2020 ජුලි 25 වන සෙනසුරාදා

හිටිහැටියේ වැඩිකළ බෙහෙත් මිල

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 205

අපිත් එක්ක කතා නොකර බෙහෙත් මිල වැඩි කරන්න බෑ
- ඖෂධ නියාමන අධිකාරිය

මේ බෙහෙත්, අධිකාරියේ මිල පාලනයට යටත් නෑ
- ඖෂධ ආනයනකරුවෝ

කලින් කලට මෙරට ඖෂධ සම්බන්ධ අර්බුද නිර්මාණය වීම සාමාන්‍යකරණය වී ඇති සේය. ගුණාත්මක බව මෙන්ම මිල ගණන් පිළිබඳව ද නිතර මතුවන මෙම අර්බුදය සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධව ඛේදවාචකයේ පිළිඹිබුවකි. පසුගියදාක ජාතික ඖෂධ නියාමන පනත උල්ලංඝනය කරමින් ඖෂධ වර්ග දහයක මිල වැඩි කළ සමාගම් පහක ලියාපදිංචි බලපත්‍ර සහ ආනයන බලපත්‍ර තහනම් කිරීමේ නිවේදන ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ සමාගම් වෙත නිකුත් කරනු ලැබුවේ ද මෙරට ඖෂධ අර්බුදයේ දිගුවක් ලෙසිනි. ඒ අනුව  ඊට අදාළ සිදුවීම් පෙළ විමසා බැලීමට අපි තීරණය කළෙමු. 

කොරෝනා ලොක්ඩවුන් සමය තුළ ඖෂධ සම්බන්ධව මහජන අවශ්‍යතාව සපුරාලීම ඉතා සංකීර්ණ කටයුත්තක් වූ අයුරු අපි දුටුවෙමු. මීට සමගාමීව ඇතැම් ඖෂධ වර්ගවල හිඟයක් ද නිර්මාණය විය. කෙසේවෙතත් වර්තමාන සංවාදයට තුඩු දී ඇති ඖෂධ වර්ග කිහිපයේම මිල ගණන් ඉහළ ගියේ ද එසමයේදීය. මිල ඉහළ දැමූ ඖෂධ වර්ග අතර සෙම්රෝග, රුධිර පීඩනය, අපස්මාරය, ස්නායුගත රෝග, දිලීර රෝග  ආදියට ලබාගන්නා ඖෂධ ප්‍රමුඛ විය. ඊට අමතරව විෂබීජනාශක වර්ග ද මීට ඇතුළත්ය. ඉහළ මහජන අවශ්‍යතාවක් මෙම ඖෂධ වර්ග සඳහා වන බව බැලූ බැල්මට පැහැදිලිය. නමුත් කොරෝනා අර්බුදය සමය තුළ මේ හා සම්බන්ධව විශේෂ අවධානයක් නොවුණි. 

එනමුත් ඖෂධ නියාමන අධිකාරිය පවසන පරිදි ඔවුන් අදාළ සමාගම්වලට මෙම මිල ඉහළ දැමීම සම්බන්ධව අනතුරු අඟවා ඇත. එම සමාගම් ඒ හා සම්බන්ධ නිසි අවධානයක් දක්වා නොමැත. ඒ හේතුවෙන් පසුගිය ජූලි 17 වැනිදා එම අධිකාරිය දැඩි තීරණයකට එළැඹිණි. ජාතික ඖෂධ නියාමන පනත උල්ලංඝනය කරමින් ඖෂධ වර්ග දහයක මිල වැඩි කළ සමාගම් පහක ලියාපදිංචි බලපත්‍ර සහ ආනයන බලපත්‍ර තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනුම්දීම් සිදුකර තිබිණි. 
අප වෙත වාර්තා වන පරිදි මේ වන විට ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා මිල පාලනයට යටත් නොවන ඖෂධ වර්ග දහයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඔවුන් පෙන්වා දී ඇත. එසේම ඔවුන් සඳහන් කර ඇත්තේ සමාගම් මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කර නොමැති බවයි. මෙම සංකීර්ණ තත්ත්වය තුළ අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ සම්බන්ධ කර ගතිමු. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අදාළ පනතක් තිබෙනවා. ඊට අනුව අපේ වගකීම තමා ඖෂධවල ආරක්ෂිත බව, ගුණාත්මක බව, නිවැරදි ක්‍රියාකාරීත්වය සහ දැරිය හැකි මුදලකට සැමටම ලබාගත හැකි බව තහවුරු කිරීම. ඒ සඳහා අධිකාරිය තුළ වෙනම ප්‍රයිසිං කමිටි එකකුත් පිහිටුවලා තියෙනවා. අපි අලුතින් පටන් අරගෙන තියෙනවා හැම ඖෂධයක්ම ලියාපදිංචි කිරීමේදී ආරම්භක මිල තීරණය කිරීමට. අපි සමාගම් එක්ක කතා කරලා මිලක් දෙනවා. ඒ මිලට තමා අදාළ ඖෂධ ලංකාව තුළ විකිණීම සිදුවෙන්නේ. 

මීට අමතරව අපි පසුගිය කාලේ ඖෂධ කිහිපයක මිල පාලනය කරලා ගැසට් එකක් නිකුත් කළා. අනෙක් ඖෂධ කිසිම එකක මිල වැඩි කරන්න බෑ කියලත් නියෝගයක් නිකුත් කරලා තියෙනවා අපේ ආයතනයත් එක්ක කතා කරන්නේ නැතුව. පසුගිය කෝවිඩ් සමයේ මිල ගණන් වැඩි කිරීම සම්බන්ධව අපිට ගොඩක් පැමිණිලි ආවා. අපි ඊට අදාළ ආයතනවලට දැනුම් දුන්නා මේ තත්ත්වය නිවැරදි කරන්න කියලා. නමුත් ඔවුන්ගේ නිවැරදි කිරීමේ වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඇහුම්කන් නොදීම නිසා අපි නීතිය ක්‍රියාත්මක කරනවා. 

අපිට නීත්‍යානුකූල බලය තියෙනවා ලියාපදිංචිය අහෝසි කරන්න. අවසරය නැතුව මිල ගණන් වැඩි කළ සමාගම්වලට අදාළව තහනම් කිරීමේ දැනුම්දීම නිකුත් කරලා තියෙනවා. තාම තහනම් කිරීම කරලා නෑ. මාසයක් ඇතුළත ඔවුන් අපිට පැහැදිලි කිරීමක් කරලා මිල ගණන් අඩු කිරීම සිදු නොකළහොත් අපි තහනම් කිරීම සිදු කරනවා.

කෙසේ නමුත් සෑම ආනයනකරැවකුම ඩොලරයට සාපේක්ෂව වාර්ෂිකව ඖෂධ මිල සාමාන්‍ය මට්ටමින් ඉහළ දමන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි. ඖෂධ සඳහා මිල සූත්‍රය හඳුන්වා දෙන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය අවස්ථා කිහිපයකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා ඇති බවද පවසයි. කිසිදු ඖෂධ සමාගමක් මිල පාලනය කර ඇති ඖෂධ වර්ග 74ට අදාළ  නීතිරීති උල්ලංඝනය කර නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර ඖෂධ මාෆියාවට එරෙහිව දිගින් දිගටම පෙනී සිටි සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සංජය පෙරේරාගෙන් ද මේ සම්බන්ධව අපි විමසීමක් කළෙමු. 
මේ බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලනයක් යටතේ ආපුවා නෙවෙයි. නමුත් මම පෞද්ගලිකව හිතනවා කෝවිඩ් සමයේ මේ සමාගම් ඖෂධ මිල ඉහළ දැමීම අසාධාරණයි කියලා. කොහොම වුණත් අධිකාරියට මේ වගේ තීරණයක් ගන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා ද කියන එක ගැටලුවක්. පසුගිය සමයේ හොර සමාගම්වලට අවුරුදු දෙක තුනක් ඇති තරම් වංචා කරන්න මේ අය ඉඩ දුන්නා. ඉතාම මෑතක  එක් ඖෂධ ටෙන්ඩරයක දී එක් ඖෂධ වර්ගයක් රුපියල් තිස් හතරකට  ලියාපදිංචි නොකර රුපියල් හැත්තෑ හතරක මිලකට ඒ ටෙන්ඩරය ප්‍රදානය කළා. ලංකාවට රුපියල් මිලියන හතළිස් හතක පාඩුවක් වුණා. මේවා විවිධ උපක්‍රම භාවිත කරලා ඇතැම් අය කරන දේවල්. ඒ නිසා අධිකාරියේ තීරණය සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. 

ආසන්නතම සිදුවීම ඔස්සේ කළ මෙම සොයා බැලීමේ දී මෙම සමස්ත පද්ධතියේම ඇති ගැටලු රුසක් අප හමුවේ අනාවරණය විය. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඇමතූවෙමු.  එහිදී අදහස් දැක්වූ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා විශේෂ කරුණක් මතු කළේය.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සීයට සීයකින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ ප්‍රතිපත්තියේ අර්ධ වශයෙන් කොටස් අරගෙන තමා හැමෝම මේ ප්‍රශ්නය විසඳන්න හදන්නේ. එහෙම වුණාම මිනිසුන්ට අනතුරු වෙනවා වැඩියි. මේ ප්‍රතිපත්තියේ කොටස් පහයි තියෙන්නේ. ඒත් ගොඩක් අය ක්‍රියාත්මක කරන්නේ එකක් හෝ දෙකක්. මිල ප්‍රශ්නය, ඖෂධ හිඟය එන්නේ ඒ නිසා. තාම ඖෂධ ඒකාධිකාරය කියන එක නැතිවෙලා නෑ. නිශ්චිත වැඩපිළිවෙළකට ආපු දවසක තමා මේ ඔක්කොම විසඳන්න පුළුවන්.
වචනාර්ථයෙන්ම මෙය විශාල මාෆියාවක් බව අප හට ප්‍රත්‍යක්ෂය. ඛේදවාචකය නම් සරණ ජීවිතවල වේදනා කඳුළු මතින් මෙම මාෆියාව ක්‍රියාත්මක වීමය. 

 චමිඳු නිසල් ද සිල්වා