කොවිඩ් - 19 ඇතුළ සියලු බෝවන රෝග මර්දන රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමට ගනු ලැබූ තීරණය සමඟ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබේ. කොවිඩ් - 19 වෛරසය ඇතුළු රෝග මර්දනයට අදාළ බලතල තමන් වෙත නොපැවරීම සහ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකළ ප්‍රකාශයකට විරෝධතාවය පළකරමින් මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ග දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සිටී.
කොවිඩ් - 19 වසංගතය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟම මෙම මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ දායකත්වය ප්‍රබල ලෙස සෞඛ්‍ය අංශයට ලැබුණි. එය කොරෝනා මර්දනය කිරීමට විශාල ශක්තියක් විය.
“ආරක්ෂිත පරිසරයක් මත ගොඩනගා ඇති සෞඛ්‍ය සම්පන්න ජාතියක්” මොවුන්ගේ දැක්ම වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් - 19 ඇතුළු බෝවන රෝගයන් පාලනය කරනු ලබන්නේ 1897 අංක 3 දරණ නිරෝධායනය ආඥා පනත යටතේදීය.
මෙම පනත 1897 හැදුවත් 1943 නැවත එය සංශෝධනය වෙනවා. එහි 39 වැනි වගන්තියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් (පරීක්ෂකවරු) ලෙස පත්වීමේ ලිපියක් ලබාදිය යුතු වෙනවා. නමුත් එවැනි ලිපියක් මේ වනතුරු කිසිවකුට ලබාදීලා නෑ. 2020 මාර්තු මාසේ විසි පස්වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළා. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තිබුණු බලතලත් කප්පාදු කරලා තිබුණා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවය කරන්නට අවශ්‍ය බලය ලබා දෙන්නයැයි මීට පෙරත් අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් එවැනි බලතලයන් අපිට තවමත් පැවරුවේ නැහැ.” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ දේශයට අදහස් දක්වමින් පැවසීය.
කොවිඩ් වසංගතයත් සමඟ බොහෝ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට ඔවුන්ට සිදුවුණි. සංගමය පවසන පරිදි මෙවැනි කටයුත්තක් සිදු කළේ කිසිදු බලයක් නැතිවමය. කොවිඩ් වසංගතය හේතුවෙන් මාරවිල ප්‍රදේශයේ එක්තරා නිකායක පූජකවරයකු තවත් බොහෝ පිරිසක් ඒකරාශී කර තම දේවස්ථානයේදී කිහිපවතාවක්ම වතාවත් සිදුකර තිබිණි. එය සිදු නොකරන්න යැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් ද කිහිපවතාවක් උපදෙස් ලබාදී ඇත. නමුත් නතර වී නැත. අවසානයේ මහේස්ත්‍රාත් අධිකරණය මාර්ගයෙන් අධිකරණ නියෝගයක් ලබාගත් ඔවුහු නීති මාර්ගයට යොමු වූහ. එහිදී මෙම පූජකවරයා විසින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බලය පිළිබඳව අභියෝගයක් නඩුවේදී ඉදිරිපත් කොට තිබිණි. මේ නිසාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දී ඇති මෙම බලය නිවැරදිව සහ නිරවුල්ව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියද මේ වනතුරු එම බලතල ලබා දී නැත. එබැවින් මෙම බලතල නිසිලෙස ලබා නොගෙන තම රාජකාරි කටයුතු කළ නොහැකි බව මහජන සෞඛ්‍ය නිලධාරීහු පවසති.
“මේ සම්බන්ධව අපි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා තුනක් පැවැත්වූවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟත් මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූවා. මොවුන් මෙම බලතල ලබාදීමට එකඟ වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙයට විරුද්ධ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.
මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරිය සුළුකොට තැකිය හැකි කටයුත්තක් ද නොවේ. ඔවුන් රාජකාරි හයක තම සේවාව දියත් කරති. එනම් බෝවන රෝග මර්දනය සහ බෝ නොවන රෝග පාලනය, ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියක් ඇති කිරීම, පරිසර සෞඛ්‍ය හා කසල කළමණාකරණය, වෘත්තීය සෞඛ්‍ය උපද්‍රව අඩුකිරීම, පාසල් දරුවන්ගේ යහපැවැත්ම හා මහජන සෞඛ්‍ය එන්නත් ආවරණය වැඩි කිරීමට උදව් කිරීම වේ.
“මේ සම්බන්ධව අපි පසුගියදාක මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුණගැහිලා ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ට මෙම ආඥා පනත පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කළාට පසුව ඔවුන් එයට විරුද්ධ නොවීමට එකඟ වුණා. නමුත් එදින සවස් භාගයේදී මෙම බලය පවරන්නට උත්සාහ ගනිද්දී එම ක්‍රියාවලිය නවතා දමන්නට ඔවුන් උත්සාහ ගත්තා. අවසානයේදී ඔවුන් මෙම බලය ලබාදීම ප්‍රතික්ෂේප කළා.” යැයි උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.
මේ අනුව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු තත්ත්වය විසඳී නැත. ඒ නිසාම ඔවුන් තම රාජකාරියෙන් ඉවත් වන්නට තීරණය කොට ඇත. බලතල නොමැතිව අභියෝග බාරගන්නට ඔවුහු අකමැත්තක් දක්වති. කොවිඩ් - 19 වසංගතය රට තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වන කාලයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම රාජකාරිය අකුරටම ඉටුකළ බව සභාපතිවරයා පවසයි. එවැනි අවදානම් කාලයේදීත් රාජකාරිය කළ නිලධාරීන්ට පනතේ සඳහන් පරිදි බලතල ලබා නොදීම අසාධාරණ ක්‍රියාවක් බවත් මෙම සාධාරණ ඉල්ලීම දිවයින පුරා සේවය කරන දෙදහස් හත්සිය පනහක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා නොදෙන්නේනම් මේ වනවිට ක්‍රියාත්මක වන “ලෙඩ නිවාඩු” වලට අමතරව තම පිරිසට සහය දක්වන වෘත්තීය සංගම් කිහිපයක් සමඟ එක්ව සාකච්ඡා කොට ඉදිරි සතියේදී පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමටත් තීරණය කොට ඇති බවත් උපුල් රෝහණ පවසයි.
කෙසේ වුවද කොවිඩ් රෝගය ව්‍යාප්තිය මධ්‍යයේ මැතිවරණයට අදාළ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හරහා අනිසි බලතල ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමකට ලක්නොවන අයුරින් කටයුතු කිරීම සඳහා යැයි සඳහන් කරමින් යෝජනා කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කොට ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සොනාල් ප්‍රනාන්දු විසින් එම යෝජනා ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කොට ඇත. එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා වන පහසුකම් ඔවුන්ට ලබාදීම, අවශ්‍යතාවයන් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලට වෛද්‍යවරුන් වැඩිපුර අනුයුක්ත කිරීම හා කොවිඩ් රෝග පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හට අමතරව අවශ්‍ය වන මානව සම්පත් සඳහා විකල්පයන් හඳුනාගෙන ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සෘජු අධීක්ෂණය හා තාක්ෂණික උපදෙස් මත වහාම සේවයේ යෙදවීම ඇතුළු යෝජනා සඳහන්ය.
දිශානි ජයමාලි කරුණාරත්න