2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කොරෝනාවෙන් ගොඩයන්න පාර පෙන්නූ කිඹුලාවල හන්දිය

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

පසුගිය සතියේ කිඹුලාවල හන්දියේ මිහිඳුගේ (Mama’s Supper) ත්‍රීරෝද රථයෙන් කටට සැරට පෝක් කරි සමඟ රෝස්පාන්වල රසයත් සමඟ ඔහුගේ ජීවිතයේ ගලා යාම අපි දේශය පිටු අතර ලියූ කතාව ඔබට නැවත වරක් සිහිගන්වමු. කිඹුලාවල හන්දියේ මිහිඳුගේ Mama’s Supper ත්‍රීරෝද රථයට යාබදව තවත් වාහන කිහිපයකම මෙවැනි වෙළෙඳාම් කටයුතුවල නිරතවන ධෛර්යවන්ත මිනිසුන් පිරිසක් ද මේ ගමනේ දී අපට මුණගැසුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනකුම මෙම වෙළෙඳාම් කටයුතු ආරම්භ කරන ලද්දේ කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමෙන් පසුවය. පෙර විවිධ රැකියා ආයතනවල විවිධාකාර රැකියාවේ නිරතව සිටි පිරිසකගේ රැකියා ඔවුන්ට අහිමිව ගිය අතර කොවිඩ්-19 අද ඔවුන් මෙසේ ව්‍යාපාරිකයන් බවට පත් කර අවසන්ය. ධෛර්යවන්ත මිනිසුන් බවට පත් කර අවසන්ය.

“මම ටුවරිසම් කර කර හිටියේ. කොරෝනා වසංගතය නිසා අපි හැමෝම නන්නත්තාර වුණා. කරන්න දෙයක් නෑ. කොහොමහරි ජීවත් වෙන්නත් ඕනෙ. ඒ නිසාම තමයි කෑම ටිකක් හදලා ඒක විකුණලා මේ ජීවිතේ කොහොමහරි ගැටගහගෙන යන්න හිතුණේ.”

රොහාන් ජීවත්වන්නේ නවරෝහල අසලය. සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස සේවය කළ රොහාන්ගේ ජීවිතය ද කොරෝනා වසංගතයත් සමඟ එක ළඟ නතර විය. රැකියාව අහිමි විය. කරකියාගන්නට දෙයක් නොමැති විය. ජීවත්වන්නටත්, මිලදී ගත් මෝටර් රථයේ වාරිකය ගෙවාගන්නටත් තිබුණු එකම හයිය නොමැති වෙද්දී රොහාන්ගේ හිතට අලුත්ම ධෛර්යයක් ඇතිවිය. එයට බිරිඳගේ ද හයිය ලැබිණි. ඔහුගේ බිරිඳට හරි අපූරුවට කෑම පිසීමේ හැකියාව තිබුණි. ඒ අත්ගුණය ගැන රොහාන් විශ්වාස කළේය. ඔහු අලුත් ව්‍යාපාරිකයෙක් විය. දිනපතා උදෑසන හයයි තිහ පමණ වනවිට ඔහු නිවෙසේ පිසින උදෑසන ආහාර තම මෝටර් රථයේ තබාගෙන කිඹුලාවල හන්දියේ විකිණීම අරඹයි. එය අවසන් වීමෙන් පසුව නිවෙසට යන ඔහු බිරිඳ පිසූ දහවල් ආහාර ද රැගෙන නැවත පැමිණෙයි. එතැනින් නොනැවතෙන රොහාන් සවස් කාලයේ දී උණු උණු රෝල්ස් සමඟ රසවත් ප්ලේන්ටි ද විකිණීම අරඹයි. සවස් කාලයේ දී කිඹුලාවල හන්දිය දෙසට ගියහොත් ඔහුගේ මෝටර් රථයෙන් පිරිසුදු, රසවත් උණු උණු රෝල්ස් එකක් සමඟ රසවත් ප්ලේන්ටියක් බීමට ඔබට ද හැකියාව තිබේ.

දිනුෂිකා කිඹුලාවල හන්දියේ පළතුරු බීම වෙළෙඳාමේ නිරත තරුණියකි. වෙනස්ම ආකාරයට සැකසූ රථයක හිඳ ඇය මෙම පළතුරු බීම වෙළෙඳාමේ නිරත වෙයි.

“මමත් මේ පළතුරු බීම වෙළෙඳාමේ යෙදෙන්නේ කොරෝනා වසංගතයෙන් පස්සෙයි. සමහරදාට බිස්නස් හොඳයි. සමහරදාට බිස්නස් එච්චරම නෑ. අපි දවල් එකොළහට විතර මෙතැනට එනවා. කොහොමත් රෑ වෙනතුරු අපි මේ වෙළෙඳාමෙ ඉන්නවා. බොහෝ වෙලාවට හවස් වරුවල තමයි බිස්නස් ටිකක් වැඩි වෙන්නේ. ඔෆිස් ඇරිලා යන අයයි, ව්‍යායාම කරන්න එන අයයි අපේ පළතුරු ජූස් ගන්නවා. හැමදාම වගේ අපි ළඟට එන අයත් ඉන්නවා. පිරිසුදුවට රසට අපි අපේ පළතුරු ජූස් ලබාදෙන නිසා අපේ පළතුරු ජූස්වලට හොඳ ඉල්ලුමක් මෙතන තියෙනවා.” යැයි දිනුෂිකා පැවසුවාය.

දිනුෂිකාගේ පළතුරු බීම රසවිඳින්නට කිහිප දෙනකුම පැමිණ සිටි හෙයින් ඒ වෙද්දීත් ඇය සිටියේ කාර්යබහුලවය.

හකීම් ද කොරෝනා වසංගතයෙන් රැකියාව අහිමිවුණු තවත් තරුණයෙකි. සංචාරක මඟපෙන්වන්නකු ලෙස සේවය කළ හකීම්ට ද මෙම වසංගතයත් සමඟ රැකියාව අහිමි විය.

“මම රැකියාව කළේ ටුවරිසම්. කොවිඩ්-19 වසංගතය ලංකාවට ආවත් සමඟම අපිට ටුවරිසම් කරන්න බැරි වුණා. ඒ නිසා ලැබුණු ආදායම් සියල්ලම නතර වුණා. අපිට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. මම මගේ නෑදෑවෙන කෙනෙක්ගෙන් වෑන් එකක් අරගෙන තමයි ටුවරිසම් කළේ. දැන් ජීවත්වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන නිසාම මම මේ වැඩේ පටන් ගත්තා. වෑන් එකේ සීට් ගලවලා වෑන් එකේ ඉඳගෙනම තමයි මේ බිස්නස් එක කරන්නේ. කඩකාමරයක් අරගෙන මේක කරන්න තරම් ආදායමක් මේකෙන් ලැබෙන්නෙ නෑ. කඩයට කුලී මුදල් දෙන්න, මුලින් අත්තිකාරම් මුදල් දෙන්න මට එහෙම මුදලකුත් නෑ. ඒ නිසා තමයි මේ බිස්නස් එක මේ වෑන් එක ඇතුළේ ඉඳන්ම කරන්නේ.”

හංවැල්ල ප්‍රදේශයේ ජීවත්වන හකීම් සෑම දිනකම උදෑසන සිය මෝටර් රථයෙන් කිඹුලාවල හන්දියට පැමිණෙයි. එතැන් සිට ඔහු විදුලි බල්බ වෙළෙඳාම් නිරතවෙයි. විවිධ හැඩයේ විවිධ මිල ගණන් යටතේ පවතින විදුලි බල්බවලට අද හොඳ ඉල්ලුමක් පවතින බව හකීම්ගේ අදහසයි. සෑම දිනකම උදෑසන සිට රාත්‍රී හතහමාර, අට පමණ වනතුරු විදුලි බල්බ වෙළෙඳාමේ යෙදෙන හකීම් තමාගේ සුපුරුදු රැකියාවේ නිරත වීමට දින ගනිමින් සිටියි. සංචාරක මගපෙන්වන්නකු ලෙස විවිධ ප්‍රදේශවලට සංචාරකයන් සමඟ සංචාරයේ යෙදුණු ඔහුගේ ජීවිතය අද වෙළෙන්දකු ලෙස කිඹුලාවල හන්දියට පමණක් සීමා වී තිබේ.

මේ දිනවල රඹුටන් මැංගුස් වාරය නිසාම රඹුටන්, මැංගුස් විකිණීමේ නිරත කිහිප දෙනකු ද කිඹුලාවල හන්දියේ එහා මෙහා යන අතරතුර අපේ නෙත ගැටුණි. රතට රතේ පැණි බේරෙන රඹුටන් මෙන්ම මැංගුස් මිලදී ගන්නට ආ කිහිප දෙනෙක් ඉතා ඕනෑකමින් මේ පළතුරු මිලදී ගනිමින් සිටියහ. ඇතැමුන් ත්‍රීරෝද රථවල හිඳ තම වෙළෙඳාමේ නිරත වූ අතර තවත් පිරිසක් කුඩා පළතුරැ තට්ටුවල මෙම වෙළෙඳාම් කටයුතු කරගෙන යති.

රඹුටන්, මැංගුස්, අඹ, පේර විකුණන අය අතර, ටිකක් නුහුරු කහ පැහැති පළතුරක් ද වෙළෙඳාම් කරන කිහිප දෙනකු ද අපිට මුණගැසුණි. ගාල්ල ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන (ඩොංගා) නම් පළතුර විකුණන මොවුන් සමඟ ද කතාබහ කිරීමට අපි අමතක නොකළෙමු.

“අපි මේවා ගෙන්වන්නේ ගාල්ලේ ඉඳන්. මෙහේ බොහෝ දෙනෙක් ඩොංගා ගැන දන්නේ නෑ. සමහරු අපි ළඟට ඇවිත් “මේ මොනවද?” කියලා අහනවා. ඉතින් අපි කන විදිහ පවා ඒ අයට කියලා දෙනවා. සමහරැ මේකෙ රස බලන්න කියලයි අරගෙන යන්නේ. සමහරු මෙතන ඉඳලා ගෙඩියක් කාලා රස දැනුණට පස්සෙ අපෙත් තවත් අරගෙන යනවා. කොරෝනා වසංගතයෙන් පස්සේ තමයි අපි මේ ඩොංගා විකුණන්න පටන් ගත්තේ. බිස්නස්වල වුණත් වරදක් නෑ. ෂේප් එකේ අපි කරගෙන යනවා.”

“ඩොංගා කමුද?” ඔවුන් අසන්නේ එලෙසය. කිඹුලාවල හන්දියට ගිය මොහොතක මේ ඩොංගා රස බලන්නට පැමිණෙන්නැයි ඔවුහු ආරාධනා කරති.

උණු කැවුම් කන්න කවුද අකැමැති? පැණි රස තියෙන උණු උණු කොණ්ඩ කැවුමක් කන්න ඔබත් කැමැතිද? කිඹුලාවල හන්දියට එයට කියාපු තැනයි.

“මගේ අම්මා නිලන්ති කුමාරි. අම්මා තමයි උණු උණු කොණ්ඩ කැවුම් මුලින්ම හදන්න පටන් ගත්තේ. ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසාම අම්මා වගේම මාත් මේ කිඹුලාවල හන්දියේ අපේ ලොරියක් තියාගෙන කොණ්ඩ කැවුම් මෙහෙම එවෙලේම හදලා උණු උණුවේම විකුණනවා. සාමාන්‍යයෙන් බිස්නස් හොඳයි. සමහරු උත්සවවලටත් අපෙන් කැවුම් අරගෙන යනවා. සමහරු මෙතන ඉඳගෙනම උණු උණුවේ කොණ්ඩ කැවුමක් කාලා කහට තේ එකක් බීලා යනවා.” එරංගා පැවසුවාය.

ලොරි රථයක ඇති කුඩා ගෑස් ළිපක අපූරුවට සැකසෙන කොණ්ඩ කැවුමක රස බලන්න ඒ වන විටත් කිහිප දෙනකුම පැමිණ සිටි නිසාම එරංගා කාර්යබහුල වූවාය.

කොවිඩ් වසංගතයත් සමඟම සෑම කෙනකුටම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය විය. මේ නිසාම ඇතැම්හු මුඛ ආවරණ (mask) මැසීමේ මෙන්ම විකිණීමේ නිරත වූහ. කිඹුලාවල හන්දියේ ද සිය ත්‍රීරෝද රථයේ හිඳ මුඛ ආවරණ වෙළෙඳාමේ යෙදෙන තරුණයකු අපිට මුණගැසුණි. ඔහු නමින් ඉෂාරය.

“මම කැබ් සර්විස් එකක රියැදුරෙක් විදිහට තමයි රැකියාව කළේ. කොරෝනා වසංගතය නිසා අපිට යන්න හයර් නෑ. ජීවත්වෙන්න විදිහක් නෑ. හයර් නෑ කියලා, රස්සාවක් නෑ කියලා කවුරැහරි කන්න ගෙනත් දෙනකම් අපිට බලාගෙන ඉන්නත් බෑ. ඒ නිසාම තමයි මම මෙහෙම පාර අයිනේ ඉඳගෙන මාස්ක් විකුණන්න තීරණය කළේ. මාස්ක්වලට නම් පොඩි බිස්නස් එකක් තියෙනවා. අපේ අයියා ගෙදරම මාස්ක් විකුණනවා. මාස්ක්වලට එච්චරම ලොකු ලාභයක් ගන්න බෑ. ඒ නිසා මාස්ක්වලට අමතරව මම මෙතන මල් පැළයි පොහොරයි විකුණනවා. හැමදාම උදේ නවය විතර වෙද්දී මම මෙතනට එනවා. හවස පහ විතර වෙනකම් මෙතන වෙළෙඳාම් කරනවා.”

මෙවැනි බොහෝ දෙනෙක් වෙනත් රැකියාවල නිරත වූ අය වෙති. නමුත් කොරෝනා වසංගතය ඔවුන් සියලු දෙනාගේ බලාපොරොත්තු උදුරාගෙන හමාරය. නමුත් ඔවුහු දිරිමත්ව නැගී සිටීමට නව මාවතක් සොයාගත්හ. ජීවත්වන්නට අලුත් මාවතක් සොයා ගත්හ. එය ඔවුන්ට දැන් හුරුය.

 දිශානි ජයමාලි කරුණාරත්න
      සේයාරූ - සුමුදු හේවාපතිරණ