2020 ජුලි 25 වන සෙනසුරාදා

රාජසභාව හොරු කඩලා ඇතුගල්පුර සසලවෙයි...!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 249

අද නගර සභාවට අයිති මේ ගොඩනැගිල්ලේ මුලින්ම තිබුණේ කුරුණෑගල නගර සභා ශාලාවයි. ඒක දෙපස නේපථ්‍යාගාර දෙකක් ද මැදින් වේදිකාව සහිත ශාලාව ද තිබුණා මතකයි. ඊට පසු ලංකා බැංකුවට එය බදු දී තිබුණා. ඉන් පසු දිසාපති කාර්යාලය තමයි එතන තිබුණේ. එහි කාමර දෙකක් ඉදිකරලා දිසාපති කාර්යාලය වශයෙන් යොදාගෙන තිබුණා. ඊටත් පසු පෞද්ගලික අංශයට හෝටලයක් පවත්වාගෙන යාමට බදු දුන්නා.  දැන් රටේම මාතෘකාවක් බවට පත්ව ඇති කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස හඳුන්වන ගොඩනැගිල්ල ගැන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් අප සමඟ කීවේ එසේය.

බොහෝ දෙනෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා කරන්නේ මෙම වටිනා ගොඩනැගිල්ල කඩා දමන තෙක් ඇස් කන් පියාගෙන සිටි බවයි. දැන් මහ මැතිවරණය ළඟ නිසා එයට දේශපාලන ගැම්මක් ද එකතු වී ඇත. පුරාවිද්‍යාව ගැන දන්නා නොදන්නා හැමෝම කඩා දැමූ ගොඩනැගිල්ල ඉදිරියට ගොස් වොයිස්කට් දෙනු පෙනේ. නගර සභාවට අයත් මෙම ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන්නේ කුරැණෑගල නගරාධිපතිවරයාටය. නගරාධිපති සංජීව විතාරණ මෙසේ පවසයි.

අපි ඉවත් කළේ ඉපැරණි ගොඩනැගිල්ලක් නොව ඊට සම්බන්ධ කර මෑතකදී තැනූ හෝටල් ගොඩනැගිල්ලක්. මේ ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක පරීක්ෂණ කර තහවුරැ කරගෙන නෑ. මේ ස්ථානය කුරැණෑගල රාජධානියේම කොටසක් බවට මෙතෙක් තහවුරැ වී නැහැ. මීට වර්ෂ 30කට ඉහතදී හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත කුරැණෑගල ව්‍යාපාරිකයකුට මෙය බදු දී තිබුණා.

එම ස්ථානය හෝටලයකට වඩා මත්පැන් අලෙවි කරන ස්ථානයක් හා ගණිකාවන් අලෙවි කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවත්, පසුව එම ස්ථානය නැවතත් බදු ගිවිසුමෙන් ඉවත් වී නගර සභාවට පවරාගත් බවත් නගරාධිපතිවරයා කීවේය.
මෙම ස්ථානයේ පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන සාධක සහිත එයටම නවීන ඉදිකිරීම් ද සම්බන්ධ වූ ගොඩනැගිල්ලකි. නමුත් ජනප්‍රවාද අනුව ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පැරණි රාජසභා මණ්ඩපය පිහිටා ඇත. ඒ අතරම මෙහි මාර්ගය අසල ඉදිකිරීම්වලදී පැරණි ශෛලමය කොටස් ද හමුවී තිබේ.

මෙය පිහිටි ස්ථානයේ ඓතිහාසික වැදගත්කමක් තමන් නොදන්නා බවත් එහි පිහිටියේ අනවසරයෙන් ඉදිකළ බුවනෙක හෝටලය බවත් නගරාධිපතිවරයා පැවසුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වයඹ සහකාර අධ්‍යක්ෂවරයා 2020 මැයි 27දා දරන ලිපිය නගරාධිපතිවරයාට යොමු කර තිබේ. එහි ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැදගත්කම පැහැදිලිව සඳහන් කර ඇත.

පැරණි රාජසභා ගොඩනැගිල්ල ඓතිහාසික වශයෙන් කුරුණෑගල රාජසභාව පැවති ස්ථානය ලෙස සඳහන් වන බැවින් එය පුරාවස්තු ආඥා පනත අනුව පැරණි ස්මාරකයක් ලෙස සැලකිය යුතුය. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හා පැරණි උසාවි ගොඩනැගිල්ල යටත්විජිත සමයේ ඉදිවූ ඒවා බැවින් ආරක්ෂිත ස්මාරක ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැසට් කර තිබේ. මෙම ගොඩනැගිලිවල උපයෝගීතාවය සම්බන්ධයෙන් ඔබ ආයතනය වෙත ඇති යෝජනා ඉදිරිපත් කරන්නේ නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමුකර අවශ්‍ය නිර්දේශ ලබාදිය හැකි බවත්, මෙම ගොඩනැගිලිවල පෞරාණිකත්වය ආරක්ෂා වන ලෙස සංවර්ධන කාර්යයන් සඳහා භාවිත කරන ලෙසත් කාරැණිකව දන්වමි.

මෙතරම් පැහැදිලිව එම ගොඩනැගිල්ලේ ඓතිහාසික වැදගත්කම දක්වා තිබියදී නගරාධිපතිවරයා පවසන්නේ මෙය ඓතිහාසික ස්ථානයක් නොවන බවයි. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමක් මත එය ඩෝසර් කළ බවද ඔහු මාධ්‍යවලට පවසා තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධක්ෂක අතුල සේනාධීර පවසන්නේ අදාළ ප්‍රධාන ගොඩනැගිල්ල කඩා දමන ලෙසට කිසිම ආයතනයකින් ඉල්ලීමක් නොකළ බවය.

මේ අතර පුරාවිද්‍යා ස්ථානයක ගඩොලක් ගැලෙව්වත් හිරේ දමන පසුබිමක මෙතරම් ප්‍රසිද්ධියේ ගොඩනැගිල්ල කඩා දැමුවද, ඒ ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට ද පැමිණිලි කළ ද තවමත් කිසිවකු අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ලෝකයේ අටවැනි පුදුමය බවට පත්ව ඇත. එකිනෙකාට බෝලය පාස් කරනවා හැරෙන්නට මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවක් අපට නොපෙනේ. කුරැණෑගල ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් දේශපාලන රැස්වීමකදී පැවසුවේ නගරාධිපතිවරයාගේ මයිල් ගහකටවත් අත තබන්න දෙන්නේ නැති බවයි. එලෙස අත්අඩංගුවට ගත් යුගය ඉවර බවත් ඔහු පැවසුවේය.

බොහෝවිට අප රටේ සෑම විනාශයකින්ම පසු ඒ ගැන සොයා බැලීමට පත් කරන කමිටුවක් මේ සඳහා ද පත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දීමට කමිටුවක් පත් කෙරිණි. එහි ප්‍රධානත්වය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක විසින් දරනු ලබන අතර, කුරැණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක, මහාචාර්ය ටී.ජී. කුලතුංග, සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටුව විසින් ලබාදෙන ස්ථානීය වාර්තාව 23දා ලබා අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නේය. ඒ අතර මෙම ස්ථානයේ ක්ෂේත්‍ර ගවේෂණ ද අඛණ්ඩව සිදුවන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අප සමඟ කීවේය.

මේක රාත්‍රියේ සිදු කරපු වැඩක්. මෙහි සැඟවුණු යම් අරමුණු තිබෙන බව පේනවා. මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නිශ්චිතව හඳුනාගත යුතුයි. 1980 දශකයේදී ගොඩනැගිල්ලට නූතන ඉදිකිරීම් එකතු කර තිබෙනවා. වැදගත්ම ඉදිරිපස කොටස විනාශ වෙලා නෑ. පිටුපස කොටසට හානිවෙලා. අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අප සමඟ කීවේය. අපට මෙය කඩා දමන බවට කිසිම දැනුම් දීමක් කර නෑ. අපි නැවත මෙය වහාම සංරක්ෂණය කරලා මුල් තත්ත්වයට ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා යුද හමුදාවේ ද සහයෝගය ලැබෙනවා. එය සියයට 95ක් පමණ මුල් ස්වරෑපයට ගෙන ඒමට හැකි බව පරීක්ෂා කිරීමේදී අපට වැටහුණා.

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කළ ස්ථානයක් නොවේ. නමුත් පෞරාණික ස්ථානයක පිහිටි පැරණි ගොඩනැගිල්ලක් නිසා එය පුරාවස්තු ආඥා පනතට යටත් වේ. ඒ අනුව වැරදිකරැවකු අත්අඩංගුවට ගත් විට ඔහුට ඇප ලබා නොදේ. රුපියල් 50000 – 250000 දක්වා දඩයක් හෝ වසර 2 – 5 දක්වා සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ ලබාදිය හැකිය. නමුත් පුදුමයක මහත! තවමත් කිසිදු සැකකරැවෙක් පොලීසියට හසුවී නැත. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ කිසිදු සැකකරැවකු අත්අඩංගුවට නොගෙන කමිටු පත් කිරීමෙන් සිදුවන්නේ වැඩේ දියාරැ කිරීමක් පමණක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලද පැමිණිල්ලට අනුව කුරැණෑගල මහනගර සභාවට එරෙහිව කුරැණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරැණු වාර්තා කළ බවයි. 

අදාළ පුරාවිද්‍යා ස්ථානයේ සම්පූර්ණ ඉතිහාසය, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු ආකාරය, ඊට අදාළ නිර්දේශ ආදිය සඳහන් කර මේ පිළිබඳ මූලික වාර්තාව සකස් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ ස්ථානය හෝටලයක් සඳහා බද්දට දීම ගැන ද චෝදනා එල්ල වේ.

පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන බද්දට කුලියට දෙන්න පුළුවන්. ඒ විදිහට කුලියට දුන් ස්ථාන රුසක් ලංකාවේ තිබෙනවා. කොටුවේ ඕලන්ද රෝහල අද භෝජනාගාරයක් විදිහට පවත්වාගෙන යනවා. ඒ විදිහට උදාහරණ දහසක් පමණ අප රටේ තිබෙනවා. ඊට හේතුව තමයි අපට දෙපාර්තමේන්තුවක් විදිහට මේ ස්ථාන නඩත්තු කිරීමට නොහැකි වීම. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

යාපහුවේ පැවති රාජධානිය කුරැණෑගලට රුගෙන යන්නේ ක්‍රි.ව. 1293 දී දෙවැනි බුවනෙකබාහු රජු විසිනි. ඔහු දන්ත ධාතුන් වහන්සේ ද අගනුවරට වැඩමවා පුද සත්කාර කළේය. ඇතුගල පාමුල රජ මාලිගා සංකීර්ණය පිහිටුවා ගත්තේය. වර්ෂ 1293 සිට 1341 දක්වා අවුරැදු 48ක කාලයක් කුරැණෑගල රටේ අගනුවර වශයෙන් පැවතුණි. දෙවැනි බුවනෙකබාහුගෙන් පසු 4 වැනි පරාක්‍රමබාහු, තුන්වැනි බුවනෙකබාහු සහ පස්වැනි විජයබාහු යන රජවරැ මෙහි රජකම් කළහ.

කුරැණෑගල රාජධානියේ නටබුන් රාශියක් මේ වන විටත් විනාශ වී අවසන්ය. පුරාණ රජ මාලිගය සහ දළදා මාලිගය පැවති ස්ථානයේ 1880 දී ඉංග්‍රීසි දිසාපතිගේ නිල නිවාසය ඉදිකෙරැණි. පසුව එය වයඹ ආණ්ඩුකාර කාර්යාලය බවට පත් විය. පළාත් සභා කාර්යාල සංකීර්ණය ඇත්තේ ද ඒ අසලය. ගල් උළුවස්සක ශේෂ, පැරණි කැටයම්වල කොටස් ආදිය හැරෙන්නට ඉතිරි නෂ්ටාවශේෂ විනාශ වී ගොසිනි. ඇත්කඳ විහාරය, ඉබ්බාගල රජමහා විහාරය, අංගංගල විහාරය, ගලේබණ්ඩාර දේවාලය, විල්බා විහාරය ආදී පෞරාණික ස්මාරක ද නගරය වටා පවතී.

පෞරාණික ගොඩනැගිල්ලේ කොටසක් මේ වන විට ඩෝසර් කර අවසන්ය. එය රටට ඉතා නරක පූර්වාදර්ශයක් සැපයූ සිද්ධියකි. දැන් රටම බලා සිටින්නේ කමිටු වාර්තාව ලැබී එය වැනසූ වගකිවයුත්තන්ට ලබා දෙන්නේ කුමන දඬුවමක් ද යන්නය. අපේ රටේ බොහෝවිට සිදුවන පරිදි මේ කමිටු වාර්තාව ද ජනතාවට හා මාධ්‍යවලට %ආතල්^ එකක් දී හමස් පෙට්ටියට ගියහොත් ඒ ගැන පුදුම විය යුතු ද නැත.

අග්‍රාමාත්‍යවරයාට බාර දුන් ස්ථානීය නිරීක්ෂණ වාර්තාවේ සඳහන් නිර්දේශ

ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදු වී ඇත්තේ පියස්සේ කොටසකට හා සුලු වශයෙන් ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුලුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොලු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇති බැවින්ද, මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති බැවින් සහ සංරක්ෂණය සැලසුම් මීට පෙර සකස් කර ඇති බැවින් ද එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.

මාර්ග සංවර්ධන අධිකාරියට මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස යෝජනා කිරීම.

මෙම විනාශයට වගකිවයුත්තන්ට නීතිමය පියවර ගැනීම.

මෙම විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

 

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02