හිටපු ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
2020 මහ මැතිවරණය වෙනුවෙන් මේ වෙද්දී ඔබ රට පුරාම වගේ සංචාරය කරනවා. මැතිවරණ ජයග්‍රහණය හෝ පරාජය ගැන ඔබට දැනෙන්නේ කොහොම ඉවක්ද?
මගේ ඉවේ හැටියට නම් විශාල ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් බව මම විශ්වාස කරනවා. එජාපය දෙකඩ වීමෙන් ලොකු අර්බුදයක් ඇතිවුණා. රනිල් පිල හා සජිත් පිල ආණ්ඩුවක් දිනාගැනීමේ පදනමට තරග කරනවා වෙනුවට සිරිකොත දිනාගන්න තරග කරන්නේ. ඒ අය දැන්ම ඉන්නේ පරාජිත මානසිකත්වයකින්. ඒ අය කතා කරන්නේම රජය අල්ලන්න නෙවෙයි සිරිකොත අල්ලන්න. නායකයෝ එහෙම දඟලද්දී ගෝලයන්ගේ මානසිකත්වය නිකම්ම වැටෙනවා.
ඔබගේ අත්දැකීම් අනුව ආණ්ඩුවට ඇති අවාසි තැන් මොනවද?
අපි යන්නේ අපිට ශක්තිමත් ජන පදනමක් තියෙන තැන්වලට. යාපනයට අපි ගියේ නෑ. මොකද එතන තියෙන්නේ දුර්වල ජන පදනමක් බව අපි දන්නවා. වවුනියාවේ අපේ ඉතා හොඳ අපේක්ෂකයෙක් ඉන්න නිසා වවුනියාවේ ජන පදනම ගැන අපට විශ්වාසයක් තියෙනවා. නැගෙනහිර ප්‍රදේශයේ අපිට එතරම් වාසියක් නෑ.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට දැන් මාස අටක් පමණ වෙනවා. මාස 5ක විතර කාලයක් ආණ්ඩුවට කොරෝනා රෝගය විසින් නිර්මාණය කළ බරපතළ අර්බුදය සමඟ ගැටෙන්න සිදු වුණා. මේ මාස අට ඇතුළත මතු වූ ඇතැම් දේශපාලන සිදුවීම්වල වාසි - අවාසි ඔබ කිරා මැන බලන්නේ කොහොමද?
යම් යම් සිද්ධි නිසා ඇතිවෙච්ච අවාසි සහගත තත්ත්වයකුත් තියෙනවා. හුඟාක් මිනිස්සු හැමදෙයක් ගැනම ගැඹුරින් හිතා අවබෝධයකින් ඉන්නේ. එ.ජා.පය මොනවා කීවත් හුඟාක් මිනිස්සු රවට්ටන්න අමාරුයි.
ඔබලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින්වෙලා අලුත් පක්ෂයක් හැදුවා. ඒ වගේම එ.ජා.පයෙන් කණ්ඩායමක් ඉවත්වෙලා වෙනම පක්ෂයක් හැදුවා. ලංකාවේ අලුත් පක්ෂවලට ඉඩ තියෙනවා කියලා මතයක් තියෙනවා. මේ අලුත් පක්ෂය ඔබට අභියෝගයක් වෙන්නෙ නැද්ද?
දැනට නම් එහෙම කිසිම අභියෝගයක් පෙනී යන්නේ නෑ.
සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවේදී දෙන සමහර පොරොන්දු ඔබ කලින් දුන්න පොරොන්දුවලට සමානයි. අපි රට ජාතිය ආරක්ෂා කර ගන්නවා කියන පොරොන්දුව ඔහු නිතර දෙනවා?
ආයි සජිත්ට අලුතින් ආරක්ෂා කරන්න රට ජාතියක් නෑ. අපි රට ජාතිය ආරක්ෂා කරලා ඉවරයි. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා කොටින්ට තුවක්කු සල්ලි ඔක්කොම දීලා නඩත්තු කරලා අවුලපු යුද්දෙ අපි ඉවර කරලා රට රැක්ක බව සජිත්ට අමතක ඇති. ටී.එන්.ඒ. ප්‍රතිපත්ති ප්‍රකාශයයි සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි අතරත් තියෙනවා ලොකු සමානකමක්. මම හිතන්නේ නෑ ඒවා නොසලකා හරින්න තරම් ජනතාව මෝඩ වෙයි කියලා. සජිත් කියනවා රුපියල් 20000ක් පීඩිත පවුලකට දෙනවා කියලා. කොහොමද ඒක කරන්නෙ. එයා නිකම් ගෙවල් දුන්නා. මිනිස්සු ගිහින් පදිංචි වුණා. දැන් මිනිසුන්ට ගෙවල්වලට මාසිකව පොලියත් එක්ක ගෙවන්න කියලා බිල් එවනවා.
සජිත් කියනවා ඔහුට චෝදනාවක් තියෙනවා කියලා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් අයථා විදිහට පරිහරණය කිරීම ගැන. ඒත් ඔහු කියනවා ඒවා ඔහු වැය කළේ පන්සල්වලටයි සංස්කෘතිය දියුණු කරන්නයි කියලා?
බොරු... සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පාලම් හා ගෙවල් හදන්න වියදම් කළා. මමනේ දැන් ඔය විෂය භාර ඇමැති.
සජිත්ගේ මේ මුදල් පරිහරණයට එරෙහිව නීතිමය පියවරක් රජය විසින් ගන්නද යන්නෙ?
අපිට වෙලාවක් නෑ මිනිසුන්ගෙන් පළිගන්න. අපිට ඇත්තටම තියෙන ප්‍රශ්නය ඒකයි. මොකද අපිට ඊට වඩා වැඩ තියෙනවා. හැබැයි 2015 යහපාලන ආණ්ඩුව නම් ආණ්ඩුව පත්වී මුල් මාස තුන හතර පුරාම කළේ පළිගැනීම් හා අත්අඩංගුවට ගැනීම්. බල්ලෙක් අපි සපා කෑවට අපි බල්ලව සපා කන්නෙ නෑනේ.
ඔබලා ඡන්ද වේදිකාවට ගිහින් 2/3ක බලයක් ඉල්ලනවා. 2/3ක බලයක් අවශ්‍යයි කියන්නෙ ව්‍යවස්ථාව වෙනස් කරන්න. ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මූලික අරමුණ කුමක්ද?
අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතුයි කියලා මේ වෙද්දි රටේ මතයක් නිර්මාණය වී තිබෙනවා. කොහොමත් මේ ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ව්‍යවස්ථාවේ රටට ගැලපෙන්නෙ නැති වගන්ති තියෙනවා. විශේෂයෙන් 19 වැනි සංශෝධනය වගේ.
මේ රටට කොමිෂන් සභාවලින් වැඩක් නෑ. ස්වාධීන කොමිෂන් සභා බොරුවක් කියලා ඔබලා කියන්නේ ඇයි?
කොහෙද තියෙන්නෙ ස්වාධීන කොමිෂන් සභා. කොමිෂන් සභාවලට පත් කරන්නේ ආණ්ඩුවේ එක් එක් දේශපාලන වුවමනාවන්ට පත් කරන අය. මැතිවරණ කොමිසමේ ඉන්න අයගෙ පවා මොකක්ද තියෙන ස්වාධීනත්වය. අල්ලස් එකේ ඉන්නේ ස්වාධීන අයද? නෑනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත්තම ඒකෙත් ආණ්ඩුවේ අයයි විපක්ෂයේ අයයි ඔක්කොම ඉන්නවා. ජනාධිපතිතුමාට විතරයි කොමිෂන් සභාවලට පත් කරන අයගෙ නම් එවන්න පුළුවන්. බොරැවට ලෝකෙට ස්වාධීනයි කියලා ඇතුළෙන් වෙන්නෙ වෙන දෙයක්. අනිත් එක නුසුදුසු පුද්ගලයන් ස්වාධීන කොමිෂන් සභාව මගින් උසස් පදවිවලට කොච්චර පත් කරලා තියෙනවද?
කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. ලබන වසර වන විට රට ගොඩනගන්න සැලසුමක් තියෙනවද?
මේ අවුරුද්දේ අයවැයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ අයවැය සඳහා අපි සූදානම් වෙනවා. රට මුල ඉඳන් ගොඩනගන්න වැඩපිළිවෙළක් අපි හදනවා.
මුදල් ඇමැතිතුමා විදිහට මෙවර අයවැය ප්‍රධානම ඉලක්කය ලෙස ඔබ ඉදිරිපත් කරන්නේ මොකක්ද?
රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තමා මූලික ඉලක්කය. ඒ කියන්නේ අපි හුඟාක් දුරට යටිතල පහසුකම් සකස් කිරීමට මුල්තැන දී තිබෙනවා.
දඹුල්ලේ එළවළු ටික විකුණගන්න බෑ. ඔය වගේ ස්ථිර විසඳුම් නැති කලින් කලට මතුවෙන ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුම් දෙන්න විදිහක් නැද්ද?
සමහර එළවළු අපිට මැදපෙරදිගට යවන්න පුළුවන්. ඒත් යවන්න ක්‍රමයක් තාම නෑ. අපිට හොඳ විදේශ වෙළෙඳපොළක් නිර්මාණය කර ගන්න පුළුවන්. විදේශ ආයෝජකයන් පුළුවන් තරම් මේ රටට ගෙන්වාගන්න අපි උත්සාහ කරනවා.
රැකියා වියුක්තියට විසඳුමක් ඔබලාගේ ආණ්ඩුවෙන් දෙනවද?
කර්මාන්ත බිහිකිරීම තුළ අපිට රුකියා වියුක්තියට හොඳ විසඳුමක් දෙන්න පුළුවන් වෙයි. අලුතෙන් ටයර් කර්මාන්තයක් හදන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ගම්මිරිස් වගේ දේවල් අපනයනය කරන්න සැලසුමක් තියෙනවා.
ලංකාවේ වැඩිහිටි ජනගහනය 50%කටත් වඩා වැඩියි. රාජ්‍ය. සංස්ථා වැනි ආයතනවල සේවය කරලා විශ්‍රාම ගිය අයගේ ලොකු චෝදනාවක් තියෙනවා එයාලගේ තැන්පතු පොලිය අඩු කරලා කියලා?
නෑ නෑ... ඒක එහෙම නැහැ. ලක්ෂ 15කට 15%ක් පොලී ගෙවනවා.
දැන් තියෙන ඡන්ද ක්‍රමය අනුව මනාප පොරය සෑහෙන්න උග්‍රවෙලා තියෙනවා. ඇයි මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න වුවමනාවක් නැත්තෙ?
ඡන්ද ක්‍රමයේ වෙනස්වීමක් අනිවාර් යෙන්ම සිදුවෙයි. ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියලා මම කීවානේ. ඒ අනුව ඡන්ද ක්‍රමයත් වෙනස් වෙයි. මනාප ක්‍රමය වෙනස් විය යුතුයි කියන තැන මමත් ඉන්නවා. තාත්තා - පුතුන් පවා ඡන්දයට ආවොත් ගහමරා ගන්නෙ මේ මනාප ක්‍රමය හින්දනේ.
කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම ගැන සොයා බලන්න ආණ්ඩුව කමිටුවක් පත් කළා. මොකද්ද ඇත්තටම සිදුවුණේ?
විමර්ශන කමිටුවේ වාර්තාව අනුව එහි අලුතින් හදපු කොටසකුත් කඩලා තියෙනවා. බ්‍රිතාන්‍ය යුගයේ හදපු කොටසකුත් කඩලා තියෙනවා. බුවනෙකබාහු රජු සම්බන්ධ කතාව ජනප්‍රවාදයක් පමණක් කියලත් කියනවා. ඇත්තටම බුවනෙකබාහු රජුගේ මාලිගාව ගැන හොයන්න දැන් කැණීම් පටන්ගෙන තියෙනවා. මේක එජාප රජය හෝටලයකට දුන්නා. මේකෙ වරද තියෙන්නේ එතන. හෝටලයට දුන්නට පසුව එතන වෙන වෙන සිද්ධි වුණා. පැයට කාමර දෙන පැයේ හෝටලයක් වුණා. ඒ හෝටලය නිසා මේ ගොඩනැගිල්ලේ තිබුණු වටිනාකම ගැන හැඟීම මිනිසුන්ගේ ඔළුවෙන් ගියා.
නගර සභාව පාර හදන්න කියලා මේ ගොඩනැගිල්ලෙ කොටසක් කඩලා දාලා. ඇත්තටම නගරාධිපති නෙවෙයි මේකට නියෝගය දීලා තියෙන්නේ වැඩ පාලකයා. පුරාවිද්‍යාව පැත්තෙනුත් වරදක් කරලා තියෙනවා. මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කරලවත් අඩුම වශයෙන් මෙතන බෝඩ් එකක් ගහලවත් නෑ.
ඔබගේ දේශපාලන ඥානයට අනුව කුරුණෑගල පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරයට මෙය බලපෑමක් වී නැද්ද?
විපක්ෂය උත්සාහ කරනවා ලොකු මතයක් හදන්න ආණ්ඩුවට විරුද්ධව. එයාලට අමතකයි මේක හෝටලයකට දුන්නෙ එයාලගේ ආණ්ඩුවක් කියලා.
ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් මහ මැතිවරණයට ඔබලා වෙනම අලුත් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළේ නෑ. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න දක්ෂකම් ඇති කැබිනට් එකක් හදන්න ආණ්ඩුව සැලසුම් කරලද තියෙන්නේ?
ගෝඨාභය මහත්තයා සතුව හැට නම ලක්ෂයකගේ ඡන්දයකින් සම්මත කරගත් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ තමා සෞභාග්‍යයේ දැක්ම. ඒ වැඩපිළිවෙළ නිසා තමා අපි අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැත්තේ.
මෙවර කැබිනට් එකට අලුත් මුහුණු එයිද?
ජනාධිපතිවරයාගෙන් අහන්න ඕනෑ ප්‍රශ්නයක් ඔබ මගෙන් ඇහුවේ.
ඔබ උත්තර නොදන්න ප්‍රශ්නයක් තියෙනවද මේ ආණ්ඩුවේ? ඔබතුමානේ නායකයා?
ජනාධිපතිතුමා තමා කැබිනට් මණ්ඩලය පත් කරන්නෙ. ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයාගේ උපදෙස් මතයි එය කරන්නේ. දක්ෂ කැබිනට් මණ්ඩලයක් අපි හදනවා.
ව්‍යවස්ථාවේ තියෙන්නෙ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ක් විය යුතුයි කියලා. මේ කැබිනට්ටුව 30කට සීමා වෙයිද?
අපි බලන්නෙ ඒ සීමාවෙන් එහාට නොගිහින් ඉන්න.
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය නිතර කියපු කතාවක් තමා රාජපක්ෂ ආණ්ඩුව තියෙද්දි ජාත්‍යන්තරයෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ නෑ කියන එක. චීනයයි ඉන්දියාවයි අල්ලාගෙන රට ගෙනියන්න හදනවා කියලත් ඔවුන් චෝදනා කරනවා?
ජාත්‍යන්තර සහාය අපට නොලැබුණා නම් යුද්ධයක් ඉවර කරන්න පුළුවන්ද? යුද්ධය ඉවර කරන්න එංගලන්තය, අමෙරිකාව, යුරෝපා රටවල් ඔක්කොම සහයෝගය ලැබුණා. ඒ සහයෝගය මත තමා යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කළේ. ඉන්දියාව, චීනය විතරක් නෙවේ ජපානය, කොරියාව සහ බටහිර රටවල් අදටත් අපට උදව් කරනවා. කිසිම බාධා කිරීමක් හිරිහැර කිරීමක් අපට කරලා නෑ දැනට නම්.
ගිය සතියේ එංගලන්ත ඩයස්පෝරාව එංගලන්ත අගමැතිවරයාට කියලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කර තියෙනවා. ඔබ, ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ඇතුළු 36කට යුරෝපයට පිවිසෙන්න, නවාතැන් ගන්න දෙන්න එපා කියලා?
ඉතින් එංගලන්ත අගමැතිතුමා දෙමළ ඩයස්පෝරාවට හා කියලද? හා කීවා නම් තමා ප්‍රශ්නේ. අපි රට නිදහස් කර ගත්තම ඔය ඉතුරැ වී ඉන්න කොටි පැටව් ටික තමා කෑගහන්නේ. දෙමළ කොටි ඩයස්පෝරාවට ලංකාවේ ඉන්න ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල කට්ටියත් උදව් කරනවා.
ඡන්ද වේදිකාවේ කරන කතාබහ දැක්කම අපට හිතෙනවා ඔබලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යම් විරසකයක් තියෙනවද කියලත්?
මනාප යුද්දෙට ගියාම අම්මා තාත්තත් අමතක වෙනවා. එහෙම නැතුව වෙන විරසකයක් නෑ.
ඔබට පැමිණිල්ලක් එහෙම ආවේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්?
නෑ. තාම නම් ආවේ නෑ.
ඔබට සහ ගෝඨාභය ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගන්න කියලා කට්ටියක් කියනවා නේද?
අපි හදාගත්ත පක්ෂයක් තියෙනවනෙ. ඒකෙ නායකයා මමනෙ. පක්ෂ දෙකක නායකයා වෙන්න බෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාරගන්න මගේ කොහොමත් අදහසක් නෑ.
එජාපය දෙකට කැඩුවේ මහින්ද රාජපක්ෂ කියලා එජාප ලොක්කෙක් ඔබට මෑතකදී චෝදනා කළා?
මට තමා ඔය වගේ චෝදනා ඔක්කොම එන්නෙ. 1946 ආරම්භ කරපු පැරැණිම දේශපාලන පක්ෂය දෙකට කඩන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා නම් මම සෑහෙන වැඩකාරයෙක්.
එය කියන ගමන් ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ වේදිකාවේදී ගහන්නේ රනිල්ට මිස සජිත්ට නෙවෙයි කියලා. ඒක ඇත්තද?
මම ඔය දෙන්නටම ගහනවා. සාමාන්‍යයෙන් මම වේදිකාවේදී නම් ගම් කියලා ගහන්නෙ නෑ. වැරදිලා කියවුණොත් මිසක.
විපක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරක් දරන දේශපාලනඥයකුගේ පෞද්ගලික ජීවිතය ගැන ඔබ කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධව මුහුණුපොතේ සිටින උදහස් වූ සමහරුන්ගේ අදහස් අපි දැක්කා. සාමාන්‍යයෙන් ඔබ කෙනකුගේ පෞද්ගලික දේ ගැන කතා නොකරන නායකයෙක්. මොකක්ද ඇත්තටම වුණේ?
ඒකත් එයාලම මුලින් දේශපාලන වේදිකාවෙ කියූ දෙයක්. ඒක දරුවන් සම්බන්ධ කතාවක්නෙ. මම තරම් දරුවන්ට ආදරේ ළෙන්ගතු කෙනෙක් නෑ. ඒක දරුවන්ගෙන් ඇහුවොත් කියාවි. ඒ නිසා දේශපාලන වේදිකාවේ කරන කතාවලින්ම මිණුම් දඬු හදාගන්න එක හරි නෑ. ඊට වඩා දෙයක් මම කියන්නෙ නෑ.
ඔබගේ ගණන් බැලීමේ හැටියට මෙවර මහ මැතිවරණයෙන් ආසන කොපමණ සංඛ්‍යාවක් දිනාගැනීමට හැකි වෙයිද?
තුනෙන් දෙකක බලයක් ලබාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
සටහන: සංජීවිකා සමරතුංග
සේයාරුව: සුමුදු හේවාපතිරණ