට නිහාල් පෙනෙන්නට බැරි විය. මේ අතර ඇගේ වැඩිමල් දරුවා ගෙදර ආ විටෙක තම දුක කියමින් හඬා වැටෙමින් තමන්ගේ පවුලේ ඛේදවාචකය කීවේය. නිතර නිතර එය කීවේය. තමන්ගේ මවගේ වේදනාව දරා ගැනීමට නොහැකි වුණු මේ දරුවා පියතුමකු වීමේ හීනය පසෙකින් තබා තම පවුලේ අයට හිසරදයක් වුණු තමන්ගේ පවුලේ අය විනාශ කළ පුද්ගලයාගෙන් පළි ගැනීමට තීරණය කළේය. ඔහු තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැඩි ලෙස මානසික පීඩනයෙන් සිටි අතර ඒ වාඩුව ගැනීමට ඔහු කරළියට ඒමට තීරණය කළේය. ඒ අනුව කඩුවෙල උපාලි සහ වසන්තගේ සහායෙන් මෙකී තරුණයා පාතාලයට අත් පොත් තබන්නට විය. ඔහු වෙනින් කවුරැත් නොව මෙරට පාතාලයේ දරුණුම අපරාධ සිදුකළ ඝාතන රැසකට සම්බන්ධ වූ චින්තක අමරසිංහ නම් විය. චින්තක යනු මෙරට පාතාලයේ වැඩිම ඝාතන සිදුකළ පුද්ගලයන් අතර ඉහළින්ම සිටින පුද්ගලයාය. චින්තක තනියම තම වාඩුව ගන්නට ආවේ නැත. ඒ සඳහා ඔහුගේ බාල සහෝදරයාද කරළියට රැගෙන ආවේය. ඔහුද මෙරට පාතාලයේ නමගිය අපරාධකරුවකු මෙන්ම වැඩිම ඝාතන රැසකට සම්බන්ධ වූවෙකි. ඔහු නමින් ධම්මික අමරසිංහ විය.

චින්තක සහ ධම්මික අමරසිංහ මෙරට පාතාලය උඩුයටිකුරු කළේ අමරසිංහ පරම්පරාවට කරදරයක් වූ බොහොමයකුගේ ජීවිත කතා අවසන් කරමිනි.
(කවුද මේ අමරසිංහ පරම්පරාවේ චින්තක සහ ධම්මික)

 ගයාන් ගාල්ලගේ