2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

බලපිටිය මහාධිකරණ නඩුගොනුවලට විදින්න හැදුවේ කවුද?

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් විවිධාකාරය. මුදල් දේපළ හෝ වටිනා ඕනෑම දෙයක් සොරාගැනීම ඔවුන්ගේ හැටිය. ඊට තරමක් වෙනස් සොකරමක් පිළිබඳව අසන්නට ලැබුණේ බලපිටිය ප්‍රදේශයෙනි. ඒ බලපිටිය මහාධිකරණයේ නඩුගොඩු සොරා ගැනීමේ සිදුවීමකි. මාර්තු 24 වැනිදායින් පසුව ආරම්භ වූයේ සති අන්තයකි. ආරම්භ වූ 25, 26 දින දෙක මහාධිකරණයේ කටයුතු සිදු නොකෙරෙන නිවාඩු දින දෙකකි. සති අන්ත නිවාඩුවට පසුව මහාධිකරණයේ නිලධාරින් සේවයට පැමිණ තිබුණේ 27 වැනි සඳුදා පෙරවරුවේය.

ඒ මොහොතේ මහාධිකරණයට අයත් නඩු ගොනු තැන්පත් කර තිබූ ගබඩා කාමරයේ ජනේලයක් විවෘතව තිබෙනු දැකීම නිලධාරීන්ට ගැටලුවක් වී ඇත. දින දෙකක් පුරා රාජකාරියට කිසිවෙක් වාර්තා නොකළ පසුබිමක මේ ආකාරයට ජනේලය විවෘත වීම සැක සහිතය. එබැවින් ඒ පිළිබඳව පරීක්ෂා කළ පිරිසට පෙනී ගොස් තිබුණේ ජනේලයට ආරක්ෂාව සැලසූ යකඩ දැල් ආවරණය කපා ගලවා ඇති බවකි.

සිද්ධියේ බරපතළකම වටහාගත් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කළහ. එතැනට පැමිණි පොලිස් නිලධාරීන් පිරිස විමර්ශන ආරම්භ කළ අතර ජනේලයේ දැල් ආවරණය කපා දමා ඇති ආකාරය අනුව සැලසුම් සහගත පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් මෙය සිදුකරන්නට ඇති බව නිගමනය කෙරිණි. මහාධිකරණ නිලධාරින්ගෙන් ලබාගත් තොරතුරු අනුව පොලීසිය විශ්වාස කළේ සිකුරාදා (24) පස්වරු 4ත් සඳුදා පෙරවරු 7.30ත් අතරතුරදී මෙය සිදුවීම වී තිබෙන බවය.

මහාධිකරණයේ ලේඛනාගාරය වෙත නිලධාරිවරයා පැමිණි පසුව ඔහුගෙන් කරුණු විමසූ පොලීසියට අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබූ නඩු ගොනු සහ විවිධ ප්‍රමාණයේ රාක්ක කීපයක තිබූ ලේඛන යම් කෙනෙක් විසින් ඇද අවුස්සා ඇති බවය. නමුත් ඔහු පවසා තිබුණේ කිසිදු ලේඛන අඩංගු ලිපිගොනුවක් අඩු වී නැති බවය. එහෙත් පොලීසිය පොලිස් නිල සුනඛ අංශය කැඳවා ස්ථානය විමර්ශනයට ලක් කළේය. 

ඇතුළට ඇවිත් තියෙන්නෙ යකඩ දැල් කපලා

ඒ අතර පොලිස් ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද ගෙන්වා පරීක්ෂා කරන්නටත් පියවර ගත්තේය. සිද්ධිය පිළිබඳව විශේෂ තොරතුරු අනාවරණය නොවූයෙන් ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය මත විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සඳහා ‍යෙදවූ අතර අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරි පිරිසක්ද පරීක්ෂණ කටයුතු සිදුකරති.
බලපිටිය මහාධිකරණ පරිශ්‍රයේ පිහිටි ලේඛනාගාරයට මහාධිකරණය ඉදිරිපිට ඇති පොලිස් මුරපොළ පසුකරගෙන යා යුතුය. එහි පිටුපසින් බන්ධනාගාර සිරමැදිරි පිහිටා ඇති අතර එහි ආරක්ෂාවට නිලධාරින් රැඳී සිටින බවද වාර්තා වේ. මෙවැනි ආරක්ෂිත ස්ථානයකට පිටස්තර පුද්ගලයකු හෝ පිරිසක් පැමිණියේනම් එය මහත් ගැටලුවක් බව පොලීසිය වටහා ගත්තේය.

වර්තා වන ආකාරයට මෙම ස්ථානය අධිකරණයේ ගබඩාවක් ලෙස පවත්වාගෙන යන්නකි. බොහෝ නඩු භාණ්ඩ සහ අවසන් කළ නඩු වල ලිපිගොනු ගබඩා කර තබන්නේ එහිය. නම හෙළි කිරීමට අකමැති බලපිටිය නීතිඥ මහත්මයෙක් සඳහන් කළේ මෙවැනි ගබඩා තුළ ඇති නඩු භාණ්ඩ අතර හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ අඩංගු වන බවය. එවැනි ස්ථානයකට ඇතුල්වීම සුළුපටු දෙයක් නොවන බවත් යම් හෙයකින් නීති විරෝධි අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය සොරා ගත්තේනම් විශාල ගැටලුවක් වන බවද ඔහු පැවසීය. කෙසේ නමුත් එවැනි හානියක් නොවූවද විමසා අවසන් කළ නඩු ගොනු අවුස්සා ඇති බව පොලීසියට අනාවරණය විය. 

හතර වටේම මුරකරුවන් ඉද්දි අැතුළුවීම ප්‍රශ්නයක් 

එවැනි දෙයක් අවශ්‍ය වන්නේ නඩුවක විත්ති පාර්ශවයට හෝ පැමිණිලි පාර්ශවයට පමණය. එවැනි අයෙක් පිටතින් පැමිණියේනම් ලිපිගොනු අංක දැන සිටියද සොයාගැනීම පහසු නැත. නොඑසේනම් එම ලිපිගොනු අවශ්‍ය වන්නේ එම නඩුවලට අදාළ තීන්දු ලබාදුන් විනිසුරුවරුන්ටම පමණක් බවද හෙතෙම කියා සිටියේය

ඔහු පවසන පරිදි මීට වසරකට ඉහතදී වසරක් තුළ බලාපිටිය මහාධිකරණයේ විසඳා අවසන් කළ නඩු ප්‍රමාණය ඉතා විශාලය. එය සාමාන්‍ය උසාවියකදී සිදුකෙරන ප්‍රමාණය ඉක්මවා ගිය විශාල ප්‍රමාණයක් බවත් එය ඇතැම් නීතිඥවරැන්ගේ විමතියට හේතු වූ බවත් පැවැසූ ඔහු මේ හේතු නිසා යම් පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් එක් වී ඔවුන්ගේ මෙහෙයවීම මත ලේඛනාගාරයට පුද්ගලයකු ඇතුළුවන්නට ඇතැයි සැකකරයි. ඔවුන් විශ්වාස කරන්නේ ලේඛනාගාරය පිළිබඳව තොරතුරු දන්නා පිරිසකගේ මැදිහත්වීම මත මෙය සිදුවන්නට ඇති බවය. 

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසීන්, උප පොලිස් පරීක්ෂක ජයසූරිය, ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ උපපොලිස් පරීක්ෂක කාරියවසම්, කාන්තා පොලිස් සැරයන් දමයන්ති (1756) පොලිස් කොස්තාපල්වරැන් වන සනත්, නිශ්ශංක, පොලිස් ඇඟිලි සලකුණු ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආරියරත්න සැරයන් සිල්වා යන නිලධාරිහු වැඩිදුර විමර්ශනය සිදුකරති. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර