2020 ජුලි 18 වන සෙනසුරාදා

ජනතාව තෝරන කෝටි පහේ මන්ත්‍රීලා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

2020 පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 5 වැනි දින පැවැත්වීමට නියමිතය. ලෝකයේ කරකැවීම නතර වුවහොත් හැර අන් කිසිදු හේතුවක් මත මැතිවරණය අවලංගු නොකරන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ. මෙවර මැතිවරණය සඳහා කෝටි 1000ක් පමණ වැයවෙතැයි ඔහු සඳහන් කරයි. මෙතරම් විශාල මුදලක් වැය වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මන්ත්‍රීවරැන් එකසිය අනූ හය දෙනකු පත්කර ගැනීම සඳහාය. (ඉතිරි පිරිස ජාතික ලැයිස්තුවෙන් පත් කෙරේ) ඒ අනුව එක් මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීම සඳහා රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කිරීමට සිදු වේ.

ජනතා අපේක්ෂාව රටට සේවයක් කළ හැකි, රටේ මුදල් හොරකම් නොකරන, දූෂණයෙන් තොර අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමය. එහෙත් පසුගිය කාලය පුරාවටම සිදුවූයේ කෝටි පහක් වැය කර පාර්ලිමේන්තුවට යවන මහජන අපේක්ෂකයා ජනතා  අපේක්ෂා සුන් කර දැමීමය. පසුගිය දිනවල 225ම අපට එපා යනුවෙන් ප්‍රකාශ කිරීමට ජනතාව පෙළඹුණේ ඔවුන් කෙරෙහි ඇති දැඩි කලකිරීම නිසාය. ජනතාවට සේවය කරන සුළු පිරිසක් සිටිය ද වැඩි පිරිසකගේ අරමුණ තම මන්ත්‍රී ධුරයේ, ඇමති ධුරයේ ආනුභාවයෙන් හැකි තරම් ධනය උපයා ගැනීම බව  ඡන්දදායකයන් වැඩි පිරිසකගේ මතය වී තිබේ. මෙතරම් මහජන මුදල් ප්‍රමාණයක් වැයකොට අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට තෝරා යැවීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් PAFFREL සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. 
මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම කෝටි 1000ක් වැය කරනවා. මේ මුදල වැය කරන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 196 දෙනකු පත් කර ගැනීම සඳහායි. ඒ අනුව එක් නියෝජිතයකු සඳහා මහජන මුදල් කෝටි 5.1ක් වැය වෙනවා. මේ තරම් වියදමක් දරා ජනතාව පාර්ලිමේන්තුවට යවන නියෝජිතයාට වැටුපක් ලැබෙනවා. කාර්ය මණ්ඩලයක් ලැබෙනවා. ඔවුනට රජය වැටුප් ගෙවනවා. ඇමැතිවරයකුට නම් තවත් විවිධ වරප්‍රසාද ලැබෙනවා. පැමිණීමේ දීමනාව ලැබෙනවා. ලක්ෂයක පමණ මුද්දර ලැබෙනවා. කෝටි තුන හතරක් වටිනා වාහන පර්මිට් එකක් ලැබෙනවා. නිදහස් වෛද්‍ය පහසුකම්, පාර්ලිමේන්තුවේදී නොමිලයේ ආහාරපාන ලැබෙනවා. මේ සියල්ලටම වැය වන්නේ මහජන මුදල්.

මෙතරම් මුදලක් වැය කොට නඩත්තු කරන මහජන නියෝජිතයන් ජනතාවට අවංකවම සේවය කරනවාද යන්න ගැටලුවකි. මෙලෙස පාර්ලිමේන්තුවට යවන පුද්ගලයා පාර්ලිමේන්තුවේ සැසිවලට නියමිත පරිදි සහභාගි නොවන්නේ නම්, තම ඡන්දදායකයාගේ ගැටලු සම්බන්ධයෙන් කිසි දිනෙක කතා නොකරන්නේ නම්, පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැත්තෙක් නම් එවැන්නකු පාර්ලිමේන්තු යැවීමේ ඵලය කුමක්ද?  ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහණ හෙට්ටිආරච්චි,

මේ රටේ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල නොදන්න මන්ත්‍රීවරු පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ හිටියා. නීති සම්පාදනය කරන ස්ථානයට යන්නේ රටේ මූලික නීතියට අදාළ ලියවිල්ල නොදන්න පුද්ගලයින්. එවැනි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපරාධයක්. හැබැයි පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා එවැනි පුද්ගලයන් නොවෙයි. පසුගිය පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් අපට නොදැනුවත්ව විශාල වැඩ කොටසක් කළ 60ක් 70ක් පමණ සිටියා. පාර්ලිමේන්තු කමිටු, තේරීම් කාරක සභා වැනි විවිධ කටයුතුවලට දායකත්වය දුන් පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයෙත් හිටියා. මොවුන් අතුරින් වැඩි පිරිසක් තරුණ අය. රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225න් 100කටත් වඩා අඩු පිරිසක් පමණයි. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් කරන්නේ මඟුල් ගෙවල්, මළගෙවල්වල යෑම, මිනිසුන්ට පොඩි පොඩි ආධාර ලබා දීමේ කටයුතුවලට සම්බන්ධ වීම, ගමේ පාලමක් බෝක්කුවක්, පාරක් සෑදීම වැනි කටයුතුයි. තමන් යම් පුද්ගලයකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නේ එවැනි කටයුතු කර ගැනීමට ද නැතිනම් රටේම සංවර්ධනය සඳහා සහාය විය හැකි දැක්මක් සහිත පුද්ගලයකු ද යන්න මහජනයා තීරණය කරන්න ඕන. අපේ රටේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, මාර්ග, විදේශ වැනි කිසිම දෙයකට පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. ඇමැතිවරයා මාරුවෙනකොට ප්‍රතිපත්තියත් මාරු වෙනවා. මේ රට ඉදිරියට ගෙන යෑමට නම් අවම වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි සිතන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මම කියන්නේ උපාධිධාරීන් යැවිය යුතුය කියන එක නෙමෙයි. ජනතාව පිළිබඳ හැඟීමක් තියෙන, රටේ ප්‍රශ්න පිළිබඳ සංවේදීභාවයක් සහිත, එම ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි පුළුල් පරාසයක අත්දැකීම් සහ දැනුමක් තිබෙන මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතුයි. එසේ නොවන්නේ නම් ඔවුන් සඳහා කෝටි ගණනින් කරන වියදම නිෂ්ඵලයි.

සමාජයට වැඩදායී පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රධානතම වගකීම පැවරෙන්නේ දේශපාලන පක්ෂවලටය. තම පක්ෂයෙන් තරග වදින පුද්ගලයන් තෝරා ගන්නේ පක්ෂය විසිනි. සුදුසු පුද්ගලයන් ලැයිස්තුවලට නොදමන්නේ නම් එහි වගකීම බාරගත යුත්තේ පක්ෂය විසිනි. මේ දිනවල දේශපාලන කරළියේ ප්‍රධාන කතාබහට ලක්ව ඇත්තේ උගත් බුද්ධිමත් හොඳම පිරිස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවටය. එහෙත් එවැනි හොඳම පිරිසක් ඔවුන්ගේ ලැයිස්තුවලට ඇතුළත් කරන්නේ ද යන්න ජනතාවට ගැටලුවකි. 

2015 දී මාර්තු 12 ව්‍යාපාරය කියා සිටියේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේදීම සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට පක්ෂ ක්‍රියා කළ යුතු වන බවටය. එසේ නොවන්නේ නම් ජනතාවට සිදුවන්නේ ඔවුන් ඉදිරිපත් කරන පුද්ගලයන් අතරින් හොඳම පුද්ගලයා පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමටය. විවිධ අයථා ක්‍රමවලින් උපයන ලද මුදල් ඇති ඇතැම් අපේක්ෂකයෝ විශාල වශයෙන් මුදල් විසි කරමින්, මිනිසුන්ට විවිධ අල්ලස් ලබා දෙමින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට යෑමට මග පාදා ගනිති. වර්තමානයේ මැතිවරණයකට තරග කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. විශේෂයෙන් මනාප ක්‍රමය නිසා දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක කටයුතු කිරීමට අපේක්ෂකයන්ට සිදුවේ. ඇතැමුන් ලක්ෂ 1000, 500, වැනි මුදලක් මැතිවරණ සඳහා වැය කරන බව පැවසේ. මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොවේ. වැය කළ මුදල ඉපැයිය යුතුය. ඇතැම් දේශපාලකයන් තම දේශපාලන බලය යොදා ගනිමින් විවිධ අයථා ලෙස මුදල් හම්බකිරීමට පියවර ගන්නා බව රහසක් නොවේ. අතීතයේ සිටි දේශපාලකයන් දේශපාලනයේ යෙදුණේ තමන් සතු දේපළ ද අහිමි කර ගනිමිනි. ඔවුන් දේශපාලනයෙන් කිසිත් උපයා නොගත් අතර පාර්ලිමේන්තු අසුනක් නියෝජනය කිරීම ඔවුන් සැලකුවේ ගෞරවයක් ලෙසිනි. මේ සියල්ල වෙනස් වූයේ 1977 පසුය. එතැන් සිට දේශපාලනය යනු මුදල් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස ඇතැම් පිරිස් සිතා සිටියහ.

රටට අවංකව සේවය කරන පිරිසක් තෝරා යැවීමට පක්ෂ විසින් කටයුතු කළ යුතු වන අතර ඔවුන් අතුරින් ද වඩාත් සුදුසු පිරිස තෝරාගැනීම ජනතාව අයිතියකි. සුදුස්සන් ලැයිස්තුවලට නම් කළ යුතුය යන පෙළඹවීම ඇතිවිය යුත්තේ සමාජය තුළිනි. එහෙත් නුසුදුස්සන්ට නාමයෝජනා හිමි වූ අවස්ථාවන්හි ඔවුන් වැඩිම මනාපයකින් පාර්ලිමේන්තුවට පත්වන්නේ නම්, එවිට දේශපාලන පක්ෂ එවැනි පුද්ගලයන්ට නාමයෝජනා ලබා දීමට වැඩි නැඹුරුවක් දැක්විය හැකිය. ඡන්ද දායකයා සමස්ත දේශපාලනය කෙරෙහිම කළකිරී සිටින බව පැවසුව ද එවැනි පුද්ගලයන් තෝරා යවන්නේ ද ඔවුන්මය. ඔවුන් හුරුවී සිටින්නේ තට්ටුමාරු දේශපාලන ක්‍රමයකටය. තම පක්ෂය කුමන වරදක් කළ ද එය පෙන්වා දීමට ඔවුහු ඉදිරිපත් නොවෙති. එහෙයින්  මෙරට සියලු පක්ෂ තම වැරදි නිවැරැදි කර ගැනීමට උත්සුක නොවන අතර වැඩි මනාප ලබාගත හැකි ඕනෑම පුද්ගලයකු ලැයිස්තුවලට දමා පක්ෂය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අරමුණය. වත්මන් තරුණ ප්‍රජාවේ ද ආකල්පමය වශයෙන් වෙනසක් දැකීම අසීරුය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් හැසිරෙන ආකාරය බලන විට ඔවුන් කෙතරම් සබුද්ධික ලෙස කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව ගැටලුවක් පවතී. 

මේ තත්ත්වයෙන් මිදීම සඳහා රටේ බුද්ධිමතුන් පිරිස මැදිහත් විය යුතුයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහචාර්යවරුන් හා ආගමික නායකයන් වැනි අයගේ මැදිහත්වීමක් අවශ්‍යයි. එහෙත් වර්තමානයේ මේ පිරිස ඉන්නෙත් දේශපාලන කඳවුරු තුළයි. තනතුරු, ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඔවුන් තම කඳවුරේ වැරදි විවේචනය කරන්න පෙළඹෙන්නේ නැහැ. ආගමික නායකයන් සිටිය යුත්තේ දේශපාලන නායකත්වයට වඩා ඉහළින්. ඔවුන් රටේ අභිවෘද්ධිය උදෙසා උපදෙස් දිය යුතු අය. දැන් සිදුවී තිබෙන්නේ එක්කෝ ඔවුන් අපේක්ෂකයන් බවට පත්වෙලා නැතිනම් කිසියම් දේශපාලන කණ්ඩායමක් සමඟ අනුගත වෙලා. සමාජයට මගපෙන්විය යුතු පුද්ගලයන් අද ඉන් බැහැර වෙලා. යි රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.


  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා