2020 ජුලි 25 වන සෙනසුරාදා

නැති-බැරි අයටත් ගත හැකි කොවිඩ් 19 එන්නතක්

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

වසංගතය ඇරැඹී යාන්තම් මාස 07ක් ගත වූ තැන ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා හමාරය. ඉකුත් සතියේ අග වාර්තා වූයේ 16,000,000ට ආසන්න වූ ලෙසය. මේ වන විට ලොව රට-රාජ්ජ 213ක් වෛරසයේ ව්‍යාප්තියට නතුව තිබේ. එයින් රටවල් 24කම ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් හමාරය.

ලෝකයේ සොක්කන්ට සේම ලොක්කන්ටත් එක සේ බැට දීමට වෛරසය අමතක කර නැත. ලෝක හිතුවක්කාරයා වූ ට්‍රම්ප් වෛරසය සහ මෙම රෝගය හෙම්බිරිස්සාවක් තරමටවත් ගණනකට ගත්තේ නැත. නමුත් අන්තිමේ ට්‍රම්ප්ට මුකවාඩමක් දමන්නට ද එය ඉකුත්දා සමත්ව තිබුණි. බ්‍රසීල ජනාධිපති බොල්සෙනාරෝ කොවිඩ් 19 තඹයකට නොතැකූවා පමණක් නොව ජනතාවට වැඩට එන්නට යැයි බල කළේය. ඔහු ද මුව ආවරණය ප්‍රතික්ෂේප කළ නායකයෙකි. “පුංචි පහේ-උණක්” හැටියට කොවිඩ් 19ට ඔච්චම් කළ ඔහු ද දැන් ආසාදිතයෙකි. එසේම මේ වන විට බ්‍රසීලය කොවිඩ් 19 වසංගතයෙන් තදින්ම බැට කන රටකි. එය දෙවැනි වන්නේ ඒ හා සමානවම කටමැත දෙඩවූ අමෙරිකාවටය. ඒ මදිවාටදෝ බ්‍රසීලයේ ආදිවාසී ජනතාව අතර වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

ඇති - හැකි අයට එන්නතක්!

ලෝකයට ගිය සතියේ සැනසුම් සුසුමක් හෙළන්නට අවස්ථාව උදා වූයේ කොවිඩ් 19 සඳහා සාර්ථක එන්නතක් සොයා ගත් බවට පළවූ ආරංචියත් සමගිනි. මේ ආරංචිය ආවේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙනි. එය කොවිඩ් 19 වෛරසය සඳහා කලින්ම සිරුර සකස් කරන එන්නතකි. පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් මූලික  අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු මෙම එන්නත මගින් නිපදවන බවය. මෙම එන්නත හඳුන්වන්නේ AZD1222 නමිනි. එය නිපදවා තිබෙන්නේ චිම්පන්සියන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරලීමට හේතුවන පොදු වෛරසයක් වන  දුබල කරන ලද adenovirus යොදා ගැනීමෙනි. කොවිඩ් 19 වෛරස ලක්ෂණ ඇතුළත් කර තැනූ මේ ව්‍යාජ වෛරසයට එරෙහිව මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වී ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වී තිබේ. මූලික පරීක්ෂණ සාර්ථක වීමත් සමඟ පුළුල් සායනික අධ්‍යයන ඉදිරියටත් සිදු කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂාවෙන් සිටිති. එන්නත කළු ද සුදු ද කියා දැනගන්නටත් පෙරම එක්සත් රාජධානිය දැනටමත් එන්නත මාත්‍රා මිලියන සියයක් ඇණවුම් කර ඇත. ඒ අනුව ඉහළ ඉල්ලුමක් සහිත වන ලකුණු පෙන්වන මේ එන්නත ඇති හැකි අයට පමණක් හිමි විය හැකි සුඛෝපභෝගී භාණ්ඩයක් වන ලකුණු දැනටමත් පෙන්වා හමාරය.

නැති බැරි අයට ඉන්දියාවෙන්!

මේ අතර ඉන්දියානු ඖෂධ නිෂ්පාදන සමාගමක් මේ එන්නත හුදීජනයා සඳහා තොග වශයෙන් නිපදවීමට ලකලැහැස්ති වී සිටියි. ඔක්ස්ෆර්ඩ් අවසන් පර්යේෂණ මගින් එන්නත දීර්ඝකාලීනව ඵලදායකත්වයක් ලබාදෙන බව සනාථ වූ වහාම ඔවුන්ගේ අනුමැතිය ලබා එහි අඩු මිල මාදිලියක් නිපදවීම ඔවුන්ගේ අරමුණයි. සාමාන්‍ය ජනතාවට දැරිය හැකි රුපියල් 1000කට අඩු මුදලකට මෙය ලබාදීම ඉන්දියානු සමාගමේ අරමුණයි. එසේ වුවද එහි සාර්ථකත්වය රඳා ඇත්තේ ද ඔක්ස්ෆර්ඩ් ඇතුළු බටහිර ඖෂධ අධිකාරීන්ගේ කරුණාව මතය.

මෙම එන්නතට අමතරව තවත් එන්නත් 2ක් ගැන බලාපොරොත්තු තැබිය හැකි ලකුණු පහළ වී ඇත. මෙයට මාස 7කට පෙර මුලින්ම රෝගය කලඑළි බැස්ස චීනය ද මේ සඳහා එන්නතක් සකසා තිබේ. එම එන්නතේ මූලික අත්හදා බැලීම් මේ වන විටත් චීන සමාගම් විසින් අවසන් කර තිබේ. එහි අවසාන අත්හදා බැලීම් ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට යෝජිතය. ඒ අනුව නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට මේ වසර අවසානය වන විට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ. 
මේ අතර චීන සමාගමක් සමඟ ඒකාබද්ධව බ්‍රසීලය නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර ඇත. මෙම අධ්‍යයනය යටතේ ඉදිරි මාස තුන තුළදී බ්‍රසීලයේ ප්‍රාන්ත හයක සෞඛ්‍ය සේවකයන් 9,000කට පමණ කොරෝනාවැක් නමින් හැඳින්වෙන මෙම එන්නත මාත්‍රා දෙකකින් ලබා දීමට නියමිතය.

අසුබ ප්‍රකාශයක්!

ඒ අතරේ එන්නත් සහ ඖෂධ පිළිබඳ අසුභ ප්‍රකාශයක් ලෝකය හමුවට ගෙන ආවේ WOH ප්‍රධානියෙකි. කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් පර්ෙය්ෂකයන් හොඳ ප්‍රගතියක් ලබා ඇති නමුත් 2021 මුල් භාගය වන තෙක් ඒවායේ පළමු භාවිතය අපේක්ෂා කළ නොහැකි බව මෙයින් කියැවිණි. එසේ කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන්ය. ඔහු  පැවසුවේ මෙම එන්නත සංවර්ධනය කිරීම මන්දගාමී වුවද ආරක්ෂාව සඳහා වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා එය ලබා දීමට පෙර ආරක්ෂිත හා ඵලදායී ද යන්න තහවුරු කර ගැනීම සඳහා සෑම පූර්වෝපායක්ම ගෙන ඇති බව සහතික කිරීම  අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව 2021 මුල් භාගයට පෙර කිසිදු සර්ව සාර්ථක එන්නතක් අපේක්ෂා කළ නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.

හිතුවක්කාර අප්‍රිකානුවා!

ලෝකයේ කොවිඩ් 19 දරුණු ලෙස පැතිර යාමට මූලික හේතුව වී ඇත්තේ මිනිසුන්ගේම නොසැලකිලිමත් බවය. ඒ සඳහා කදිම උදාහරණය දකුණු අප්‍රිකාවයි. කොරෝනා ආසාදිතයන් +408,052, සහ මරණ +6,093ක් මේ වන විට වාර්තා වී ඇති දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහාද්වීපයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන අතරින් අඩකටම උරුමකම් කියයි.
කොවිඩ් හැදුණු දකුණු අප්‍රිකානු කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් ද රෝහල්ගත කර තිබේ. දකුණු අප්‍රිකානු කම්කරු ඇමැති ලෙස කටයුතු කරන 61 හැවිරිදි තූලස් නෙක්සීසි සහ ඛනිජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන 65 හැවිරිදි ග්වේඩ් මන්තෂේ එම අමාත්‍යවරුන් දෙදෙනායි. එරට සෞඛ්‍ය සේවකයන්ගෙන් පිරිසකට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එරට ඇති සීමිත සෞඛ්‍ය සම්පත් හේතුවෙන් ඔවුනට මේ අභියෝගයට මුහුණ දීමට ඉතා අපහසු කාර්යයක් වී තිබේ. මේ රටට පිහිට වීමට කියුබාවෙන් ස්වේච්ඡා වෛද්‍යවරු පිරිසක් ද පැමිණියහ.

දකුණු අප්‍රිකාවේ කොවිඩ් රෝගය පැතිර යන ආකාරය අනුව සමස්ත අප්‍රිකාවේ එම වෛරසය පැතිර යාමේ මූලය එරට යැයි හැඟී යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳුදා (20දා) අනතුරු ඇඟවීය. අප්‍රිකාවේ රෝගය වේගයෙන් පැතිරීම ගැන තමන් කනස්සල්ලට පත් වී සිටින බව එම සංවිධානයේ හදිසි ආපදා ප්‍රධානී මයිකල් රයන් කීවේය. පැය විසි හතරක් ඇතුළත එරට කොරෝනා ආසාදිතයන් 13,449ක් වාර්තා වීමත් සමගිනි. එරට රෝගය ආසාදනය වන වේගය වැඩිය.
බොහෝ දකුණු අප්‍රිකානුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සනීපාරක්ෂක සහ දුරස්ථභාවයන් පිළිබඳ නියමයන්ට අනුගත නොවීම මේ තත්ත්වයට හේතු වී යැයි නොබෙල් සාම ත්‍යාගලාභී එරට හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා පවසා ඇත. 

ප්‍රජාව අතර දුරස්ථභාවය අඩුවෙන් දක්නට ලැබීමත්, ඇතැම් විට කිසිසේත්ම දක්නට නොවීමත්, මුඛ ආවරණ නිසි පරිදි භාවිත නොකිරීමත්, නිසි පරිදි අත් සේදීමට පහසුකම් යොදා නොතිබීමත් රටේ වසංගතය පැතිරීමට ප්‍රධාන ලෙස බලපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී තිබේ. ජනතාව තුළ ඇති මේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත නොවන හිතුවක්කාර ස්වභාවය මේ ඛේදවාචකයට මුල්ව ඇති කාරණාවයි.

අපේ අසල්වැසි ඉන්දියාව ලෝක කොවිඩ් 19 වසංගතයේ 3 වැනි ප්‍රධාන ගොදුරයි. එරට ඇත්තේ ද සෞඛ්‍ය රෙගුලාසි තඹයකට නොතකන ජනතාවකි. මීටරේ සෙන්ටිමීටරේට දමා මුහුණු ආවරණ ගැන නොතකා යන යන තැන පොදි කන ජනතාවක් එහි වෙසෙති. කිව්වා නාහන මේ පිරිස නිසා දැන් ඉන්දියාවට එහි වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට පත්ව තිබේ. එහි මරණ +30,645 කි. ආසාදිතයන් +1,288,130 කි. මේ වන විට ලංකාව තුළ ද මේ නොසැලකිල්ල පැතිරගොස් ඇති අයුරු කැපී පෙනෙයි. ආසාදිතයන් +2,753ක් පමණක් වාර්තා වී මරණ 11කට සීමාවී ඇතත් රටේ ජනතාව තුළ පැතිර යන මේ මුරණ්ඩු හිතුවක්කාර ස්වභාවය රටත් ආර්ථිකයත් ආගාධයට ඇද දමන සුළුය. ලෝකයේ විශිෂ්ටම සෞඛ්‍ය සේවයත් කැපවී ක්‍රියා කරන ආරක්ෂක අංශත් තමන් වෙනුවෙන් කොවිඩ් සටනට එළැඹ සිටිද්දී, ඒ කිසිවක් මායිම් නොකර ඉකුත් සති අන්තයේ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි සහ අපරාධ සඳහා අවශ්‍යව සිටි කොරෝනා ආසාදිතයකු අයි.ඩී.එච් රෝහලෙන් පලා ගිය අයුරු වාර්තා වූවාක් මෙන් අපේ සමහරු සිටින්නේ සෞඛ්‍ය රෙගුලාසි තඹයකට නොතකන මානසිකත්වයකය. එයින් අන්තිමේ මහා වසංගතයකට ගෙදර එළිපත්තටම දොර හැර දෙන්නේ අපමය. එවිට අපට අත්වන්නේ ද හිතුවක්කාර අප්‍රිකානු රාජ්‍යයට අත්ව ඇති ඉරණමමය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02