2020 ජුලි 25 වන සෙනසුරාදා

කළු ජූලියට මුලුපිරූ සෙබළුන් 13 ඝාතන භූමියට මුලින්ම හමුදා නිලධාරියා කියන කතාව

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

මෙරට ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් වූයේ කළු ජූලියයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ තිරුනෙල්වේලියේදී පුපුරා හරින ලද බිම් බෝම්බයට බිලි වීමෙන් දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදා සෙබළුන් 13න් දෙනෙක් මරණයට පත් වූහ. එම මළ සිරුරු ඔවුන්ගේ ගම්බිම්වලට යැවීමට මුලදී තීරණය වුවද පසුව එම තීරණය වෙනස් කොට කොළඹට ගෙන්වා භූමදානය කිරීමට එවක සිටි ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ කෝපාවිශ්ට සිංහල ජනතාව දෙමළ මිනිසුන්ගේ ගෙවල් දොරවල්, කඩසාප්පු විනාශ කරමින්, ඔවුන්ගේ ජීවිත බිලිගනිමින් කරන ලද මහා විනාශයයි. සොල්දාදුවන් 13 දෙනාගේ මරණය සිදු වූ ස්ථානය වෙත ප්‍රථමයෙන්ම ළඟා වූයේ එවක කපිතාන්වරයකු වූ කර්නල් රන්ජිත් විජ්සුන්දරගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමකි. මේ කර්නල් රන්ජිත් විජේසුන්දර වසර 37කට පෙර තම අත්දැකීම් පිළිබඳව අපට කළ හෙළිදරව්වකි. මෙහි මුල් කොටස පසුගිය සතියේ පළ විය. මේ එහි අවසන් කොටසයි.

එදින රාත්‍රිෙය් මාදගල් කඳවුරේ සිට ලුතිනන් ඒ.පී.එන්.සී. ද එස්. වාස් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු චාලි කණ්ඩායම මුර සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණා. ඔවුන්ගේ සාමාන්‍ය මුර සංචාරය යෙදී තිබුණේ මාදගල් සිට උරුම්පිරායි වෙත ගොස් එතැනින් කොණ්ඩාවිල්, තින්නවේලි හා යාපනය ඔස්සේ යළි ගුරුනගර් වෙත යෑමයි. එහිදී ගුරුනගර් කඳවුරෙන් ලැබෙන උපදෙස් අනුව යා යුතු මග තීරණය කෙරුණා. එදින රාත්‍රී 11ට පෙර කඳවුර වෙත පැමිණිය යුතු බවට මෙම භට කණ්ඩායමට අණ කර තිබුණා. එහෙයින් ඔවුන් යළි මාදගල් බලා නික්ම ගොස් තිබුණා.

රාත්‍රී 11.10ට පමණ භට කණ්ඩායම් නැවත කඳවුරු කරා පැමිණ සිටීද යන්න පිළිබඳව මා සොයා බැලුවා. අනෙකුත් සියලු කණ්ඩායම් යළි කඳවුරු වෙත පැමිණ සිටියද මාදගල් වෙත පැමිණිය යුතු භට කණ්ඩායම ඒ වන විටත් පැමිණ තිබුණේ නැහැ. මාදගල් කඳවුරේ ලුතිනන් වීදුරුපොළ නම් නිලධාරියාගෙන් මා විමසා සිටි විට මුර සංචාරය සඳහා නික්ම ගිය තම කණ්ඩායම යළි නොපැමිණි බව ඔහු පැවසුවා. රාත්‍රී 12ට ආසන්න වන තෙක්ම ඔවුන් නොපැමිණි හෙයින් මගේ ඉහළ නිලධාරියාට ඒ බැව් දැන්වූවා. හැකි ඉක්මනින් කණ්ඩායමක් සමඟ ඔවුන් සොයා යන්නැයි මගේ ඉහළ නිලධාරියා මට පැවසුවා. තවත් භට පිරිසක් සමඟ මම පලාලි බලා පිටත් වුණා.

කපිතාන් රන්ජිත් විජේසුන්දරගේ කණ්ඩායම පස් දෙනකුගෙන් සමන්විත විය. ඔවුහු වාසවිලාන් අසලින් පිහිටි තෝලකට්ටම් මාවත ඔස්සේ යාපනය දෙසට ගමන් කළහ. පාදවලට වෙඩි වැදුණු හමුදා සෙබළකු මග වැටී සිටින බැව් කොණ්ඩාවිල් බස් ඩිපෝව ආසන්නයේදී හමුවූ පුද්ගලයෙක් ඔවුනට පැවසීය. ඒ සමඟ වෙනත් හමුදා කඳවුරකට අනුයුක්තව සිටි රාජේන්ද්‍ර වීරසිංහ නම් දෙවැනි ලුතිනන්වරයෙක් ද එම ස්ථානයට පැමිණියේය. ඔහුට තුවාල ලද සෙබළා හමුවී තිබිණි. ආර්.ඒ.යූ. පෙරේරා නමැති හමුදා භටයා තුවාල ලබා සිටින බැව් ඔහු කපිතාන්වරයාට පැවසීය. තුවාලකරු කඳවුර වෙත ගෙන යන ලෙසට කපිතාන්වරයා ඔහුට අණ කළේය. එදින වැසි සහිත දිනයක් විය. යළි ගමන් ඇරඹූ පිරිසට දැකගත හැකි වූයේ විදුලි රැහැන් කපා මඟ දෙපස දමා ඇති ආකාරයයි. මාර්ගයේ වතුර පිරි කුඩා වළවලට වැටී තිබූ විදුලි රැහැන්වලින් ගිනිපුපුරු විසිවනු පෙනිණි. දැඩි අඳුර මධ්‍යයේ වුව දොළහයි දහයේ බෙන්ස් වර්ගයේ හමුදා ට‍්‍රක් රථයක් මාර්ගය මැද නවතා තිබෙනු කපිතාන් විජේසුන්දර ඇතුළු කණ්ඩායමට දිස්විය.

අපි ජීප් රථයෙන් බැස ඒ දෙසට ගමන් කළා. විදුලි රැහැන් සැම තැනම විසිරී තිබූ හෙයින් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස මා කණ්ඩායමට පැවසුවා. අප සෙමෙන් සෙමෙන් ඒ දෙසට ගමන් කරන විට තල් වැටක් අසල සෙබළකු දණින් වැටී සිටිනුද ඔහුගේ හිස තල් වැටට හේත්තු වී තිබෙණුද පෙනුණා. මා ඔහු සමීපයට ගිය විට ඔහු තල්වැටට හේත්තු වී මියගොස් ඇති බව දැකගත හැකි වුණා. අවට බලන විට සැම තැනම මියගිය සොල්දාදුවන්ගේ සිරැරැ විසිරිලා තිබුණා. රියැදුරු පෙරේරා ට්‍රක් රථයේ සුක්කානම මතම මියගොස් සිටියා. කණ්ඩායම භාරව පැමිණි නිලධාරියා පිළිබඳව මා සොයා බැලුවා. සිදුවීම වූ ස්ථානය ආසන්නයේ බස් නැවතුමක් තිබුණා. එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ බිම වැටී තිබූ යමක් මට පෙනුණා. මා ඒ දෙසට විදුලි පන්දම එල්ල කළ විට කිසිවක් දිලිසෙනු දුටුවා. ඒ දිලිසුනේ එම නිලධාරියාගේ නිල ලාංඡනය බව මට වැටහුණා. මා සමඟ සිටි සොල්දාදුවකු කැටුව එතැනට ගිය විට මුණින් අතට වැටී සිටි පුද්ගලයකුගේ සිරුරක් හමුවුණා. ඔහුගේ මුහුණ පොළොව දෙසට හැරිලයි තිබුණේ. මා මුහුණ යටින් අත දමා අනෙක් පසට හරවන්නට උත්සාහ කළ විට මගේ අතේ මැණික්කටුව තෙක් ඔහුගේ හිස් කබල ඇතුළට කිඳා බැස්සා. ඔහුට වෙඩි වැදී තිබුණේ හිස පිටුපසිනුයි. වෙඩි උණ්ඩය මුහුණේ කොටසක් කඩාගෙන පිටවී තිබුණා. ඒ දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධන. ඒ මෙම භට කණ්ඩායම භාරව පැමිණි නිලධාරියා.  

ඔහුට වෙඩි පහර එල්ල වූයේ කුමන දෙසකින්දැයි මා සොයා බැලුවා. බස් නැවතුම්පළ අසල කැලෑ තොප්පියක් බිම වැටී තිබුණා. එම බස් නැවතුම අඩි හයක් විතර උසින් යුතු කොන්ක්‍රීට් ආවරණයක්. අප එය මතට ගොඩවී විමසුම් කරන විට ඒ මත පුද්ගල මළසිරුරක් හමුවුණා. මළසිරුර සමඟ පිස්තෝලයක් හා පතොරොම් කිහිපයක්ද තිබුණා. අප මළසිරැර පහළට ගෙන සියලු තොරතුරු ගුරුනගර් කඳවුරට වාර්තා කළා. ගුරුනගර්වලින් මේජර් සරත් මුණසිංහ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මළසිරැරැ සියල්ල පලාලියට හෝ යාපනය රෝහලට හෝ ගෙන යාමට කටයුතු කළා.

කොටි සංවිධානය බෝම්බ කිහිපයක් මාවතේ වළ දමා පිපුරැම් උපකරණය ප‍්‍රධාන මාර්ගයෙන් අභ්‍යන්තරයට ගෙන ගොස් එහි සිට බෝම්බ පුපුරුවා හැර තිබිණි.. එවක ඔවුන් භාවිත කළේ බැටරියකට වයර් සම්බන්ධ කර පුපුරුවා හැරීමේ ක‍්‍රමයයි. මුර සංචාරයේ යෙදෙන භට කණ්ඩායම් පිළිබඳව දින ගණනක් විමසුම් කර ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කර තිබූ බැව් පැහැදිලි විය. බස් නැවතුම මත තිබී හමු වූ මළසිරැර ප‍්‍රභාකරන්ගේ සමීපතමයකු වු සෙල්ලක්කිලිගේ විය. ඔහු බස් නැවතුම මත රැඳී සිටියේ ට‍්‍රක් රථයෙන් පිටතට එන සොල්දාදුවන්ට එහි සිට පහර දීමටය. කෙසේ හෝ හමුදා භටයකුගේ වෙඩි පහරින් ඔහු මරණයට පත්ව තිබිණි.
මෙම සිදුවීමෙන් පසු කෝපයට පත් 62කුගෙන් යුතු භට පිරිසක් එම ප්‍රදේශයේ නිවැසියන්ට අඩන්තේට්ටම් කොට නිවාස ගිනි තබා තිබිණි. නිලධාරීන් වහා එය මැඩපැවැත්වීමට පියවර ගත් අතර එම සෙබළුන් සියලු දෙනා සේවයෙන් පහකොට අනුරාධපුර බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගැනිණි. ශ්‍රී ලංකා හමුදාව  දැඩි විනයක් සහිත හමුදාවක් බව එදාද සනාථ විය.

මෙම සිදුවීමෙන් පසු කපිතාන් රන්ජිත් විජේසුන්දර ඇතුළු හමුදා නිලධාරීන් වෙත පැවරැණු ප්‍රධාන කාර්යය වූයේ උතුරේ ජනතාවගේ නිවෙස්වලට ආරක්ෂාව සැපයීමය. මෙම සිදුවීම පාදක කර ගනිමින් කොළඹ ඇතිවූ කලහකාරී ක්‍රියා හේතුවෙන් විශාල පිරිසක් උතුරට පැමිණියහ. එම පිරිසට ආරක්ෂාව සැපයීමත් හමුදාවේ වගකීම විය. යාපනයේ කිසිදු නෑයකු හෝ මිත‍්‍රයකු හෝ නොමැති පිරිසට නවාතැන් පහසුකම් සොයා දීමටද සිදු වූයේ උතුරේ සිටි හමුදාවටය.
මියගිය සෙබළුන්ගේ අවසන් කටයුතු කොළඹ කනත්තේදී සිදු කිරීමට නියමිත විය. ඒවා පලාලියේ සිට රත්මලාන ගුවන් තොටුපළට ගෙන එන ලද්දේ ජූලි 24 දින සවස 7.20ට පමණය. මේ වන විට කොළඹ කනත්තේ 8000කට ආසන්න පිරිසක් රුස්ව සිටි අතර සිදුවීම සම්බන්ධයෙන් ජනතා කෝපය ඇවිලෙමින් තිබිණි. රටම ගිනි ගන්නට විය. දෙමළ ජනතාවට අයත් නිවාස, ගොඩනැගිලි, කඩ සාප්පු ගිනිගෙන දැවෙන්නට විය. ජාති ආලයෙන් මත් වූ ඇතැම් පිරිස් මංකොල්ල කෑමට පටන් ගත්හ. මිනිස් ජීවිත 4000 පමණ අකාලයේ වැනසී ගියේය. බොහෝ පිරිස් රට හැර ගියහ. රටම අඳුරැ යුගකට හෙළූ කළු ජූලිය ආරම්භ වූයේ ඒ අයුරිනි. 

හමුදා භටයන්ගේ මළසිරුරු ඔවුන්ගේ ගම්බිම්වලට නොයවා අගනුවරට ගෙන ඒමට ගත් තීරණය මත සිංහල මිනිසුන්ගේ කෝපය දෙමළ මිනිසුන් වෙත මුදා හරින්නට මග පෑදුණු බව කර්නල් රන්ජිත් විජේසුන්දරගේ අදහසයි.
එය වැරදි තීරණයක්. එදා තිරුනෙල්වේලියේදි මියගිය හමුදා භටයන්ගේ මළසිරුරු පලාලියේ හෝ යාපනය රෝහලේ මෘතශරීරාගාරයට හෝ රැගෙන ගිය බව මට මතකයි. ජනරාල් වීරතුංග මෙම මළසිරුරු එම හමුදා භටයන්ගේ නිවෙස්වලට යැවිය යුතු බවට ප්‍රකාශ කළා. එහෙත් එවක ආරක්ෂක ලේකම්වරයා වූ සී.ඒ. ධර්මපාල ඇතුළු කණ්ඩායමකට ඒවා කොළඹට ගෙනවුත් බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමට අවශ්‍ය වුණා. මියගිය හමුදා භටයන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජීවත් වූ පිරිසක්. එම සිරුරු ඔවුන්ගේ ගම්බිම්වලට යැව්වා නම් විශාල ජන ගඟක් අගනුවර එක ස්ථානයකට ඒකරාශි වන්නේ නැහැ. මළසිරුරු කොළඹට ගෙන ආ යුතු බවට තීරණය කළ අයගේ සිත්වල කුමන අරමුණක් තිබුණාදැයි මා දන්නේ නැහැ. ඔවුන් එදා ජනරාල් වීරතුංගගේ මතයට ගරු කළා නම් ඉතිහාසයේ සිදු වූ විශාලම වැරදීම සිදු වන්නේ නැහැ. ඒ වැරදි තීරණ ගත් පිරිසේ ඇතැම් අය අදත් ඉන්නවා. සමහරු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. එදා නිවැරැදි තීන්දුවක් ගත්තා නම් රටම විනාශ කළ, ජාතීන් දෙකක් විරසක කළ, විශාල පිරිසකට බොහෝ දේ අහිමි කෙරුණු කළු ජූලිය ඇතිවන්නේ නැහැ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02