2020 ජුලි 18 වන සෙනසුරාදා

නාකොටික් නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කරන්න

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවි සෙනෙවිරත්න බී.බී.සී.යට කියූ කතාව

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බව මෑතකදී විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂකවරයෙක් පවසයි.

ඕනෑම නිලධාරියකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ප්‍රධානියා ඒ බව කියා සිටියේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට එල්ලවන චෝදනා පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමිනි.
ඔහු කලක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව ද කටයුතු කර තිබෙන පළපුරුදු විමර්ශන නිලධාරියෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමේ චෝදනාව මත කාර්යංශයේ පොලිස් නිලධාරීන් 18 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලීසිය පවසන්නේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම පිණිස ක්‍රියාකරන නිලධාරීන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම ජනමාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ද අවධානයට ලක් වී තිබිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් 12ක් අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කෙරෙයි.

• විශේෂ විමර්ශනයක් අවශ්‍යයි

යුක්තිය පසිඳලීම වෙනුවෙන් කැප වූ දක්ෂ විමර්ශන නිලධාරියකු ලෙසින් අධිකරණ ක්ෂේත්‍රයේ කීර්තියක් දිනා සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසන්නේ මෙය අලුතෙන් හෝ අහම්බෙන් මතු වූ තත්ත්වයක් නොවන බවය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ නාමයෙන් කිසියම් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ එයට අනුබල දීම කලක් මුළුල්ලේ සිදු වූ බවට ඔහු චෝදනා කරයි. එබැවින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්යංශය භාරව සිටි සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් අවධාරණය කළේය.
ආණ්ඩුවට විශ්වාසය තැබිය හැකි ස්වාධීන පුද්ගලයකු හෝ කමිටුවක් පත්කොට මාකඳුරේ මධූෂ් සහ වෙලේ සුදා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ගෙන් කරුණු විමසා ජාවාරමේ අග, මුල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසන ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් 2017 දී ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බවය.

2017 මැයි මාසයේ පොලිස් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙක් මියගිය අතර, පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබූහ. “ඒ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරැවෙක් ඉන්දියාවට පැනල ගියේ කාගේ ආධාරයෙන් ද?,” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රශ්න කරයි.

• අධිකරණයේදී හෙළිදරව්වක්

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා බදාදා (ජුලි 08) කොළඹ මහාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත වැටලීම් පිළිබඳ තොරතුරැ එහි ඇතැම් නිලධාරීන් විසින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නැමැත්තාට දෙනු ලැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව ඔහු අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

ඔහු මේ බව අනාවරණය කළේ, ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ වැලිකඩ සිරකරු ඝාතන නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ අරුණ පෙරේරා නමැති පොලිස් කොස්තාපල්වරයකු අදාළ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ බව සාක්ෂිකරු පිළිගත්තේය.
පොලිස් කොස්තාපල් අරැණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැ වෙලේ සුදා අතර ඇතිවූ සංවාදවලට අදාළ හඬපටද විමර්ශනයේදී සොයාගෙන තිබූ බවද වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පැවසීය.

• මත්ද්‍රව්‍ය ජාවාරමේ පසුබිම

පොලිසිය පවසන අන්දමට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම, විශේෂයෙන්ම හෙරොයින් සම්බන්ධයෙන්, විශේෂ අවධානයට බඳුන් වූයේ 1979 දීය.
ඊටඉස්සෙල්ලා මේ හෙරොයින් කියන දෙයක් ලංකාවේ තිබුණේ නැහැ පසුගිය ජූලි 01 වැනි දින මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ඒ වගේම ප්‍රථම වතාවට 1981 අවුරුද්දේ තමයි, හික්කඩුව ප්‍රදේශයේදී හෙරොයින් කියන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ.
ඉන් අනතුරුව ලොව පුරා පැතිර යමින් පැවති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රී ලංකා බලධාරීන්, පොලිස් නිලධාරීන් පිරිසකට විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරැව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටවනු ලැබුවේ මීට දශක තුනකට ඉහතදීය.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීම මෙන්ම ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් සහ එහි ‘මහ මොළකරුවන්’ අල්ලා ගැනීම සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධීකරණය කිරීම එම කාර්යාංශය පිහිටුවීමේ අරමුණ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

• අත්අඩංගුවට ගත් ප්‍රමාණය

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන පරිදි ගතව ගිය පස් වසර තුළ:
හෙරොයින් කිලෝග්‍රෑම් 4338 ක් අත්අඩංගුවට ගෙන
සැකකරුවන් 156,257 කට එරෙහිව නඩු පවරා
ගංජා කිලෝග්‍රෑම් 27,588 ක් අත්අඩංගුවට ගෙන
සැකකරුවන් 252,259 කට එරෙහිව නඩු පවරනු ලැබ
කොකේන් කිලෝග්‍රෑම් 1828 ක් අත්අඩංගුවට ගෙන
සැකකරුවන් 153 කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ
2013 සිට මේ දක්වා කාර්යාංශය විසින් පුද්ගලයන් 582කට එරෙහිව පවරන ලද නඩු තවමත් මහාධිකරණයේ විභාගවන අතර, අධිකරණය විසින් 61 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම පනවනු ලැබ තිබෙන බවත් ඔහු පැවසීය.
ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළක්වන්න දක්වන ලද දායකත්වය අති විශිෂ්ටයි. ඔහු කියා සිටියේය.

• ඉතිහාසයේ ප්‍රබලම අභියෝගය

මේ අතර සාකච්ඡාවකට එක්වෙමින් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය ඉතිහාසයේදී මුහුණ දුන් ප්‍රබලම අභියෝගය මෙය බවය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ මතුවී තිබෙන වාතාවරණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇසින් ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය.
ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගනු ලැබුවේ 2019-2020 කාලය තුළ බැවින් කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් අඩපණ කිරීමට ජාවාරම්කරැවන් පියවර ගෙන තිබෙන බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

BBC සිංහල ඇසුරින්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02