ජීවිතයේ සැඳෑ සමයේ අකුරටම කළ රාජකාරි පිළිබඳව සාඩම්බර කතා කී විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා රන්ජන් දන්තනාරායනය මහතාගේ තවත් අපූරු මතකයක් අපි ඔබ හමුවේ තබමු. සති පහක් පුරා ඔබට කී අපූරු වික්‍රමයන්ගේ අවසාන කතාව මෙයයි.ඒ 1996 වර්ෂයයි. එක් සැඳෑවක අප කථානායක දන්තනාරායන මහතා මිතුරකුගේ වාහන ව්‍යාපාරික ආයතනයකට ගොස් සුහද පිළිසඳරක යෙදෙමින් සිටියේය. එහි පැමිණි ආයතන හිමිකරැගේ මිතුරන් දෙදෙනෙකු වාහන විස්තර කතා කරමින් සිටි අතර කුරුණෑගල ප‍්‍රදේශයේ මිට්සුබිෂි ඉන්ටර්කූලර් ජීප් රථයක් විකිණීමට ඇති බව ඔවුහු කීහ. එය ස්වයංක‍්‍රීය ගියර් පද්ධතියක් සහිත බැවින් සහ ලියැකියවිලිවල අඩුපාඩු ඇති නිසාවෙන් වෙළඳපොළ මිලට වඩා අඩු මුදලකට විකිණීමට උත්සාහ කරමින් සිටින බවද කියවුණි.
මෙම වකවානුවේදී මිට්සුබිෂි ඉන්ටර්කූලර් රථ සුඛෝපභෝගී ජීප් රථයක් වූ අතර ඊට වැඩි ඉල්ලුමක්ද පැවතියේය. වාහන පිළිබඳ හසල අත්දැකීම් ඇති දන්තනාරායන මහතාගේ සිතේ සැකයක් උපන්නේ ඇසිල්ලකිනි. එම කාලයේදී ස්වයංක‍්‍රීය ගියර් සහිත වාහනවලට ඉල්ලුමක් නොමැති වූ අතර එවැනි වාහන ආනයනයන සුලභව සිදුනොවුණි. ලියැකියවිලි අඩුපාඩු ඇති බවද සඳහන් කරන ලද හෙයින් මෙම වාහනය පිළිබඳව විමර්ශනයක් කිරීමට දන්තනාරායන සිතා ගත්තේය.
ඒ අනුව එක් ඉරිදාවක සිය පවුලේ සාමාජිකයන් කැටුව කුරුණෑගල නගරයට පැමිණි විටකදී පෙර සඳහන් ව්‍යාපාරික ස්ථානයට ඔහු ගියේය. ආයතනය තුළට පිවිසි දන්තනාරායන මහතා එහි තිබූ වාහන පිළිබඳව සේවකයකුගෙන් මිල ගණන් සහ විස්තර විමසන අතරතුර ස්වයංක‍්‍රීය ගියර් සහිත ජීප් මාදිලියේ වාහනයක් සොයන බවත් කීවේය. කොළඹ ප‍්‍රදේශයේ වාහන ව්‍යාපාරික ආයතනවලින් සොයා බැලූ නමුත් එවැනි වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ බවද කීවේය. එවිට සේවකයා දන්තනාරායන මහතාව කාර්යාලය තුළට කැඳවාගෙන ගොස් කළමනාකරුව මුණගස්වා දන්තනාරායන මහතාගේ අවශ්‍යතාව පැහැදිලි කළේය.
එහිදී ව්‍යාපාරිකයකු ලෙස තමාව හඳුන්වා දුන් දන්තනාරායන මහතා තම සහෝදරයකු ඇමරිකාවේ පදිංචිව සිටින බව කීවේය. නුදුරේදී ඔහු ලංකාවට පැමිණීමට නියමිත නිසාවෙන් ඔහුගේ අවශ්‍යතාවයට ස්වයංක‍්‍රීය ගියර් සහිත වාහනයක් සොයමින් සිටින බව දන්වා පැහැදිලි කරන්නට විය. එවිට කළමනාකරු දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන එවැනි ජීප් රථයක් විකිණීමට ඇති බවත් එහි ආනයනකරු නගරයට නුදුරින් වාසය කරන පැවසුවේය. ටික වේලාවකින් පරීක්‍ෂාවට මෙහි ගෙන ආ හැකි බවත් පවසා පැයකින් පමණ පසු නැවත පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
පැයකට පමණ පසු පැමිණ කළමණාකරු හමුවූ විට ආනයනකරු කුරුණෑගල ප‍්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති නිසාවෙන් අවශ්‍ය නම් ඔහුගේ සේවකයකු සමඟ ගොස් වාහනය පරීක්‍ෂාකර බැලිය හැකි බව කීවේය. ඒ අනුව යතුරු පැදියකින් පැමිණි සේවකයා ඔහු පසුපසින් පැමිණෙන ලෙසට කී අතර සිය වාහනයෙන් දන්තනාරායන මහතාට එහි යාමට සිදුවිය. නගරයේ සිට කි.මී. 5-6ක් පමණ දුරක් ගොස් ප‍්‍රධාන මාර්ගයෙන් කි.මී. 1/2ක් පමණ ඇතුළට වන්නට තිබූ මෝටර් රථ අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක් දක්නට ලැබුණි.
ඔවුහු දන්තනාරායන මහතාව එම ස්ථානයේ පිටුපසට කැඳවාගෙන ගොස් එහි තාවකාලික ආවරණයක් තුළ නවතා තිබූ ජීප් රථයක් පෙන්වූහ. එය මිට්සුබිෂි ඉන්ටර්කූලර් EXCEED මාදිලියේ ජීප් රථයකි. 65- XXXX ලෙස ලියාපදිංචි කර තිබුණි. වාහනය ඇතුළත පරීක්‍ෂා කිරීමේදී එය ස්වයංක‍්‍රීය ගියර් සහිත බව දැකගන්නට ලැබිණි. වාහනයේ එන්ජිම පරීක්‍ෂා කරන අතරතුර එහි මාදිලි අංකය සහ චැසි අංකය සටහන් කර ගැනීමට අප කතානායකයා කටයුතු කළේය.
වාහනය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව කළමණාකරු හමුවී මිල ගණන් විමසීමට ඔහු උත්සුක විය. එහිදී මෙවැනි රථයක වෙළඳපොළ සාමාන්‍ය මිල රු. ලක්‍ෂ විසිපහකට වැඩි බවත් නමුත් ස්වයංක‍්‍රීය ගියර් පද්ධතිය හේතුවෙන් ඉල්ලුම අඩු බැවින් ඊට අඩු මුදලකට විකිණීමට ඇති බව පවසා කළමනාකරු මිලක් සඳහන් කර තිබේ. එවිට දන්තනාරායන මහතා වාහනය ලියාපදිංචි කර ඇතිදැයි විමසුවේය. එහිදී වාහනයේ තිබෙන ලියාපදිංචි අංකය වෙනත් වාහනයක අංකයක් බවත් අත්තිකාරම් මුදලක් ලැබුණු පසු ආනයනකරැ විසින් මුල් ලියාපදිංචිය සිදුකර දෙනු ලබන බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත.
සැකය තහවුරු වූ නමුත් මිල ගණන් කේවල් කිරීමට දන්තනාරායන කටයුතු කළේ නිරායාසයෙනි. එවිට කළමණාකරු විසින් තවත් මෙම මාදිලියේ ස්වයංක‍්‍රීය ගියර් සහිත ජීප් රථයක් අඩු මිලකට ඇති බවත් අවශ්‍ය නම් වෙනත් දිනයකදී එම වාහනය පරීක්‍ෂා කර බැලිය හැකි බවත් කීවේය. එම වාහනයද පෙර වාහනයට මෙන්ම ලියැකියවිලි නොතිබිය හැකි බව වටහාගත් දන්තනාරායන මහතාට එම වාහනයද තමන්ගේ දැලට හසුකර ගැනීමට සිත්විය. ඒ අනුව දුරකතන අංකයද ලබාගෙන නැවත පැමිණ පොරොන්දු පිට හෙතෙම කළමනාකරුට සමුදුන්නේය.
එදිනෙන් පසු කිහිපවරක් කළමනාකරු සමඟ දුරකතනයෙන් සාකච්ඡා කොට එක් මිලකට එකඟ වී තමා අත්තිකාරම් මුදලක් ගෙවීමට කැමති බවත් දන්තනාරායන දැන්වීය. විදේශයක සිට පැමිණි සිය මිතුරකුට දෙවැනි වාහනය පිළිබඳව දැන්වූ විට ඒ පිළිබඳව උනන්දුවක් ඔහුට ඇති බවත් ඒ අනුව එම වාහනයද පරීක්‍ෂා කිරීම සඳහා සහ අත්තිකාරම් මුදල ගෙවීම සඳහා දිනයක් ලබා දී වාහන දෙකම ආයතනයට රැගෙනවිත් තබන ලෙසට ඉල්ලීමක් කළේය.
නියමිත දිනය උදාවිය. අත්තිකාරම් ලෙස මුදලකුත් රැගෙන සිය මිතුරා සමඟ එම ප්‍රදර්ශනාගාරය වෙත පිවිසියේය. නමුත් වාහන දක්නට නොලැබුණි. ඒ පිළිබඳව විමසීමේදී වාහන පැමිණීමට ස්වල්ප වෙලාවක් ගතවිය හැකි බව ඔවුහු කීහ. නමුත් සිදුවූයේ අනෙකකි. එහි පැමිණි කළමනාකරැගේ හිතවතකු දන්තනාරායන මහතා දෙස බලා &සර් කස්ටම් එකේ නේද?යි විමසා දන්තනාරායන මහතාගේ කණ්ඩායම් සගයකුගේද නමක් සඳහන් කොට මං ඒ සර් එක්ක ඇවිත්, සර්ව හමුවෙලා තියෙනවා යැයි ප‍්‍රකාශ කර ඇත.
මෙයින් වික්ෂිප්ත වූ කළමණාකරැ කාර්යාලයේ ඇතුළට ගොස් ටික වේලාවකින් නැවත පැමිණ ආනයනකරු දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහුගෙන් ප‍්‍රතිචාරයක් නොලැබුණු බැවින් කනගාටුව ප‍්‍රකාශ කළේය. වාහන පරීක්‍ෂා කිරීමට වෙනත් දිනයක් ලබාදිය හැකි බවද කීවේය. එවිට දන්තනාරායන මහතා අත්තිකාරම් මුදල භාරගන්නා ලෙසට දැන්වූවත් වාහනයේ විස්තර නොමැතිව කුවිතාන්සියක් ලබාදිය නොහැකි බැවින් ඔහු එය ප‍්‍රතික්‍ෂෙ කළේය. සැබවින්ම කළමනාකරැට සිදුවන්නට යන දෙය පිළිබඳ ඉව වැටී තිබුණි. අපේක්‍ෂාභංගත්වයට පැමිණි දන්තනාරායන මහතා මිතුරා සමඟ එම ස්ථානයෙන් පිටව ගියේය.
අත්තිකාරම් ලබාදීමේදී දන්තනාරායන මහතාගේ යටි අරමුණ වී ඇත්තේ මිලදී ගැනීම ස්ථිර කොට පසු දිනෙක රේගු කණ්ඩායමක් සමඟ ගොස් වාහන දෙකම අත්අඩංගුවට ගැනීමයි. නමුත් අනපේක්‍ෂිත ලෙස සැලසුම සුන්වූ බැවින් තවදුරටත් කාලය වැයකිරීම නිරර්ථක බව තේරැම් ගත් දන්තනාරායන මහතාට තේරුම් ගියේය. ඒ අනුව වාහනය පිළිබඳ සොයාගත් සියලු විස්තර සහ අනෙක් වාහනයද ඒ ආකාරයටම සැකසහිත බව සඳහන් කොට විමර්ශනය සඳහා වාහන අත්අඩංගුවට ගැනීමට උපදෙස් ප‍්‍රධාන නිවාරණ කාර්යාලයේ උසස් නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය.
අදාළ උපදෙස් ලැබුණි. නමුත් ඒ අතර ප‍්‍රධාන නිවාරණ නිලධාරි සහ තවත් සහකාර නිවාරණ නිලධාරිවරයකුට හලාවත නගරයේ සිට කි.මී 50ක් පමණ උතුරින් පිහිටා තිබූ මුක්කුතොඩුවාව රේගු උප නිවාරණ කාර්යාලයට රාජකාරී කටයුත්තක් සඳහා යෑමට සිදුවීය. ඒ අනුව ඔවුනට කුරුණෑගල නගරය හරහා ගොස් දන්තනාරායන මහතා ලබා දී ඇති වාහනය පිළිබඳ සොයා බැලීමට නියම විය.
මෙම ගමනේදී වාහනය සොයමින් නගරයේ සංචාරය කරමින් සිටි ඔවුන් අවුරැදු උත්සවයක් පැවැත්වෙමින් තිබූ ක‍්‍රීඩාංගණයක් අසල ලියාපදිංචි අංකය සහිත වාහනය නවතා තිබෙනු දුටුවේ අහම්බයකිනි. නිලධාරි දෙදෙනා වාහනය අසලට පැමිණ වාහනයේ පැමිණි අය පිළිබඳව විමසා ඇත. පැමිණි පුද්ගලයන් ඉදිරිපත් වූ පසු මෙම වාහනය පිළිබඳව රේගුවට තොරතුරක් ලැබී ඇති බැවින් වැඩිදුර විමර්ශන සඳහා වාහනය අත්අඩංගුවට ගත යුතු බව දන්වා වාහනය එය ඔවුන් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
එසේ වාහනය තම භාරයට ගෙන ප‍්‍රධාන නිවාරණ කාර්යාලයට එන අතරමඟදී දන්තනාරායන මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඔහු ලබාදුන් තොරතුරට අදාළ වාහනය අත්අඩංගුවට ගෙන ප‍්‍රධාන නිවාරණ කාර්යාලය වෙත රුගෙන එමින් සිටින බව දන්වා ඇත. ප‍්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණ වාහනය හඳුනාගන්නා ලෙසට ඔවුන් ඉල්ලා තිබේ. ලැබුණු උපදෙස් අනුව ප‍්‍රධාන නිවාරණ කාර්යාලයට පැමිණි දන්තනාරායන මහතා වාහනය පරීක්‍ෂා කොට මාදිලි අංකය, චැසි අංකය සහ අනෙකුත් විස්තර පිළිබඳව සෑහීමකට පත් වී මෙය ඔහු කුරැණෑගලදී පරීක්‍ෂා කරන ලද රථයම බව සනාථ කරගන්නා ලදී. ඒ අනුව වාහනය පිළිබඳව වැඩිදුර විමර්ශනය සිදුකිරීමට අවශ්‍ය බැවින් වාහනය රේගු භාරයට ගන්නා බවත් දිනයක් ලබාදුන් පසු ආනයන ලියකියවිලිත් සමඟ ආනයනකරු සමඟ පැමිණ රේගු පරීක්‍ෂණයට සහභාගී වන ලෙස උපදෙස් දී ලිඛිත ඇපකරයක් මත වාහනය රැගෙන ආ පුද්ගලයන්ට නිදහස් කර ඇත.
රේගු විමර්ශනය අවසන් කොට රේගු පරීක්‍ෂණය පැවැත්වෙමින් තිබියදී ආනයනකරු ලෙස හඳුන්වාගත් පුද්ගලයකු ඉදිරිපත් වී තමා මෙම වාහනය වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙකුට අයත් තීරැ බදු සහන ආනයන බලපත‍්‍රයක් මත ආනයනය කරගනු ලැබූවක් බව ප‍්‍රකාශ කොට ආනයන ලියකියවිලි ඉදිරිපත් කොට ඇත. නමුත් එම ලියකියවිලි සහ වාහනයේ අදාළ විස්තර සමඟ සැසඳීමේදී මාදිලි අංකය, චැසි අංකය, එන්ජින් අංකය, සිලින්ඩර් ධාරිතාව පැහැදිලිවම වෙනස් ඒවා වූ බැවින් එම ලියකියවිලි ප‍්‍රතික්ෂේප කොට තවදුරටත් පරීක්‍ෂණය පැවැත්වෙමින් තිබියදී එවකට සිටි ප‍්‍රකට දේශපාලනඥයකු විසින් මෙම වාහනය ඉහත සඳහන් කරන ලද පළාත් සභා අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතුවලට ඉතා අවශ්‍ය බැවින් හැකි ඉක්මනින් රේගු පරීක්‍ෂණ අවසන් කර වාහනය නිදහස් කර දෙන ලෙසට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ඉල්ලීමක් කර තිබුණි.
මෙම ඉල්ලීම සහ අනෙකුත් සාධක පිළිබඳව අවධානය යොමුකළ පරීක්‍ෂණ නිලධාරියා වාහනය රාජසන්තක කොට රුපියල් 1,000,000/- ලිහිල් කරන ලද දඩ මුදලක් අයකරගෙන වාහනය හිමිකරැට නිදහස් කරන ලෙසට නියෝග කරන ලදී. අනෙක් ජීප් රථයද දන්තනාරායන මහතාගේ කණ්ඩායම් සගයකු විසින් කොළඹට නුදුරු ප‍්‍රදේශයකට ගෙනවිත් තිබියදී අත්අඩංගුව ගෙන ඇත.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු අධ්‍යක්ෂකවරයා දක්වා උසස්වීම් හිමිකරගෙන විශ්‍රාම ගත් දන්තනාරායනයන ඇත්තෙන්ම අපූරු මිනිසෙකි. ඔහුගේ දිවි සැරියේ මෙවන් මතක තව බොහෝය. බ්‍රිතාන්‍ය රාජකීයන්ගේ සම්මානයෙන් පවා පසුගිය සමයේ පිදුම් ලැබූ මේ අපූරු විශ්‍රාමික නිලධාරියා ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. අවසානයේ දේශයේ අප ඔහුට ස්තූතියි පූර්වක වෙමින් දිගාසිරි පතමු.
චමිඳු නිසල් ද සිල්වා