2020 ජුලි 18 වන සෙනසුරාදා

රැල්ලක්ද? පොකුරක්ද? වෛද්‍යවරු කියන කතාව

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

කන්දකාඩු පුනරුත්තාන මධ්‍යස්ථානයෙන් ඇරඹී පැතිර යන්නේ මේ රටේ දෙවැනි කොවිඩ් 19 රැල්ලද? එය අපේ පාලනයෙන් ගිලිහී යයිද? එය පාලනයට අපට කොපමණ කාලයක් ගතවේද? ආයේත් ඇඳිරිය එයිද? දැන් මේ රටේ දැඩි කතාබහකට ලක්ව ඇති කාරණා මේවාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම පොදු සමාජයේත් මේ පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් හුවමාරුවනු දක්නට ලැබේ. අන්තනෝමතික නිලධාරීවාදී තීන්දු, නොසැලකිල්ල සහ හිතාමතා සිදුකරන අතපසුවීම් මෙයට හේතුවද? නැතිනම් සමස්ත වරද ජනතාවගේ නොසැලකිලිමත් බවද?

රටේ කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඇතිවෙලාද යන ප්‍රශ්නයට බහුතරයක් බලධාරීන් වෙතින් දැන් ලැබෙන්නෙ ‘අවුලක් නැත්තේමත් නෑ!’ පන්නයේ පිළිතුරකි. හේතුව නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තරම් ස්ථීරසාර දත්ත ඔවුන් සතුව තවමත්  නොතිබීමය. නමුත් රටේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානම පවතින බව මේ හැමදෙනාම එකඟවෙන කාරණයකි. නොපමාවම පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් දෙවැනි රැල්ල මතුවෙනවා පමණක් නොව එය පළමු රැල්ල අවස්ථාවේදීටත් වඩා හානිය දෙගුණ තෙගුණ කරනු ඇති බව මේ අය බහුතරයක් පිළිගනිති.

ලංකාව තුළ කොවිඩ් 19 රෝගියෙක් මුල්වරට වාර්තා වූයේ 2020 ජනවාරි 27ය. ඒ ඊට සති දෙකකට පෙර සංචාරය සඳහා ලංකාවට ආ චීන කාන්තාවකි. එතැන් සිට මාස එකහමාරක් පමන ගතවනතුරු එනම් මාර්තු 14 වනතුරු රටතුළ රෝගීන් වාර්තා නොවුණි. එතැන් සිට පළමු කොවිඩ් රැල්ල ඇරඹුණේය. රටේ “මාස්ක්වාදය” පවා පැතිර ගියේය. එනම් රටේ මාස්ක් හිඟයක් ඇතිවන තරමට ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනයට යුහුසුළු වූහ. එහෙත් පස්සෙන් පහු මේ වනතුරු කන්දකාඩුවේ හදිසි පොකුර සොයාගන්නා තුරු රට තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී තිබූ පූර්ව ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිපැදීමේ උනන්දුව කොහු වී ගියේය. ඒ සඳහා රට කරවන තැන්වලින්ම වැරදි පූර්වාදර්ශද ලැබිණි. මේ දෙවැනි රැල්ලක භීෂණය ගැන උණුසුම් කතාබහ ඉහළ යන්නට වූයේ එවන් පසුබිමකය.

ඇඳිරිනීතිය ආයේ නෑ! 

කන්දකාඩු ආසාදිතයන්ට සමගාමීව ලංකාව තුළ ස්ථාන කිහිපයක කොවිඩ් රෝගීන් වාර්තා වුවත් රටම වසාදැමීමක් හෝ කලින් මෙන් ඇඳිරිනීතිය පැනවීමක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය. මෙය දෙවැනි රැල්ලක් සේ සැලකිය හැකි නොවුවද මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධි අමතක කළහොත් එවැන්නක් ඇතිවීමේ අවදානම අඩු නැති බවද ඔහු අවධාරණය කරයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියන්නේ මෙය දෙවැනි රැල්ලක් ලෙස හැඳින්විය නොහැකි වුවත් අපරික්ෂාකාරී වුවහොත්  කොරෝනා වෛරසය යළිත් වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බවය. එනිසා හැකිතාක් ගමන් බිමන් සීමාකරන ලෙසත් කිසියම් අත්‍යවශ්‍ය කාරණාවකට එළිපහලියට යනවිට සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අකුරට පිළිපදින ලෙසටත් ඔහු ඉල්ලා සිටියි.

ජාතික බොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ පවතින තත්ත්වය ගැන මෙසේ කියයි. 

“දැනට දෙවැනි රැල්ලක් නැහැ. නමුත් දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ජනතාව අතේ තමා පාලනය තියෙන්නෙ. සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින්, අත්‍යවශ්‍ය ගමන්වලට පමණක් සීමාවෙලා, නිසි දුර පවත්වාගෙන කටයුතු කළ යුතුයි. පසුගිය කාලයේ අපි දැක්කා මේ ගැන උනන්දුව හීනවෙලා ඇති හැටි. ඒක ජනතාවගේ පැත්තෙන් වගේම දේශපාලන පැත්තෙනුත් වුණා. කිසිම පාලනයක් නැතිව රැස්වීම් ආදිය තියන හැටි අපි දැක්කා. ඒ මදිවාට මාධ්‍යයත් ඒ රැස්වීම් කැපීපෙනෙන විදියට වාර්තා කරලා තිබ්බා. ඒ මගින් ජනතාවට වැරදි පණිවුඩයක් සංනිවේදනය වෙන්නේ. රෝගය ගැන සැහැල්ලුවෙන් හිතන්න ගන්නවා. එහෙම තත්ත්වයක් යටතේ දෙවැනි රුල්ලකට ඉඩ වැඩියි.”

අන්න රැලි: අපේ තාම පොකුරු!

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මේ ගැන දරන්නේ වෙනස්ම අදහසකි. ඔහු මෙය රැල්ලක් ලෙස හඳුන්වන්නේ නැත.

“මොකක්ද මේ රැල්ලක් කියන්නේ. ඒක එක විධියක නිර්වචනයක් විතරයි. ඇත්තටම වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ රැල්ලක් දකින්නට නෑ. චීනය, ඉතාලිය, අමෙරිකාව ඒ වගේම ඉන්දියාවේත් ඔය කියන රැලිවලට උදාහරණ දකින්න පුළුවනි. ඒ කිව්වේ වසංගතය මහා පරිමානව සමාජ ගතවෙලා රෝගීන් අතිවිශාල ගණනක් එකවර වාර්තා වන අතර මරණත් ඉහළ යන අවස්ථා දකින්න පුළුවන් වීමයි. මේවායේ දරුණු බව ක්‍රමයෙන් අඩුවෙලා නැවතත් හදිසියේම ඉහළ යන ආකාරය දකින්න පුළුවනි. අන්න ඒවගේ තත්ත්වයන්ටයි රැලි කියන්න පුළුවන් වන්නේ. නමුත් ලංකාවේ මෙහෙම නෑ. අපේ තාම වාර්තාවෙන්නේ පොකුරු ඇතිවීමක්. ඔය රැලිවලදී කොහෙන් කොහොම කොහෙට පැතිරුණාද හොයාගන්න බෑ. නමුත් අපේ එහෙම නෑ. අපි රෝගයේ මූලික වාහකයා ඉක්මනින්ම හොයා ගන්නවා. ඒ අයගේ ස්පර්ශකයන් හැටියට ගොඩනැගෙන පොකුර හඳුනා ගන්නවා. ඒ අය ඉතා ඉක්මණින්ම නිරෝධායනයන්ට ලක් කරනවා. මේ නිසා අපි රැලි ගැන බිය විය යුතු නෑ. රෝගය සමාජය තුළ පැතිරීම වළක්වන්න තම තමන්ට දිය හැකි සහයෝගය කවුරු කවුරුත් උපරිමව දුන්නා නම් හරි. 

අපේ සෞඛ්‍ය අංශයට විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා. අපේ ප්‍රජා සෞඛ්‍ය අංශය හරිම විධිමත් සහ කාර්යක්ෂමයි. ඒ අතර ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ සහායත් උපරිමව ලැබෙනවා. ඒ නිසා රැලි දිහා බලාන බයවෙලා වැඩක් නෑ. ඒවාට එරෙහිව ගන්න ඕනෑ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනයයි වැදගත්. මේ රෝගය රැල්ලකින් දෙකකින් අවසන් වන්නේ නෑ. අපි පාරට බහින්නේ අනතුරු ඇති වන බව දැනගෙනයි. නමුත් ඒවා වළක්වන්න පූර්ව ආරක්ෂිත පියවර අරගන අපි පාරේ ගිහින් සාමාන්‍ය ජිවිතය ගත කරනවා. ඉදිරියේදී කොවිඩ් 19 එක්ක කටයුතු කරන්න වෙන්නේ එහෙම තමා.”

“පංචායුධ” සංකල්පය!

කොවිඩ් 19ට එරෙහිව පංචායුධ ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ඩී සිල්වාද රැලි ගැන නොසලකන්නෙකි. “රැලි එනවා යනවා. වඩා වැදගත් වන්නේ ඒවා එන්නට ඇති අවස්ථාව වළක්වා ගන්න එකයි. ඒ සඳහා පෞද්ගලිකව විනයක් ඇති කරගෙන අලුත් යහපුරුදු වගා දිගා කරගන්න කටයුතු කිරීමයි කළ යුතු. මේ රෝගයට අද, හෙට විසඳුම් නෑ. එන්නත් තාම නෑ. දරුණු වුණොත් සුවකරන්න ඇති අවස්ථා විරලයි. මේ නිසා හොඳම සහ එකම ප්‍රායෝගික විසඳුම රෝගය හදා නොගන්නට තමන්ගේ චර්යාවේ වෙනස්කම් ඇතිකර ගන්නා එකයි. මම  කලින් කියා ඇති පංචායුධ ප්‍රතිපත්තිය අනුගමනයෙන් මේ ඕනෑම රැල්ලක් ඇතිවීම වළක්වන්න පුළුවනි. මතකනේ පංචායුදේ.”

කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අර්ජුන ඩි. සිල්වා අපට නැවත මතක්කර දෙන ආකල්පමය වෙනසක් ඇති කරගනිමින් අලුතෙන් පුරුදු පුහුණුකරගත යුතු “පංචායුධ” සංකල්පයේ චර්යා රටාව මෙබඳුය.

එහි මුල්ම පියවර ලෙස, මේ වසංගත සමය පහව යනතුරු කිසිම විටෙක “අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවෙසින් පිටතට නොයා සිටිය යුතුය.” දෙවැනුව එසේ “පිටතට යන්නට සිදුවන්නේම නම් ඒ අය එවිට ප්‍රමිතියට අදාළව නිපදවූ මුව ආවරණයක් පැළඳිය යුතුමය.” තෙවැනුව “මුව ආවරණ පැළඳ සිටිනා විටත් එසේ නොමැති විටත් ඉතා අවධානයෙන් යුතුව සිටිමින් සිය මුහුණ ආශ්‍රිත ප්‍රදේශ අතපත ගෑමෙන් වැළෑකී සිටිය යුතුය.” හතරවෙනි පියවර වන්නේ “පිටතට යන සෑම අවස්ථාවකම සෑම මොහොතකම අවධානයෙන් යුතුව සිටිමින් පුද්ගලයන් එකිනෙකා අතර අවම වශයෙන් මීටරයකවත් දුර තබා ගැනීමට පරෙස්සම් වීමය.” පංචායුධ ක්‍රියාදාමයේ පස්වැන්න මේ දිනවල නිතර නිතර අසන්නට ලැබෙන නමුත් ඇසූ සැණින් නෑසූ ලෙස අමතක කර දමන “නිතර සබන් යොදා සෝදා අත් පිරිසුදු කිරීම හෝ ඇල්කොහොල් මිශ්‍රිත දියරයකින් පිරිසුදු කරගත යුතුය” යන්නයි. මේ පංචවිධ ක්‍රමවේදය එහි සරල බවට එහා ගිය පූර්ව සෞඛ්‍යාරක්ෂක ජීවිතාරක්ෂක පිළිවෙතක් බවත් මෙතැන් සිට අපේ එදිනෙදා ජීවන රටාවේ වැදගත් සිරිතක්. පුරැද්දක් ලෙස එක්කර ගත යුතු අංගයන් බවත් මහාචාර්ය අර්ජුන කියයි.

පී.සී.ආර්. අවුල!

වෛද්‍ය විශේෂඥයන් මෙසේ අදහස් දක්වද්දී කන්දකාඩුව තුළින් ආසාදිතයන් හදිසියේ මතුවන්නට හේතුව කුමක්ද? යන ප්‍රශ්නයට රජයේ වෛද්‍ය සංගමය මෙන්ම සෞඛ්‍ය පරීක්ෂක සංගමයද  පවසන්නේ මූලික පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල මත පමණක් විශ්වාසය රඳවා කඳවුරට සුදුසු රැඳවියන් තෝරාගැනීම මෙයට හේතුව වූ බවය. කඳවුරේ  දෙවැනි තුන්වැනි පරීක්ෂාවන් මෙයට පෙර සිදුකළා නම් මේ ආසාදිතයන් කලින්ම හඳුනාගන්නට තිබූ බවය. කෙසේවුවද මේ කොරොනා තත්ත්වය හදිසියේ කඳවුරට පැමිණි එකක් නොවන අතර කලක් එහි සැඟව යටපත්ව තිබූ තත්ත්වයක් බව දැන්  පැහැදිලිය.

වසංගත රෝග අංශයේ වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා  දෙන්නේ මේ සොයාගැනීම අහම්බෙන් අගක් මුලක් නැතිව මතුව ආවක් නොව සිය පී.සී.ආර්. නියැදි පරීක්ෂණ මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵලයක් බවය. අහඹු සමාජ නියැදි තෝරාගනිමින් රටේ තැන තැන සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ දාමයට සමගාමීව වැලිකඩ සිදුකළ සොයා බැලීමේදී වාර්තා වූ රෝගියාගේ ස්පර්ශකයන් සොයා ලුහුබැඳ යාමෙදී මෙම ආන්දෝලනාත්මක කන්දකාඩු පරීක්ෂාව ඇරඹුණ බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට රටපුරා පී.සී.ආර්. 132,000කට ආසන්න සංඛ්‍යාවක් (131,527) සිදුකර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියන්නේ මෙම පරික්ෂණ ප්‍රමාණය තවත් වැඩි කළයුතු බවය.  

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මෙය දෙවැනි රැල්ලක් නොවූවත් එවන් අවදානමක් ගැන දැඩිව ඉඟිකරන අවස්ථාවක් ලෙස පෙන්වා දෙයි. කන්දකාඩුවේ නිලධරයෙක් ඔස්සේ රාජාංගනයට පැන්න කොවිඩ් 19 එතැනද රෝග පොකුරකට මුල් වී තිබීම එයට හේතුවයි.

රාජාංගනයේ සැකය!

රටේ පී.සී.ආර්. සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ අවුල් සහගත කතාබහකි. පසුගිය දින කිහිපයේ රෝගීන් වාර්තා නොවුණද රාජාංගනයේ සිදුකළ පී.සී.ආර්. ගැනද ප්‍රදේශයේ වෛද්‍යවරු වෙනත් මතයක සිටිති. එහි කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත්  පළමු  16 දෙනාගෙන් පසු අලුතෙන් ආසාදිතයන් මෙතෙක් වාර්තා වී නැතත්, එයින් එම පළාතේ කොවිඩ් 19 පොකුර පැතිරී ගොස් නැතැයි ස්ථීර නිගමනයකට එන්නට තවම කල් වැඩි බව එම ප්‍රදේශයේ වෛද්‍යවරු පවසති. ලබන සතියේ මැද පවත්වන්නට නියමිත දෙවැනි වටයේ පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව මේ පිළිබඳ නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බව ඔවුහු කියති. මේ පිළිබඳ අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරපුර සම්බන්ධීකාරක වෛද්‍ය තේජන සෝමතිලකද පෙන්වා දුන්නේ වඩාත් කල්ඇතිව කළ මේ පළමු පී.සී.ආර්.  පර් යේෂණ වාර්තාවන්ට වඩා නිසිකල් පිරුණ පසු කෙරෙන දෙවැනි වටයේ පී.සී.ආර්. ප්‍රතිඵල අනුව වඩා නිවැරදි තීරණයකට එළැඹිය හැකි බවය.

ජ’පුර පී.සී.ආර්. නැවතුණාද?

ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ වෛද්‍ය පීඨයේ ඩෙංගු ඒකකයට අයත් රසායනාගාරය පී.සී.ආර්. පරීක්ෂණ සම්බන්ධයෙන් දිගුකාලීන පරිචයක් සහිත ආයතනයකි. ඔවුන් ඩෙංගු සම්බන්ධයෙන් වූ පී.සී.ආර්. පරීක්ෂණ වසර 10ක පමණ කාලයක් පවත්වා ඇත. රටේ කොඩිඩ් 19 සම්බන්ධ පී.සී.ආර්. පරීක්ෂාවන් ප්‍රමාණය ඉහළ දැමීමේ අවශ්‍යතාව මතුව ආ කළ ඒ සඳහා තමන් සතු ආයතනික සම්පත් සහ විශේෂඥ දැනුම ස්වෙච්ඡාවෙන්ම ලබාදීමට එම ඒකකයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රමුඛ පිරිස ඉදිරිපත් වූහ. නිලීකා මහාචාර්යවරිය අසාදිත රෝග පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ විධායක කමිටු සාමාජිකාවකි. මෙහි පරීක්ෂණ ඒකකය ක්‍රියාත්මක වන්නේ අත්දැකීම් බහුල පර් යේෂකවරියක් වන ඈ අතිනි. ඒ අනුව රටේ දෛනික පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව ඉහළ ගියේය. ඒ පෙබවාරි 28 වැනිදා සිටය. ඔවුන් පරීක්ෂා කළේ රජයෙන් ලබාදුන් සාම්පලය. එදා මෙදාතුර එම පර් යේෂණ දායකත්වය ආයතනය ස්වෙච්ඡාවෙන්ම ලබාදී තිබුණි. නමුත් මෑතක මාධ්‍ය වාර්තාවක පළවූයේ එම ආයතනය මගින් ලබාදෙන පී.සී.ආර්. දත්ත සෞඛ්‍ය බලධාරීන් සැකසහිත ලෙස භාවිතය නිසා ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් ඉවත්වී ඇති බවය. මේ ගැන සොයා බැලූ දේශයට එළිදරව් වූයේ සෞඛ්‍ය බලධාරීන් වෙත යැවු ඊමේල් පණිවුඩයක් කාන්දු වීමෙන් අදාළ පුවත පණ ගැන්වී ඇති බවය. මහාචාර්ය නිලීකා පෙන්වා දෙන්නේ එම පණිවුඩයේ පැහැදිලිවම නැවත අවශ්‍යතාවක් මතුවුවහොත් සිය ඒකකයේ සේවාවන් ඕනෑම වෙලාවක සැපයීමට සූදානම් බව සඳහන් කර තිබූ බවය.

කෙසේ වුවද රටේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන් ඉකුත් ජූලි 14දා ඉදිරිපත් කළ තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කර තිබේ. මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීමේ අත්‍යාවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. ඒ අනුව මසකට අවම වශයෙන් පරීක්ෂණ 68,000ක්  සිදුවිය යුතු බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා දිනකට 2500 ක් වත් පරීක්ෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි. 

දෙවැනි රැල්ලක්!

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා කියන්නෙ මේ වනවිට දෙවැනි රැල්ලක් නැතිවුවත් COVID 19 වෛරසය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනය වී ඇති ආකාරයක් පෙන්නුම් කරන බවයි. තවදුරටත් ප්‍රමාද නොවී මේ තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට අවශ්‍ය සීමා පනවන්නට කටයුතු නොකළහොත් දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවයි.

යම් හෙයකින් මෙම තත්ත්වය දැඩි සත්කාර වැඩියෙන් අවශ්‍ය වන මට්ටමට වර්ධනය වුවහොත් රටේ සෞඛ්‍ය පහසුකම් සමඟ සැලකීමේදී බරපතළ තත්ත්වයක් ඇති වන බව ඔහු පෙන්වා දෙයි. එවිට දෙවැනි රැල්ලක් නොව පාලනය කළ නොහැකි ව්‍යසනයක් බවට මෙය පත්විය හැකි බව ඔහු කියයි. ජනයා ඒකරාශී වන දේශපාලන රැස්වීම් තවදුරටත් පැවැත්වීම, උපකාරක පංති පැවැත්වීම සහ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව නැවත සමාලෝචනය කර බැලිය යුතු බව ඔහු කියයි.

ඔහු සභාපතිත්වය දරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ රටේ අහඹු පරීක්ෂණ සමාජය තුළ සිදුකිරීම සහ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමද අත්‍යාවශ්‍ය බවයි. පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍යමය සීමා යළි පැනවීමේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කරයි.

 

 සුගත් පී. කුලතුංගආරච්චි