මෙවර පැවැත්වෙන මහා මැතිවරණය සඳහා ශක්තිමත් රටක්, තෘප්තිමත් ජනතාවක් යන තේමාවෙන් යුතු සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය 20 වැනි දින ප්‍රකාශයට පත් කෙරිණි. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයට අපේක්ෂකයන්, විද්වතුන් හා වෘත්තිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. විසිවැදෑරැම් ප්‍රතිපත්ති මාලාවක් හා බිඳවැටී ඇති ආර්ථිකය හා ජනජීවිතය නඟාසිටුවීම සඳහා වන යෝජනා 33ක්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ය.
රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දීම, 2020 මාර්තු අප්‍රේල් විදුලිය හා ජල බිල්පත් සම්පූර්ණයෙන් කපා හැර කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, වත්මන් රජය මගින් අත්හිටුවා ඇති රුපියල් 3000 සිට 24,000 දක්වා වන රාජ්‍ය සේවක වැටුප්, විධායක ශ්‍රේණි සඳහා වන 15,000 දීමනාව සහ වැඩිකළ විශ්‍රාම වැටුප් ලබාදීමට පියවර ගැනීම, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය මර්දනය කිරීම සඳහා සංවර්ධන අරමුදලක් ඇති කිරීම, කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් පවුල් සඳහා මසකට රුපියල් 20,000ක් ලබා දීම, සියලු ඉන්ධනවල මිල අඩු කිරීම සහ අත්‍යවශ්‍ය ආහාර හා පාරිභෝගික ද්‍රව්‍ය රුසක් දැරිය හැකි මිලකට ලබා දීම, අල්ලස, දූෂණය සහමුලින් තුරන් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරීම, ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය සංකල්පය තුළින් තමා ජීවත්වන ප්‍රදේශය තුළ සෑම පුද්ගලයකුට සහ පවුලකටම සක්‍රියවම හා අර්ථාන්විතව ජීවත්වීමට ඉඩප්‍රස්ථාව සලසන තීරණ ගැනීමේ ක්‍රියාවලියක් නිර්මාණය කිරීම, කුඩා වැව් 5000ක් වසර පහක් තුළ ප්‍රතිසංස්කරණය කිරීම, වතුකම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර පලදායිතාව හා කාර්යක්ෂමතාව මත 1500 දක්වා ලබා ගැනීමට ක්‍රමවේදයක් සැකසීම, නොමිලයේ පොහොර ලබාදීම සහ විවෘත වෙළෙඳපොලේ හිඟයකින් තොරව පොහොර ලබාදීමට කටයුතු කිරීම, කාන්තාව සවිබල ගන්වන - කාන්තා හිංසනය පිටුදකින කාන්තා ප්‍රඥප්තිය මාස හයක් තුළ එළිදැක්වීම සහ දේශපාලකයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීම වැනි කටයුතු මෙම විසිවැදෑරැම් ප්‍රතිපත්ති මාලාවට එක්කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජාතික ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළේය.
ජනතාවත් අපත් අතර ඇතිකර ගන්නා වූ මෙම සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට මම හඳුන්වන්නට කැමතියි. සමගි ජනබලවේගය අප රටේ නූතන අභියෝගවලට, ජනතා ප්‍රශ්නවලට විසඳුම් සපයන දේශපාලන ප්‍රවාහයක්. අපි ඉදිරිපත් වන්නේ ප්‍රශ්න විසඳීමටයි. ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ රට පාලනය කළ විවිධ පක්ෂ, විවිධ නායකයින් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබාදුන්නාද කියන එක පිළිබඳව ප්‍රශ්න කළ යුතුයි. අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ අභියෝග හා ප්‍රශ්නවලින් පළායන්න නෙමෙයි. අපි ඉදිරිපත් වී සිටින්නේ නැවුම් අදහස්වලින්, ඉදිරිය දකින දර්ශනයක් තුළින් රටට උචිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කළේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුළු පිරිස් ඒකරාශී කරගනිමින් ඉතාම පිරිසිදු ක්‍රමාණුකුල ක්‍රමවේදයක් තුළිනුයි. අපේ රට මුහුණදෙන වර්තමාන අභියෝගවලට විසඳුම් ලබාදීමේ ක්‍රියාමාර්ග මෙහි ඇතුළත් වෙනවා. කොරෝනා වසංගතය නිසා ආර්ථික, සමාජීය, ජාතික ආරක්ෂාව ඇතුළු සෑම ක්ෂේත්‍රයකම අභියෝග රැසක් නිර්මාණය වී තිබෙනවා. මෙම අභියෝග පිළිබඳ අලුතින් සිතා නිර්මාණශීලිව අපේ ප්‍රතිපත්ති සකස් කළා. ඒ තුළින් ප්‍රශස්ථ, ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න අප අපේක්ෂා කරනවා.
මිනිසා ජීවත් කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනයාම සඳහා රටේ සියලුම ජනකොටස්වලට සමසේ ප්‍රතිලාභ බෙදීයන ආර්ථික වර්ධනයක් අපි රට තුළ ක්‍රියාත්මක කරනවා. රටපුරා සෑම ග්‍රාමනිලධාරි කොට්ඨාසයකටම බෙදීයන සංවර්ධනයක් ගොඩනමින් අපේ රට දියුණු ලෝකය කරා ගෙන යනවා. නාස්තිය දූෂණය, වංචාවෙන් තොර කාර්යක්ෂම, විධිමත් රාජ්‍ය පාලනයක් ගෙනයාම සමගි ජනබලවේගයේ අරමුණයි.
එක පවුලකට, එක කොට්ඨාශයකට සීමාවූ රාජ්‍ය පාලනයෙන් බැහැරව කුසලතාවය, දක්ෂතාවය හා ප්‍රථිඵල මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වැනි සංශෝධනය හරහා බලය බෙදාදීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. අපට ඉලක්ක තිබෙනවා. ඒ ඉලක්ක ජයගැනීමට දැන් අවශ්‍යව තිබෙන්නේ රටේ ජනතාවගේ ආශීර්වාදය ලබාගැනීමයි. යනුවෙන් සඳහන් කළේය.
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා