පුංචි කිෂාණු අද සතුටින් සිනහවන්නීය. ඒ හිතේ අද බලාපොරොත්තු ගොන්නකි. අක්මා රෝගයෙන් පෙළුණු කිෂාණුට අද සාර්ථක අක්මා බද්ධයක් කර ඇත. එය ශ්‍රී ලංකාවේ කළ ප්‍රථම ළමා අක්මා බද්ධය ලෙසින් ඉතිහාස ගත විය. ජූලි මස 14 වැනිදා කිෂාණුගේ ජීවිතයේ අමතකම නොවන දවසක් විය.
කුඩා දරුවන්ගේ අක්මාව දුර්වල වීමට හේතු කිහිපයක්ම බලපායි. පිත්ත නාළ දුර්වල වීම, ජානමය තත්ත්වයක් හෝ වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි හේතු නිසා ද දරුවන්ගේ අක්මා දුර්වල වීමට හැක. මෙලෙස කුඩා දරුවන්ගේ අක්මා දුර්වල වීමේදී (නරක් වීමේදී) ජීවත් වීමට කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ ඔවුන්ට නැවත අක්මාවක් බද්ධ කිරීම පමණි. මෙපමණ කාලයක් ශ්‍රී ලංකාවේ දී කුඩා දරුවකුට සාර්ථක අක්මා බද්ධයක් කර නොතිබුණි.
මීට පෙර කුඩා දරුවකුට අක්මා බද්ධයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවූ සෑම මොහොතකම ඉන්දියාව වැනි විදෙස් රටකට ගෙන ගොස් එම සැත්කම කිරීමට සිදුවිය. ඒ සඳහා මිලියන පහළොවක් වැනි විශාල මුදලක් වැය වෙයි. ඒ එවැනි සැත්කමක ඇති සංකීර්ණ බව හේතුවෙනි.
“අධික මුදලක් මෙවැනි සැත්කමක් සඳහා වැය වෙද්දී මෙපමණ කාලයක් මුදල් තියෙන අය දරුවන් පිටරට ගෙන ගොස් අක්මා බද්ධ කිරීමේ සැත්කම සිදු කරද්දී, අනෙක් අය පුළු පුළුවන් විදිහට ආධාර එකතු කර මේ සැත්කම කිරීමට පිටරටට දරුවන් රැගෙන ගියා. එහෙම මුදල් සොයාගන්න බැරි වෙද්දී ඇතැම් දරුවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණා. දරුවකුට අක්මාවක් බද්ධ කළ විට සැත්කම සිදුකළ කණ්ඩායම දීර්ඝකාලීනව එම දරුවා පිළිබඳව සැලකිලිමත්ව සිටිය යුතු වෙනවා. මොවුන් දරුවා සැත්කමට මුහුණදීමට පෙර සහ සැත්කම සිදු කළාට පසුව සිදුවන ගැටලු පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.” යැයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුචින්ත තිලකරත්න දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඉන්දියාවට රැගෙන ගොස් සාර්ථක සැත්කමක් සිදු කළ ද, එම දරුවන් පිළිබඳ නිරන්තරයෙන්ම සොයා බැලීමක් සිදු කළ යුතුය. නමුත් එම දරුවන් නැවත නැවත ඉන්දියාවට ගෙන ගොස් පරීක්ෂා කිරීමේ හැකියාවක් බොහෝ මව්පියන්ට නොමැත. බොහෝ මව්පියන් තම දරුවන් විදෙස් රටකට සැත්කමකට රැගෙන යන්නේ ද ගේදොර. ඉඩකඩම්, කණ-කර ආභරණ ආදී සියල්ලම විකුණා බොහෝ දෙනකුගෙන් ලබාගත් ආධාර මුදල් මගිනි. ශ්‍රී ලංකාවේ දී මෙපමණ කාලයක් කුඩා දරුවන්ට අක්මා බද්ධය සිදු කිරීමට උත්සාහ දැරුව ද, එය සාර්ථක වූයේ නැත.
වැඩිහිටියන්ගේ අක්මා බද්ධ කිරීමේ සැත්කම් ඉතා සාර්ථක අයුරින් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට මීට පෙර හැකියාව ලැබුණි. මෙය ද ඉතා සියුම් ලෙස පරිස්සමට කළ සැත්කමකි.
2005 වසරේ දී විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කමල්ඩීන් සහ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජනක ද සිල්වා එක්ව ශ්‍රී ලංකාවේ දී අක්මා බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට උත්සාහ දැරූහ. එවකට එය ශ්‍රී ලංකාව තුළ සිහිනයක්ව තිබිණි. නමුත් මතු යම් දිනෙක සාර්ථක ලෙස අක්මා බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක කර ගැනීමේ වෛද්‍ය දියුණුවක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ඔවුහු දැඩි ලෙස විශ්වාස කළහ. 2005 වසරේ දී තරුණ වෛද්‍යවරුන් පිරිසක් සමඟ මෙවැනි සැත්කමක් සිදු කිරීමට ඔවුන් උත්සාහ දැරුවේ එබැවිනි. එම වෛද්‍ය කණ්ඩායමේ කිහිප දෙනකුම පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව ලබා දෙමින් එංගලන්තයට යවනු ලැබූහ.
ඔවුන්ගෙන් ඇතැමුන් නැවතත් ලංකාවට පැමිණියේ නැත. මේ නිසාම මෙකී උත්සාහයේ යම් කඩා වැටීමක් විය. කෙසේ හෝ කණ්ඩායමේ අනෙකුත් වෛද්‍යවරුන්ගේ උත්සාහය, උනන්දුව හේතුවෙන් වැඩිහිටි අක්මා බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණි. මුල් කාලයේ දී ඒ සඳහා අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් නොලැබුණ ද, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම හා දක්ෂතාවය මත එම වැඩිහිටි බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම සාර්ථක විය. මේ වන විට රාගම රෝහලේ වැඩිහිටි අක්මා බද්ධ කිරීමේ සැත්කම් පනහක් පමණ සිදුකර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය හා එක්ව රාගම රෝහලේ ගොඩනැගූ (උතුරු කොළඹ අක්මා බද්ධ සේවය) නම් කොටසේ මෙම සැත්කම් සිදු කෙරුණි.
“මේ වගේ සාර්ථක සැත්කමක් අපිට කරන්නට පුළුවන් වුණේ වසර ගණනාවකට උඩදී ආරම්භ කරපු මේ දැක්ම නිසායි. මේක Team work එකක්. ඒ සඳහා පිටරට ගොස් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරු සිටිනවා. මෙම කණ්ඩායමට පහළොවක්, විස්සක් පමණ ඉන්නවා. මෙවැනි සැත්කමක් වෛද්‍යවරුන් හතර පස් දෙනකුට පමණක් එකතුවෙලා කරන්න පුළුවන් සැත්කම් නෙමෙයි. සැත්කමෙන් පසුව දරුවන් නිරන්තරයෙන් පරීක්ෂා කර බලා ඔවුන් පිළිබඳව සැලකිලිමත්ව ඉඳීමත් ඉතා වැදගත් වෙනවා. මෙවැනි අක්මා බද්ධ කිරීම් සාර්ථකව අවසන් වූවායින් පසුව ඒ දරුවන්ට සාමාන්‍ය නිරෝගී දරුවකු මෙන් සුපුරුදු දිනචර්යාවක් ගත කරන්න පුළුවන්. ඉගෙනගන්න, ක්‍රීඩා කරන්න, විවාහ වෙන්න මේ සෑම කටයුත්තක්ම ඒ දරුවන්ට සුපුරුදු පරිදි සිදු කරන්න පුළුවන්.” විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුචින්ත තිලකරත්න වැඩිදුරටත් පැවසීය.
එහෙත් අක්මා දුර්වල වුණු දරුවකුට අක්මාවක් බද්ධ නොකරන්නේ නම් වසර කිහිපයක් ගිය විට දරුවාගේ ජීවිතය අවදානමකට ලක්විය හැක.
කිෂාණු යාපනයේ මුලායි ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු නවයක කුඩා දියණියකි. ඇය අක්මා රෝගී දරුවෙකි. පියා පෙදරේරුවකු වන අතර මව රැකියාවක් නොකරයි. රාගම රෝහලේ දී ක්‍රිෂාණුගේ අක්මා බද්ධ සැත්කම සිදුවූ අතර ඒ සඳහා ඇයගේ මවගේ (වයස අවුරුදු 38) අක්මාවෙන් කොටසක් ලබාගැනීමට වෛද්‍යවරු තීරණය කළහ.
ජූලි මස 14 වැනි දින උදා විය. එදින කිෂාණුටත්, වෛද්‍ය කණ්ඩායමටත් තීරණාත්මක දිනයක් විය. සියල්ලම සූදානම් කර හමාරය. ඒ වෙනුවෙන් ඊට දින දෙකකට පමණ පෙර වෛද්‍යවරු පෙර පුහුණුවක් ද සිදු කළහ. සැත්කම සිදුකරද්දී අවශ්‍ය උපකරණ තැබිය යුතු තැන්, සැත්කම සිදුකළ යුතු ආකාරය පිළිබඳව ඔවුහු පෙර පුහුණුවේදී තීරණය කළහ. ජූලි 14දා පාන්දර පහට සැත්කම ආරම්භ විය. පළමුව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායම කිෂාණුගේ මවගේ අක්මාවේ කොටසක් ලබාගැනීමේ සැත්කම ආරම්භ කළහ. මෙහිදී මවගේ අක්මාවෙන් 30%ක පමණ කොටසක් ලබාගනු ලැබීය. එම සැත්කම වෛද්‍යවරුන් විසින් සිදු කරන අතරතුර අනෙක් ශල්‍යාගාරයේ තවත් වෛද්‍යවරු කණ්ඩායමක් කිෂාණුගේ සැත්කම ආරම්භ කළහ.
එකිනෙකට සමීපව ඇති ශල්‍යාගාර දෙකක මවගේත්, දියණියගේත් සැත්කම් දෙක සිදුවෙමින් පැවතිණ. වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් දෙකම කුහුඹු රැලක් මෙන් ඉතා කඩිසරව, ඉතා පරිස්සමෙන් තම කටයුත්තෙහි නිරත වූහ. මවගේ සැත්කම පාන්දර පහට ආරම්භ වූ අතර විශේෂඥ වෛද්‍ය සුචින්ත තිලකරත්න ඇතුළු වෛද්‍ය කණ්ඩායම පාන්දර හයට පමණ දරුවාගේ අක්මාව ඉවත් කරලීමේ සැත්කම ආරම්භ කළහ. කුඩා දරුවන්ගේ ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය වැඩිහිටියකුට සාපේක්ෂව ඉතා අඩුය. මේ නිසාම දරුවාගේ ශරීරයේ අධික රුධිර ප්‍රමාණයක් පිට නොකිරීම ඉතා පරිස්සමට කළ යුතුය. ඒ පිළිබඳව වෛද්‍යවරු ඉතා සැලකිලිමත් වූහ.
මවගේ අක්මාවෙන් කොටසක් ලබාගැනීමෙන් පසුව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන එම කොටස ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කොට කිෂාණුගේ ශල්‍යාගාරයට රැගෙන ආවේය. ඉතා ඉක්මනින් වෛද්‍ය කණ්ඩායම දරුවාට එම කොටස බද්ධ කිරීමේ සැත්කම සිදු කළහ. දරුවාගේ අක්මාවට නැවතත් රුධිරය ගමන් කිරීමට සැලැස්වීම ද ඉතා පරිස්සමට කළ යුතු කටයුත්තකි. එය ද ඉතා සාර්ථක ලෙස සිදු කෙරිණි. පැය දොළහක සාර්ථක අක්මා බද්ධ සැත්කම එලෙස රාගම රෝහලේ දී සිදු විය.
සැත්කම අවසානයේ හේමාස් පෞද්ගලික රෝහල විසින් අවශ්‍ය පරිදි දැඩි සත්කාර ඒකක පහසුකම නොමිලේ ලබා දී තිබිණි. දින හතක් පුංචි කිෂාණු ප්‍රතිකාර ලැබුවේ මෙම ඒකකය තුළය. කිෂාණු වෙනුවෙන් ඒ දින කිහිපයේම ළමා රෝග විශේෂඥ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් කැපවී සේවය කළහ.
අද කිෂාණු සැනසිල්ලේ සිනාසෙන්නීය. ඇයත් මවත් දෙදෙනාම දැන් සුවය ලබා සිටිති. ජීවිතය යදිමින් දිගු කළ කිෂාණුගේ දෑත් මිහිපිට දෙවිවරැන් බඳු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම අල්ලා ගත්හ. ඔවුහු කිෂාණුට නැවතත් ජීවිතය දුන්හ.
Thank you for giving me a new live and a new life
I promise I will do my best to the world
Please help my friends, just like you did for me
We all deserve another chance!
කිෂාණු ඇගේ හිතේ ඇඳුණු සතුට අකුරු කළේ එලෙසිනි.
විශේෂ ස්තූතිය
විශේෂඥ වෛද්‍ය බුද්ධික ඌරාගොඩ මහතා
දිශානි ජයමාලි කරුණාරත්න