2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

නීතියටත් කොකා පෙන්වන්න හැදූ සම්පායෝ

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

කුඩු අල්ලන්නට ගිය නාකොටික්ලා කුඩු ජාවාරමේය. පාතාලය හොයන්නට ගිය රහස් පොලිසිය පාතාලය හා අවි ජාවාරමේය. හිරගෙවල් රකින්නට ගිය ලොක්කන්ට හිරකාරයන්ගෙන් මරණ තර්ජනය. රටම අමුතු පෙරළියකය. සියල්ල කනපිට පෙරළී ඇද්ද යන්න පිළිබඳ ජනතාව අතර ඇති කසුකුසුවද බැහැර කළ නොහැකිය.

සම්පායෝ හා මීගමුව බන්ධනාගාරය අතර කතාබහ කරළියට ආවේද මේ අතරය. කුරැණෑගල සාන්ත ආනා විදුහල ගැන මතකය අවදිවන්නේද ඒ සමඟය. පාසල් සමය තුළ දඩබ්බර නොවන දරැවකු නොමැති තරම්ය. එදා පාසල් දරැවකු ලෙසින් සම්පායෝ තුළින් දැක ඇත්තේද එවැන්නක් බව කියන්නේද ඔහුගේ සමීප මිතුරන්ය.

එවකට සම්පායෝ හා එකම පාසලේ සිප් සතර හැදෑරෑ කීපදෙනෙකුම අද බලවතුන්ය. ධනවතුන්ය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පෙඩ්රික් වුඩ්ලර් ඒ අතර නිතර කියැවෙන නම් කීපයකි. 
පාසල් දිවියේදී ඉගෙනුමටත්, ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ හපනෙකු වූ බවට ඔහු පිළිබඳ සාක්ෂිද ඕනෑතරම්ය. යෝගී ව්‍යායාම්වලටද, කරාටේ ක්‍රීඩාවටද ඔහු මුල්තැන ගත් බව කියන්නෝද ඒ පාසල් මිතුරන්ය. පාසලේ ශිෂ්‍යභට කණ්ඩායමේ නමක් දිනා සිටි ඔහුට ඒ නිසාම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දොර හැරැණේ වාසනාවකට මෙනි. එහි 2 පෙළ ජේලර්වරයකු ලෙස ඔහු හිරගෙදර අතපොත් තබන්නේ, 1988 දීය. එතැන් සිට දෙපාර්තමේන්තුවේ ආයතන රුසකම සේවය කළ ඔහු අභියෝගාත්මක චරිතයක් බව කීවේද ජ්‍යෙෂ්ඨයෙකි.

එක තැනක වසර දෙකකට වැඩි කාලයක් ඔහු ගතකළේද යන්න කීමට කිසිවකුටත් මතක නැත. ඔහු නිතර දෙවේලේ නිලධාරි උන්මාදයෙන් පෙලුණු බවද එහි ජ්‍යෙෂ්ඨයෝ කියති.
වටරුක සුනීත පාසලේ හා කෑගල්ල ප්‍රධාන ජේලර් වශයෙන් වැඩ ආවරණ සහකාර අධිකාරි නිලයෙන් වීරවිලටත්, එතැනින් කෑගල්ලටත් මාරු වී ගිය සම්පායෝට තම පාසල් මිතුරකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නැවත මුණගැසෙන්නේ කෑගල්ල සිරගෙදරදීය.

පසුගිය යහපාලන රජයෙන් රිමාන්ඩ් භාරයට පත්වූ ජොන්ස්ටන් මන්ත්‍රීවරයාත්, එහි අධිකාරිවරයාත් අතර තිබූ පාසල් මිතුරු දාමය එහිදී අලුත් වූ බවට කොතෙකුත් කතා ඇත. ගමේත් - නගරයේත් දැඩි සබැඳියාවක් ඇතිවූ නිසාම කුරුණෑගල හා ඒ අවටින් සිරගත වන ගමේත්, පාසලේත් හිතවතුන්ගේ එකම හිතවතා වශයෙන් ඔහු ගැන කතා නොකළ කෙනෙක්ද නැත.

කෑගල්ල බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස රාජකාරි කළ සමයේදී එනම් 2017-2018 කාලය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය සැකකරැවකු කළුතරින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් යැයි කියාගත් පිරිසක් විසින් රුගෙන ගිය බවටද, තොරතුරු වාර්තා වූයේ වැඩි සද්දයක් නැතිවය. 2018 වසරේදී සිදුවී ඇති එම බරපතළ සිද්ධිය පිළිබඳව සිදුකර ඇති මූලික හා විධිමත් විමර්ශනයකින් පසු සම්පායෝ අධිකාරිවරයා යටතේ සේවය කළ සිව් දෙනෙකුට මේ වනවිට චෝදනාපත් නගා ඇති බවක්ද කියති.

කළුතර බන්ධනාගාර බසයට වෙඩි තබා රනාලේ සමයං ඇතුළු පාතාල අපරාධකරුවන් සමඟ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වූයේ 2017.02.27 දාය. පාතාල තර්ජන ඇති රැඳවියන් ආරක්ෂිතව ප්‍රවාහනය කළ හැකි වෙඩි නොවදින බස්රථයක් කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ නිර්මාණයක් ලෙස කලඑළියට ආවේ මේ අතරය. හිටපු බන්ධනාගාර ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ඇගයීමට පවා ලක්වූ මෙම සිද්ධියෙන් පසු අධිකාරිවරයා එමගින් ඉමහත් ප්‍රසිද්ධියක්ද ලබාගත්තේය. ඔහුට පොළොන්නරැවට ස්ථාන මාරැවක් ආවේද මේ අතරය. ඊට එරෙහිව අධිකරණයට ගිය ඔහුට සාධාරණය ඉටුවී මීගමුව බන්ධනාගාරය හිමිවූයේ දෛවයේ සරදමක් ලෙසිනි.

ඒ 2018 වසරේ අගභාගයේදීය. එවකට කොමසාරිස් ජනරාල්වරයා වූයේ ටී.එම්. තෙන්නකෝන් මහතාය. සම්පායෝ හා මීගමුව බන්ධනාගාරය අතර තිත්ත ඇත්ත හෙළිවන්නට පටන් ගන්නේ ඉන්පසුවය. ඒ පසුගිය මැයි 11 වැනි දින බුද්ධි අංශය කළ හදිසි සෝදිසි මෙහෙයුමකදීය. එහි සැප බඩු සිද්ධිය පිළිබඳව මුල්ම කතාව කරළියට එන්නේද ඒ සමඟය.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මැයි 20 දාතමින් ලිපියක් යවන්නේද මේ අතරය. අංක එස්/ඩී.අයි.ජී./ඩබ්ලිව්/ජී/ඩී3/ 9410/2020 දරන එම ලිපියට අනුව, වැඩබලන පොලිස්පතිවරයා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා අමතන්නේය. මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දැනුම්දීම එම ලිපියේ මාතෘකාව විය.

එහි දැක්වෙන්නේ මීගමුව අධිකාරිවරයා සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් සමඟ සබඳතා පවත්වමින් මසකට රුපියල් කෝටියකට අධික මුදලක් උපයන බවටත් එම අපරාධකරුවන්ට හා ජාවාරම්කරුවන්ට පහසුකම් සපයන බවටත්, තොරතුරු වාර්තා වී ඇති බවය. සංවිධානාත්මක අපරාධකරැවකු වන ලලිත් පිංතු නැමැත්තාට වෙනම සිරමැදිරියක් ලබාදී ඔහුට ඇඳන්, මෙට්ට, ශීතකරණයක්, ආහාර පිසීම සඳහා උඳුනක් සහ සන්නිවේදන පහසුකම් ලබාදී ඇතැයිද ජංගම දුරකතනයක් සඳහා පමණක් මසකට රුපියල් 25,000ක්ද ස්මාර්ට් වර්ගයේ දුරකතනයක් ලබාදීම සඳහා මසකට රුපියල් 50,000ක්ද ලබාගෙන ඇතැයිද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

අංක 2 වාට්ටුවේ සිර කාමරයක් ලබාගැනීම සඳහා රුපියල් 2,50,000ක් වැනි මුදලක්ද ලබාගෙන ඇතැයි එහි සඳහන් වේ. එම ලිපියට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආරක්ෂක අමාත්‍යංශයට යොමුකළ ලිපියට අනුව, සී.අයි.ඩී.ය පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද සඳහන්ය.

ඒ අනුව, පසුගිය මැයි 27 දා සිට සම්පායෝට කළුතරට මාරැවක් ආවේය. පසුව කොළඹ සංචිතයට මාරැ කළද, ඔහු වෛද්‍ය නිවාඩු දමා සේවයට වාර්තාකර තිබුණේ නැත. ඔහු වැඩ තහනමට ලක්වූයේද ඒ අතරය. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා හා එහි ප්‍රධාන ජේලර්වරයා ඇතුළු තවත් ජේලර්වරැන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව අධිකරණය මගින් වරෙන්තු නිකුත්කර තිබුණේ ඉකුත් 22 දාය. ඊට එරෙහිව පෙත්සමක් මගින් අදාළ වරෙන්තුව ආපසු කැඳවීමටත්, අත්අඩංගුවට ගැනීම අත්හිටුවන ලෙසත්, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමටද ඔහු වගබලා ගත්තේය.
ඒ සමඟම ජේලර්වරුන් තිදෙනා වරින්වර අධිකරණය වෙත භාරවෙද්දී හිටපු අධිකාරිවරයා දින 10ක් තිස්සේ සොයාගැනීමට කිසිවකුටත් හැකිවූයේ නැත. ඒ පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා පොලිසිය පතුරු ගැහුවේ දින හතරක් ඇතුළත සම්පායෝ අත්අඩංගුවට ගන්නා ලෙසට අවසන් නියෝගයද නිකුත් කරමිනි.

ඒ අනුව, ඉකුත් 1දා කුරුණෑගල බාලිකා පාසලක් අසලදී ඔහු අත්අඩංගුවට පත්වූයේ පොලිසිය සොලිසිටර් ජනරාල්වරයාගේ අභියෝගය භාරගනිමිනි. එහෙත් සම්පායෝ අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කීවේ තාක්ෂණික ක්‍රමවේද, දුරකතන විශ්ලේෂණ මගින් තහවුරු කරගත් උපක්‍රම මගින් බුද්ධි හා පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවය. සම්පායෝ මහතා මේ පිළිබඳව පවසන්නේ, දේශපාලනඥයන් දෙදෙනෙකුට නිකරුණේ චෝදනා එල්ලවීම වැළැක්වීම සඳහා තමන් ස්වෝත්සාහයෙන් පොලිසියට භාරවූ කතාවකි. මේ පිළිබඳව මතවාද ගණනාවක්ම දිගහැරුණේ ඉකුත්දා අධිකරණය හමුවේය.
මීගමුව ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙඩ්රික් වුඩ්ලර් මහතා සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුවේ සිට සැතපුම් 72ක් ගෙවා ගියේ ඇයිද යන්න අධිකරණයේ විමසුමට බඳුන්වූයේද මේ අතරය. කෙසේ වෙතත්, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සටහනකට අනුව, සම්පායෝ මහතා ඔහුගේ පාසලේ ආදි ශිෂ්‍යයකු බවටත් හොඳන් දන්නා හඳුනන බවටත් හෙළිවිය.

කෙසේ කොයි හැටිවෙතත් සම්පායෝ ඉදිරිපත් කළ රිට් පෙත්සම තවමත් අධිකරණය හමුවේය. ඔහු දැන් දුම්බර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේය. මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයෙකු වූ නිශාන්ත සේනාරත්න හා හිටපු අධිකාරී සම්පායෝ දුම්බර බන්ධනාගාරයේ ඉදිවන සුවපහසු රෝහල් ගොඩනැගිල්ලක කාමරයක් වෙන්කරගෙනය.

ජයන්ත සමරකෝන්

බාර වුණාද? ඇල්ලුවාද?

අමුතු නුපුරුදු වචනයක් නිසා සම්පායෝ වෙනස් නමකි. නමේ වෙනස වගේම අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ තිබුණේද වෙනස් ක්‍රියාකලාපයකි. රාජ්‍ය නිලධාරියකු වූ ඔහු මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයාය. තනතුරටත් රාජ්‍ය සේවයටත් නොපිට වැඩ කළ මොහුටම ගැලපෙන ගෝලබාලයන් තිදෙනකුත් ඔහු ළඟින්ම සිට ඇත. මේ සටහන ඒ සම්පායෝ සහ සගයන් තිදෙනා පිළිබඳවයි.
සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකි. කාලිංග කලුඅග්ගල ජේලර්වරයෙකි. මේ තිදෙනාම සම්පායෝගේ හිතවතුන්ය. බන්ධනාගාර රාජකාරියේදී සම්පායෝගේ මැදිහත්වීම මත මේ තිදෙනාම කටයුතු කර ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ට නැතිනම් සිරකරුවන්ට වුවමනා පරිදිය. ඒ සියල්ල නීතියට පටහැනිය.

මීගමුව බන්ධනාගාරයේ සේවය කරමින් සිටියදී එහි ඇතැම් රැඳවියන්ට නිත්‍යනුකූල නොවන ආකාරයේ සැප පහසුකම් ලබාදීම යන චෝදනාවට එරෙහිව අනුරුද්ධ සම්පායේ ඇතුළු සිව්දෙනාගේ වැඩ තහනම් කොට තිබිණ. නීති විරෝධී ක්‍රියා අතර රැඳවියන්ට ආහාරපාන, කොට්ට මෙට්ට, නවීන උඳුන්, අධිශීතකරණ, දුරකථන පහසුකම් ඇතුළු අධි සුඛෝපභෝගී පහුකම් සැපයීමට සම්පායෝ කටයුතු කර ඇතැයි චෝදනා නැගීමත් සමඟ වැඩ තහනමට ලක් කෙරිණ. එම චෝදනාවලට එරෙහිව සම්පායෝ ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණේ ජූලි 22 වැනිදාය.

එසේ වරෙන්තු නිකුත් කොට තිබියදී ප්‍රධාන ජේලර්වරැන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න සමඟ ජේලර් කාලිංග කලුඅග්ගල යන අය අධිකරණයට හා පොලීසිය වෙත බාර වී තිබිණ. එහෙත් සම්පායෝ අධිකරණයට හෝ පොලීසියට බාරවන බවක් පෙනෙන්නට තිබුණේ නැත. චෝදනාවේ පළමු සැකකාර සම්පායෝට වරෙන්තුව නිකුත් කොට දින 11ක් ගතවන තුරැම ඔහු සිට තිබුණේ අතුරුදන් තත්ත්වයේය.
ප්‍රධාන සැකකරුට වරෙන්තුව නිකුත් කරන මොහොත දක්වා මීගමුව බන්ධනාගාරයේ සෙසු නිලධාරීන් පහළොස්දෙනකුගෙන් සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් තබාගෙන විමර්ශනය සිදුකර තිබීම විශේෂය. එහිදී සනාථ වී තිබුණේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරැවන් පාතාල සාමාජිකන් වැනි අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට ඇවැසි සියලු පහසුකම් සලසා ඇති බවය. ඒ අතර එහි රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට ශීතකරණ, වායුසමීකරණ සහ මයික්‍රොවේව් උඳුන් ඇතුළු පහසුකම් රැසක් ලබා දී ඇති බවද වාර්තා වී තිබිණ.

සම්පායෝ ඇතුළු පිරිසට එරෙහිව වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය. වරෙන්තුව නිකුත් කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවුණු බව නිරීක්ෂණය වූයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු රැසක් හෙළි කළේ පොලීසියටත් චෝදනා කරමිනි. සම්පායෝට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කළ පොලීසියේ ක්‍රියා පටිපාටිය ද ප්‍රශ්න සහගත බව හෙළි වූයේ එහිදීය.
කෙසේ හෝ සැකකරු දින ගණනාවකට පසුව අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල ප්‍රදේශයේදීය. අත්අඩංගුවේ සිටි සම්පායෝ මාධ්‍යයට කරුණු කීමත් පොලීසියේදී තේ පැන් සංග්‍රහයකට එක්වීමත් බරපතළ ගැටලු රාශියකට මුලය. වරෙන්තුව නිකුත් වූ දා සිට අත්අඩංගුවට ගන්නා මොහොත තෙක් සැඟවී සිටියේ කොහේද ඊට අනුබල දුන්නේ කවුද යන්නත් තවම ගැටලුය. එහෙත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විමසීමට පියවර ගෙන නැත.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා සැකකරු පොලීසියට බාර වුණා මිස අත්අඩංගුවට නොගත් බව ප්‍රකාශ කර ඇත. එසේම සැකකරු විත්ති කූඩුවට නගින තුරුම මුඛ ආවරණයක් හෝ නොමැතිව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරීම අනුව සම්පායෝ යන අය නීතියට අවනත නොවන නීතියටත් ඉහළින් සිටින්නකු වශයෙන් කල්පනා කළ අයකු බවට අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් දිපීප පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහකාර පොලිස් අධිකාරී රංජන් ළමාහේවා ඇතුළු නිලධාරීහු පෙනී සිටියහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02