2020 ජුලි 25 වන සෙනසුරාදා

මීට පස්සේ ප්‍රයිවට් බස් දුවන්නේ බාගයයි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

කොවිඩ් - 19 වසංගතය මෙරටින් යම්දුරකට මර්දනය වීමත් සමඟම ජනතාවගේ හිත් තුළ මද අස්වැසිල්ලක් ඇතිවුණි. මාස ගණනාවක් පුරා වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ නැවත විවෘත කිරීමට රජය විසින් තීරණය කර තිබුණි. ඒ අනුව දින කිහිපයක්ම ශ්‍රේණි කිහිපයක්ද පැවැත්වුණි. රජයේ සහ පෞද්ගලික සේවා ආයතන, පාසල් විවෘත කිරීමත් සමඟම පෞද්ගලික බස් රථ හිමියන්ටද යම් අස්වැසිල්ලක් ලැබුණි.

නමුත් නැවත වතාවක් පසුගියදා කොවිඩ් - 19 ආසාදිත පොකුරක් වාර්තා වීමත් සමඟම පාසල් වසා දැමීමට රජය තීරණය කළේය. නැවත වතාවක් ජනතාව කොවිඩ් බිය සිත් තුළ ඇතිවුණි. මේ හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ද අඩු වූ අතර නැවත වතාවක් බස් හිමියෝ මහත් අසරණ තත්ත්වයට පත්ව සිටිති. එබැවින් ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සහ ගමන් වාර ගණන 5‍ දක්වා අඩු කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

පොදු ප්‍රවාහන සේවයේ වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන්නේ පෞද්ගලික බස් රථවලිනුයි. කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟම මේ සම්බන්ධව අපි මුලින්ම අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා. එහිදී මුලින්ම තීරණය කරනු ලැබුවේ ආසන සංඛ්‍යාවෙන් අඩක් රැගෙන බස් රථය ධාවනය කළ යුතු බවයි. නමුත් මීටරේ දුර ප්‍රමාණයෙන් පෝලිමේ ඉඳලා බස් රථයේදී එක ළඟ වාඩි වී යාම පිළිබඳව අපි මුලින්ම සෑහීමට පත්වුණේ නැහැ.
ජනතාව මුල් කාලයේදී බස් රථවල ගමන් කරන්නට බය වුණා. මේ නිසා ඉන්ධන සහනාධාරයක් හෝ අර්ධ සුඛෝපභෝගී ගාස්තුව අයකරන්න අපිට ඉඩ දෙන්නයැයි අපි මුලින් රජයෙන් ඉල්ලීම් කළා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් අපිට ලැබුණේ නැහැ. අපි හරිම අසරණ වුණා* යැයි ගැමුණු විජේරත්න දේශයට පැවසීය.

ඉන්ධන සහනාධාරයකට අමතරව සංගමය විසින් කොවිඩ් රක්ෂණයක් හෝ රක්ෂණ වන්දියක් ලබා දෙන්නයැයි ඔවුහු රජයෙන් ඉල්ලීම් කළහ. මාස කිහිපයක්ම කිසිදු ආදායමක් නොලැබූ ඔවුන් වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන්නයැයි කළ කිසිදු ඉල්ලුමකට සහනදායී පිළිතුරක් නොලැබුණු බව සභාපතිවරයා චෝදනා කරයි. අඩුම තරමේ මෙම බස් හිමියන් සඳහා රුපියල් විසිපන්දහසකවත් ණය මුදලක් ලබා දෙන්නයැයි කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප විය.
ඇඳිරිනීතිය රට පුරා පැවැති කාලයේදී මොවුන්ට කිසිම ආදායමක් නොලැබුණි. බස් රථයෙන් දෛනිකව ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත අසරණ විය. මේ නිසාම ඔවුහු බරපතළ අර්බුදයන්ට මුහුණ දුන්හ. ඇතැම් බස් හිමියන් සහ සේවකයෝ තම කණකර උගස් කොට ජීවත් වූහ. ඇතැමුන් වැඩි පොලියට ණය ගත්හ.

කෙසේ වුවද ඇඳිරි නීතිය යම් යම් දිස්ත්‍රික්කවලින් ඉවත් කොට රට ලිහිල්වන තත්ත්වයට පත් වූ විට බස් හිමියෝද තම රාජකාරි කටයුතු ආරම්භ කළහ.
ඇඳිරිනීතිය රට තුළින් ඉවත් කළද කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල එක්වරම ඇඳිරිනීතිය ඉවත් කළේ නැහැ. ඇඳිරිනීතිය ඉවත් කළද මගීන් වෙනදා තරම් බස් රථවල ගමන් කළෙත් නැහැ. කෙසේ හෝ පාඩු ලබමින් පොදු ප්‍රවාහන බස් රථ පාසල් නැවත විවෘත කරනතුරු ධාවනය කළා. නමුත් මෙහිදී සියලුම බස් රථ ධාවනය වුණේ නැහැ. අවසානයේදී පාසල් ආරම්භ කරද්දී 80ක් පමණ බස් ධාවනය කරගන්නට අපිට අවස්ථාව ලැබුණා. යැයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසීය.
මේ බොහෝ බස් රථ ධාවනය කරන්නේ භූමිතෙල් යොදාගනිමිනි. අඩු වියදමට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා මෙසේ බස් ධාවනය කිරීමට වර්තමානයේ බස් හිමියන් සහ සේවකයෝ පෙළඹී සිටිති. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටින්නේ ලංකාවේ පෞද්ගලික බස් රථවලින් 70ක් පමණ මෙලෙස ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා තම බස්රථ ධාවනය කරන බවය. ඩීසල් වෙනුවෙන් බස් ගාස්තුව තීරණය කරද්දී අඩු වියදමකින් භූමිතෙල්වලින් බස් රථ ධාවනය කිරීමට මෙම බොහෝ බස්හිමියෝ උත්සාහ ගත්හ. භූමිතෙල් යොදා බස් රථ ධාවනය කරලීමේදී එය පරිසරයට ඉතා අහිතකර වේ. එමෙන්ම එය ඉතා අවදානම් සහිත ගමනකි. යම් හෙයකින් බස් රථයේ ගිනි ඇවිලීමක් සිදුවුවහොත් බස් රථයේ ගමන් කරනා මගීන්ගේ ජීවිත පවා අනතුරේ වැටෙයි. භූමිතෙල් ඉතා ඉක්මනින් ගිනි ඇවිලේ. එමෙන්ම භූමිතෙල් යොදා බස්රථ ධාවනය කිරීමෙන් බස්රථවලට ද බරපතළ ලෙස හානි සිදුවේ. අවදානම් තත්ත්වයන්ද නොසලකා හරිමින් යළි රට විවෘත වූ පසුව බොහෝ බස්රථ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කෙරිණි.

මේ අන්දමින් ධාවනය වූ බස්රථ පසුගිය දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව පරික්ෂා කිරීමක් සිදුවිය. එම පරික්ෂාවෙන් පසුව භූමිතෙල් යොදා ධාවනය කළ බස්රථවල බස් හිමියන් හා සේවකයන් එක්ව යම් විරෝධතාවයක් ආරම්භ කළ යුතු යැයි තීරණය කොට බස් රථ ධාවනය කළ නොහැකි බවට ප්‍රකාශයක් ද සිදු කළහ. ඇතැම් බස් හිමියන් මේ හේතුවෙන් විරෝධතාවයක් කරලන්නට උත්සාහ ගනිද්දී රට තුළ කොවිඩ් දෙවැනි වසංගතයක් පැතිරීමේ බියක් ඇතිවිය.
භූමිතෙල් යොදා බස් රථ ධාවනය කළ ඇතැම් බස්රථ විරෝධතාවයක් පළ කරද්දී බස් රථ ධාවනය කරන්නට නොහැකියි යැයි පවසමින් වර්ජනයක් කරන්නට උත්සාහ කරද්දී අපේ රටේ දෙවැනි කොවිඩ් පොකුරක් පසුගියදා වාර්තා වුණා. මේ නිසා පාසල් නැවත වසා දැමීමත් සමඟම මේ කර්මාන්තය මුලදී පටන් ගත්තු තැන දක්වා නැවත පරිවර්තනය වුණා. මේ නිසා බස් රථවල ගමන් කරන මගීන් අඩු වුණා. අදටත් මගීන් බස්රථවල ගමන් කරන්න බයයි. බස් රථ සම්බන්ධව විරෝධතාවයක්, වර්ජනයක් කරලන්නට සංගමයක් විදිහට අපි මේ අවස්ථාවේදී අනුමත කරන්නේ නැහැ. අපි යම් ආකාරයෙන් වර්ජනයක් කළොත් ඒක මගීන්ව අපි කබලෙන් ලිපට ඇද දැමීමක් වෙනවා. ඒ වගේ දෙයක් අපි කරන්නේ නැහැ. මේ අවස්ථාවේ පෞද්ගලික බස් රථ වර්ජනයක් කළොත් මිනිස්සු ලංගම බස්රථවල තෙරපීමෙන් ගමන් කිරීමෙන් කොවිඩ් වසංගතය බෝවීමේ ප්‍රවණතාවය ඉතා වැඩිවෙනවා. ඒ නිසා අපි පෞද්ගලික බස් හිමියන්ට වෙන අසාධාරණ හේතු නිසා මේ මොහොතේ බස් වර්ජනයක් කරන්නේ නැහැ යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

බස් රථවල මගීන්ගේ අඩුවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියෝ යළි ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටිති. බොහෝ බස් රථ මාර්ගයේ ධාවනය වන්නේ ආසන ප්‍රමාණයටත් අඩු මගීන් පිරිසක් සමඟිනි. මේ නිසාම මාර්ගයක ගමන් කරනා බස් රථ දවසක් හැර දවසක් ධාවනය කරවීමට සංගමය තීරණය කර ඇත. ඒ අනුව එක දවසකට එක් මාර්ගයක බස් රථ පනහක් ධාවනය වන්නේනම් එය කොටස් දෙකකට බෙදා එක් දිනක බස් රථ විසිපහකුත් අනෙක් දිනට බස් රථ විසිපහකුත් ධාවනය කෙරෙනු ඇත. සාමාන්‍යයෙන් එක් බස් රථයක් ගමන් වාර හයක් දිනකට ධාවනය වන්නේ නම් එය ගමන් වාර තුනකට අඩු කිරීමටද ඔවුන් තීරණය කර ඇත. කෙටි ගමන් සේවාවක යෙදෙන බස් රථයක් දිනකට බස් හිමියන්ට ඉතිරිවන්නේ රුපියල් දාහත්, එක්දාස් පන්සීයත් අතර මුදලකි. ඇතැම් දිනවලදී බස් හිමියන් තමන්ගේ අතින් වියදම් කොට බස් රථවලට ඩීසල් ගසන බවද සංගමය කියයි. වියදම් හැම අතින්ම වැඩි වී තිබේ.

දවසකට රුපියල් දාහක ටයර් ගෙවෙනවා. දුර ගමන් සේවාවක රුපියල් දෙදහසක විතර ටයර් ගෙවනවා. තමන්ගේ බඩ ගෝස්තරය හොයාගන්න, ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න මිනිස්සු තමන්ගේ බස් ධාවනය කරනවා. නමුත් බස් රථය අලුත්වැඩියාවක් සිදු කරන්නට අලුතින් ටයර් එකක් දාගන්නට සිදු වුණොත් මේ මිනිස්සු මොකද කරන්නේ? තව මාසයක් විතර මෙහෙම ගියොත් බස් පහළොස්දාහක් විතර කොළඹ තමයි තියන්න වෙන්නේ. ඒ අවදානම නිසා තමයි අපි මෙහෙම සීමා කරලා බස් ධාවනය කරන්නේ යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න