2020 ජුලි 18 වන සෙනසුරාදා

රටම ඇන්දූ මහාචාර්ය හොරා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 79

මහා පරිමාණයෙන් මුදල් වංචා කළ හොර මහාචාර්යවරයෙක් මහනුවර නගරයේ දී මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රට පුරා සැරිසරමින් ප්‍රබල දේශපාලනඥයන්, මහානායක හිමිපාණන් වහන්සේලා, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු රටේ ඉහළම ප්‍රභූන්ගේ කටහඬ භාවිත කරමින් මොහු එම ප්‍රභූවරුන් කතා කරන අන්දමින් ජංගම දුරකතන ඔස්සේ විවිධ පුද්ගලයන්ට කතා කොට ඔවුන් රවටා ඇතැයි අනාවරණය වී තිබේ.

සැකකරු ව්‍යාජ නම්වලින් හා ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය වෙත ද ලැබී ඇති පැමිණිලි රාශියක් සම්බන්ධව ලිපිගොනුවක් ද තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරු සතුව ජංගම දුරකතන 08ක්ද තිබී ඇති අතර ඔහු වරින්වර ජංගම දුරකතන සිම්කාඩ්පත් භාවිත කරමින් මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඇති බවට ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත.
ඔහු විසින් රටේ විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමැතුම් ලබා දී ඇත්තේ වංචනිකව භාවිත කරන ලද ජංගම දුරකතන සිම්කාඩ්පත් හරහාය. මෙම ජංගම දුරකතන කාඩ්පත් 24ක්ද, ජංගම දුරකතන 08ක්ද පොලීසිය භාරයට ගැනීමට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන විමර්ශන කණ්ඩායමට හැකි වී තිබේ.

සැකකරැට ව්‍යාජ පුද්ගල හැඳුනුම්පතක් සකස් කර දීමට සහාය දැක්වූ හොරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයකු සම්බන්ධව ද විමර්ශන කණ්ඩායමට තොරතුරැ ලැබී තිබෙන බවත්, ඒ සම්බන්ධව ද විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු අල්ලා ගැනීමට පොලීසිය විමර්ශන රාශියක් සිදුකර අවසානයේ ඔහු භාවිත කළ ජංගම දුරකතන ආයතන සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර තිබේ. ජංගම දුරකතන කුලුනු ආශ්‍රිතව විශේෂ විමර්ශන කටයුතු සිදු කිරීමට පොලිස් කණ්ඩායමට සිදු වූ බව විමර්ශන අංශ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. සැකකරු භාවිත කළ නවීන මෝටර් රියේ ඉදිරිපිට විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස සඳහන් ව්‍යාජ පුවරැවක් ද සවිකරගෙන ඔහු මෙම වංචා සිදුකර තිබේ.
වරින්වර මොහු සිදුකළ මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධව ඇතැම් පුද්ගලයන් පොලීසියට විස්තර ලබා නොදී ඇත්තේ ලජ්ජාව නිසා බවද පොලීසිය පවසයි. පොලීසිය කරගෙන යන විමර්ශනවලදී හෙළි කරගෙන ඇත්තේ මෙම පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආසන්නව ඔහුට අයත් එක් නිවෙසක කාන්තාවක් යොදවා ජුකී මැෂින් වලින් රෙදි මැසීමේ කුඩා කර්මාන්ත ස්ථානයක් ද පවත්වාගෙන යමින් ඔහුගේ මහා පරිමාණ මූල්‍ය වංචා සූක්ෂ්ම ලෙස වසන් කර ඇති බවයි.
ලංකාව පුරා මොහුගේ වංචාවලට හසුවූ පුද්ගලයන් සිටියත් ඔවුන් ඍජුව මොහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත් වී නැති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරැ සමඟ සම්බන්ධතා පැවැත්වූ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන් ද සිටිතැයි පොලීසිය කරන ලද පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.

වංචනිකයකු ලෙස කිසිවකුට සැක නොසිතෙන අයුරින් හැසිරී ඇති මෙම වංචනික පුද්ගලයා වරෙක ව්‍යාපාරිකයෙක්, තවත් වරෙක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, කථිකාචාර්යවරයෙක්, සමාගම් අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙස ද රඟපාමින් පෙනී සිටි නිසා මොහු පිළිබඳව කිසිවකුත් සැක නොකරන්නට ඇතැයි ඔහු අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මධ්‍යම දිසා විශේෂ අපරාධ සහ මෙහෙයුම් අංශය පවසයි.
අන් අයකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහා පරිමාණ ලෙස මුදල් වංචා කිරීම්වලට සම්බන්ධ වූ මෙම සැකකරු කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකින් හළඹ ගුරුගේ මහේෂ් ජානක වශයෙන් පෙනී සිට ඇත. මොහුට අයත් නිවාස කිහිපයක් මහනුවර අවට සහ කොළඹ ප්‍රදේශයේ තිබෙන බවද, එක් නිවෙසක් මහනුවර ප්‍රිම්රෝස් උද්‍යාන පෙදෙසේ ද, අනෙක් නිවස ගම්පළ මීවතුර ප්‍රදේශයේ ද, තවත් නිවසක් උඩපේරාදෙණිය ප්‍රදේශයේ ද, මහනුවර පිටකන්ද ප්‍රදේශයෙන් තවත් නිවසක් ද, කඩවත සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල නිවාස දෙකක් ද තිබෙන බවට මධ්‍යම දිසා අපරාධ සහ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රැපියල් 67500 බැගින් මුදල් එකතු කර ඇති සැකකරැ එලෙස මුදල් ලබාදුන් අයට පොරොන්දු ප්‍රකාර විදේශීය රැකියා ලබා නොදී කට්ටිපැන විවිධ ප්‍රදේශවල සැඟවෙන අතර, ඔහුට අයත් නිවාසවල ඉතා සූක්ෂ්ම ලෙස ඔහු රැඳී සිටිමින් ආරක්ෂා වන බවද පොලීසිය පවසයි.

සැකකාර හොර මහාචාර්යවරයාට බිරියන් කිහිප දෙනකුම සිටින අතර ඔහුට දරුවන් ද සිටිතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 
මෙම වංචනික පුද්ගලයාට රැවටී මුදල් ලබා දී ඇති අය වෙත්නම් මහනුවර පිහිටි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මධ්‍යම දිසා අපරාධ සහ මෙහෙයුම් ඒකකයට පැමිණ තොරතුරු ලබාගත හැකි බව පොලීසිය පවසයි.
සැකකරු තෙල්දෙණිය දිසා විනිසුරු ශානක කළංසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 27 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත මධ්‍යම දිසා අපරාධ සහ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. ධම්මික විජේරත්න, උ.පො.ප. ගොඩමුන්න, උ.පො.ප. ආරියරත්න, පො.සැ. 2174 ධම්මික, පො.සැ. 3459 නිශාන්ත, පො.සැ. 54414 ධර්මරත්න, පො.සැ. 32865 සමරදිවාකර, පො.සැ. 8305 සමරකෝන්, පො.සැ. 46971 අතුල, පො.සැ. 45189 ලලිත්, කාන්තා පො.සැ. 4358 රම්‍යා, කාන්තා පො.කො. කුමාරි 3712, කාන්තා පො.කො. 4580 දර්ශනී, පො.කො. රියැදුරැ ඉලංගසිරි 38442 යන පොලිස් කණ්ඩායම සැකකරු සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02