බිග් බී එහෙම නැත්නම් මහා නායක කිව්වම ඒ අපේ රටේ නොව අපේ අසල්වැසි රටේ කෙනෙක් කියන එක හින්දී සිනමාවට ආදරය කරන කිසිවකුටත් අමුතුවෙන් කීම අවශ්‍ය නැත.
ඔහු මේ වෙනකොට බොලිවුඩයේ දැවැන්තයා පමණක් නොව ව්‍යාපාරිකයකු මෙන්ම ඉන්දියාවේ පාලන බලය පවා තීරණය කළ හැකි දැවැන්තයෙකි. ඔහු නමින් අමිතාබ් බච්චන්ය.
සුපිරි තරුව අමිතාබ් බච්චන්ටත් මේ කාලයේ ලොවම භීතියට පත් කර තියෙන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ ගැන ඔහු තමන්ගේ ට්විටර් ගිණුමෙන් තමන්ට ආදරය කරන ලොව හැමෝටම දන්වා තිබේ. මේ වෙනකොට අමිතාබ් බච්චන් මුම්බායිහි නානාවතී රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියි. 2020 ජූලි 11 වෙනිදා අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතණුවන් වන ජනප‍්‍රිය සිනමා තාරකාව අභිෂේක් බච්චන් ද වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු වූ අතර ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේද එහිදීය. තමන්ගේ බිරිඳ ජයා බච්චන් සහ ලේලිය වන ජනප‍්‍රිය සිනමා තාරකාව ඵෙශ්වර්යා රායී බච්චන් සහ මිනිබිරිය ආරාධ්‍යා බච්චන් සහ නිවසේ සේවය කරන කාර්ය මණ්ඩලය ද කොරෝනා වෛරසය සඳහා වන පරීක්ෂණයට ලක් වී ඇති බව අමිතාබ් බච්චන් තමන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
මේ ට්විටර් පණිවුඩය අමිතාබ් විසින් තමන්ගේ ට්විටර් ගිණුමට එක්කළේ ජූලි 12 වැනි සෙනසුරාදා රාත‍්‍රී 11ට පමණය. මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන අතර මේ වනවිට මා රෝහල්ගතව ඉන්නවා. රෝහල් බලධාරීන්ට තොරතුරු ලබා දී ඒ සඳහා වන පරීක්ෂණයන්ට ලක්වෙලා මේ වනවිට ඔවුන්ගේ වාර්තාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මා සමඟ පසුගිය දින 10 තුළ සමීපව වැඩ කරන ලද සියල්ලන්ගේම පරීක්ෂණ සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. යැයි ඔහු විසින් තබන ලද සටහනේ දැක්වෙයි.
අමිතාබ් සමාජ මාධ්‍ය හරහා කොරෝනාවලින් ආරක්ෂා වන ලෙසත් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පුරුදු ගැනත් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් සිටියේය. ඔහු ඒ ගැන කවියක් පවා ලියා ඇතැයි බීබීසී වාර්තා කළේය.
අමිතාබ්ට පමණක් නොව ඔහුගේ පුතනුවන් වන අභිෂේක් බච්චන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ කරගෙන තිබේ. අභිෂේක්ද තමන්ගේ ට්විටර් ගිණුමෙන් ඒ ගැන සටහනක් ඇතුළත් කර තියෙන අතර ඔහුද තම පියා ප‍්‍රතිකාර ලබන රෝහලේම මේ වනවිට නතර වෙලා ප‍්‍රතිකාර ලබන බව සඳහන්ය. අමිතාබ්ගේ ලේලිය ඵෙශ්වර්යා මෙන්ම මිනිබිරිය ආරාධ්‍යාත් කොරෝනා වෛරස ආසාදනය වී එකම රෝහලක ප‍්‍රතිකාර ලැබුවත් අමිතාබ්ගේ බිරිඳ වන ජනප‍්‍රිය සිනමා තාරාකාවියක් වූ ජයා බච්චන්ගේ වෛද්‍ය වාර්තා අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතරේ ජනප‍්‍රිය නිළියක් වන රේඛාගේ බංගලාවේ ආරක්ෂක නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන අතර ඒ නිසා ඒ බංගලාව විෂබීජ හරණය කිරීමෙන් අනතුරැව සීල් කර ඇත.
අමිතාබ් ජීවත් වූ ජාල්සී බංගලාවත් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව මේ වනවිට මුද්‍රා තබා බංගලාව ඉදිරිපිට විශාල බැනරයක්ද ප‍්‍රදර්ශනය කර තිබේ.
අමිතාබ්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වාර්තා වූ දා පටන් සිනමා ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ජනප‍්‍රිය පිරිස් මෙන්ම ඔහුගේ රසික රසිකාවියන් ද දේව මන්දිර සහ නිවෙස් තුළ ස්ථාපනය කර ඇති දේව මන්දිරවල ඔහුට ඉක්මන් සුව පතා පුද පූජා පවත්වති.
වාර්තා අනුව ඵෙශ්වර්යා සහ ආරාධ්‍යා කොරෝනා ආසාධිතයන් බව සොයා ගත්තද ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බවත් ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඵෙශ්වර්යා සහ ආරධ්‍යා නිරෝධායනය කරනවාද නැතහොත් රෝහල්ගත කරනවාද යන්න තවමත් අනාවරණය වී නැත. ඉන්දියාවේ බී.එම්.සී. එක විසින් ඉරිදා උදෑසන වනවිට අමිතාබ්ගේ ජල්සී බංගලාව විෂබීජ හරණය සිදුකර ඇත. බිග් බීට කොරෝනා ආසාධිතව ඇති බව දැන ගන්නාවිට අභිෂේක්ට මෘදු ලෙස උණක් තිබුණු අතර අමිතාබ්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී තිබුණි. මේ වනවිට ඒ දෙදෙනාම රෝහලේ හුදෙකලා වාට්ටුවේ ප‍්‍රතිකාර ලබති. අමිතාබ් බච්චන් අවුරැදු කිහිපයක සිට අක්මා රෝගයකින් පීඩා විඳින අතර ඔහුගේ අක්මාවෙන් මේ වනවිට 75ක්ම අක‍්‍රීය මට්ටමේ පවතී. අමිතාබ් බච්චන් ක්ෂය රෝගයෙන් ද පීඩා විඳින අයෙකි. මේ වනවිට අමිතාබ් බච්චන්ගේ වයස අවුරැදු 78ක් වන අතර කොරෝනා වෛරසය වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට වැඩි සංකූලතා ඇති කරන බව සඳහන්ය.
අමිතාබ් බච්චන් නේවාසිකව ප්‍රතිකාර කරනු ලබන රෝහලේ වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ අමිතාබ් බච්චන්ට කොරෝනා සමඟ සටන් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ වුවත් ඔහුට හුස්ම ගැනීම අපහසුවක් තියෙන බවත් ඔහුගේ වයස සහ ක්ෂය රෝගය ඇතුළුව අක්මාවේ පවතින දුර්වලතාවයන් හේතුවෙන් ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරීමට කාලයක් ගතවනු ඇති බවත් ඒ වෛද්‍යවරයා වැඩිදුරටත් ඉන්දියානු මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර ඇත.
හෙපටයිටිස් ආසාදනය හේතුවෙන් ඔහුගේ අක්මාවෙන් 75ක්ම හානි වී ඇත. ඊට අමතරව අමිතාබ් ඇදුම රෝගයෙන්ද පීඩා විඳින කෙනෙක්. ඇදුම රෝගය පෙනහලු ආශ‍්‍රිත රෝගයක් වන අතර ඒ හේතුවෙන් නියම ප‍්‍රමාණයට පෙනහලුවලට අවශ්‍ය ප‍්‍රමාණයට ඔක්සිජන් ළඟා නොවේ. ඒ වගේම ඔහු මීට වසර කිහිපයකට පෙරාතුව උදරයේ බඩවැල් ආශ‍්‍රිත ශල්‍යකර්මයකට ද ලක්වූ කෙනෙක්. 2005 වසරේදී අමිතාබ්ට දරැණු බඩේ කැක්කුමක් ඇති වී තිබුණු අතර වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීමෙන් අනතුරුව අනාවරණය වූයේ බඩවැල් ආශ‍්‍රිතව ගැටලුවක් ඇති බවයි. කුඩා අන්ත‍්‍රයෙහි ඩිවර්ටිකුලිටිස් නම් මෙම රෝගය සුව කිරීම සඳහා අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් සිදු කර ඇත. එයට වෙලාවට පිළියම් නොකළානම් මාරාන්තික විය හැකි බව වෛද්‍යවරුන් පවසා තිබුණි. මෙම රෝගයේදී කුඩා හා මහ බඩවැල් දුර්වල වී ඉදිමීම සිදුවේ. අමිතාබ් මත්පැන් පානය නොකළ ද සිරෝසිස් ගැටලුවක් ඇති විය. 2012දී ඔහුගේ අක්මාවෙන් 75෴ක් කපා ඉවත්කොට ඇත. මේ වෙනකොට අමිතාබ් බච්චන් ජීවත් වෙන්නේ 25අක්මාවකිනි. මේ වනතෙක් ඔහුගේ අතුරැ ආබාධ දිගටම පවතී.
අමිතාබ්ට ක්ෂය රෝගය වැළඳී ඇත්තේ 2000 වසරේදීය. නියමිත පරිදි ප‍්‍රතිකාර ලබාගෙන එයින් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇත.
බිග් බීට සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පටන් ගත්තේ 1982 දී සිටය. එයට හේතුව වුණේ කූලී හින්දි සිනමාපටය රූගත කිරීම අතරතුර සිදුවූ අනතුරෙන් පසුවය. එහිදී ඔහුගෙන් විශාල වශයෙන් රැධිරය වහනය වූ අතර තත්ත්වය කොතරම් දරැණුද යත් වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඔහු මියගිය බවය. අධික රුධිර වහනය හේතුවෙන් අනතුරෙන් පසු පරිත්‍යාගශීලීන් 200ක් හරහා ඔහුට රුධිරය බෝතල් 60ක් ලබා දුන් බවත් පැවසෙනවා. බිග් බී ජීවත්වෙන්න වාසනාව ලැබුවද ඒ අනතුර හේතුවෙන් රෝග එකක් නොව කිහිපයක් සමගින් ජීවත් වන්නට වූ බව එයින් වසර 18කට පසු අනාවරණය විය. රැධිරය ලබාදුන් එක් අයකු හෙපටයිස් බී ආසාදිතයකු වූ අතර බිග් බීගේ සිරැරට ද එය ඇතුළු වී තිබුණි. අමිතාබ් බොහෝ සිනමාපටයන්හි වීරයා හෝ දුෂ්ටයා ලෙසින් අනතුරට පත්ව රෝහල්ගතව සුවය ලබා රෝහල්වලින් පිට වී යන ආකාරයෙන් ලොව පුරා ඔහුට ආදරය කරන සැමගේ ප‍්‍රාර්ථනය සුවය ලබා බිග් බී ඉතා ඉක්මනින් සෞඛ්‍ය සම්පන්නව නැගිට සියලු දෙනා අතරට පැමිණෙනු ඇති බවය.
ඒ වගේම මෙෙතක් අමිතාබ්ගේ නිවසට කොරෝනා ආසාදනය පැමිණුයේ කෙසේදැයි සොයා ගෙන නොමැත. අභිෂේක් ආන්ද්‍රාවල සිනමාපටයක හඬ කැවීමට රෙකෝඩින්ග් ස්ටුඩියෝ එකකට ගොස් එන සී.සී.ටී.වී. දර්ශනයක් පමණක් මේ වෙනවිට සොයාගෙන තිබුණත් එයින් කෝවිඩ් 19 බිග් බීගේ නිවසට ආසාදනය වී දැයි සොයාගෙන නොමැත.
චන්දන වරාවිටගේ