2020 ජුලි 18 වන සෙනසුරාදා

කුඩු ගෝඩ් ෆාදර්ලාගේ දැලේ පැටලුණු නාකොටික්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

රටේ මෙතුවක් කල් කුඩු ජාවාරම්, පාතාල ජාවාරම් සම්බන්ධයෙන් හෙළිදරව් වුවත් මාෆියා හෙළිදරව් වීමක් සිදුව තිබුණේ නැත. මාෆියාව ලෙස සමාජයේ විවිධ තැන්වල කතා වුවත් ලංකාවේ මෙතුවක් සිදුවන ලොකුම මාෆියාව වශයෙන් සැලකෙන්නේ බෙහෙත් මාෆියාව පමණි. ඊට අමතරව වකුගඩු මාෆියාව ද මේ රටේ ඇති අනෙක් මාෆියාවය. කුඩු මාෆියාවක් මේ රටේ තිබුණේ නැත. එහෙත් අද වනවිට ලංකාවේ කුඩු මාෆියාවද මාෆියා ගොන්නට එකතු වී ඇත.

කුඩු ජාවාරම්කරැවන්, දේශපාලන, පොලිස් නිලධාරීන්, ආදී සියල්ලම එකතු වූ තැන කුඩු මාෆියාව සම්පූර්ණ වී අවසන්ය. පොලිස් නිලධාරීන්ටත් වඩා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම නිලධාරීන් මීට එක් වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් දැන් සියල්ල හෙළි වී හමාරය. දැන් දැනගන්නට ඇති ආකාරයට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ඇතැම් නිලධාරීන් නටා  ඇත්තේ වෙලේ සුදාගේ බෙර පදයටය. ඇතැම් නිලධාරීන් වෙලේ සුදා ඔත්තුකරුවකු ලෙස තබාගෙන සිටිය ආකාරය නීත්‍යානුකූල වුවත් තවත් නිලධාරීන් පිරිසක් වෙලේ සුදාගේ අතකොලුවක් බවට පත්ව සිටීම ඛේදවාචකයකි. සුදා වැනි කුඩු ජාවාරමේ ගෝඩ් ෆාදර් කෙනකු සමඟ ගනුදෙනු කරන්න යාම දැලි පිහියෙන් කිරි කෑමක් මෙන් වුවත් අවසානයේ පොලිස් නිලධාරීන් දිව පමණක් නොව බෙල්ල ද කපාගෙන අවසන්ය.

කෙසේ වෙතත් දැනට ලැබී ඇති තොරතුරැ අනුව බොහොමයක් වැටලීම් පෙර සිටම පිඹුරුපත් සැකසූ පොලීසියත් රටත් නොමග යැවූ වැටලීම් බව අනාවරණය වී ඇත. විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු ද මේ සඳහා හවුල් බව අනාවරණය වී ඇත.
ලංකාවේ අත්අඩංගුවට ගත් විශාලම කුඩු තොගයේ කතාව වෙලේ සුදා විසින්ම ගොතන ලද කතාවක් බව මේ වනවිට අනාවරණය වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එපමණක් නොව 2013 පටන් වෙලේ සුදා ඩුබායි සිට සිදුකළ බොහොමයක් ජාවාරම් පසුපස විශේෂ කාර්ය බලකායේ පිරිසකගේ ද සහයක් හිමිව තිබූ බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවා නොකළ බවත් සඳහන් වේ. 2013 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 81ක ප්‍රමාණයෙන් කිලෝ 40ක් පමණ වෙලේ සුදා විසින් එළියට ගෙන ඇති බව සඳහන් වේ. එසේම ඒ ගත් කිලෝ හතලිහට වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත. කෙසේ වෙතත් සුදා විසින් ලබාගත් කුඩු කිලෝ හතළිහෙන් කොටසක් පසුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ කුඩු සහ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් කුඩු අතර විශාල වශයෙන් සැර ප්‍රමාණය එකිනෙකට වෙනස් බව අනාවරණය වී ඇත. ඒ හරහා හෙළි වී ඇත්තේ යම් වංචාවක් සිදු වී ඇති බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන්නට උත්සාහ ගත්තත් එවකට එම පරීක්ෂණ නිසිලෙස සිදුවී නැත.

මීට අමතරව පසුගිය ජනවාරියේ අත්අඩංගුවට ගත් ලංකාවේ විශාල කුඩු තොගයේ සිද්ධිය ද එවැනිම ව්‍යාජව නිර්මාණය කළ එකක් බව අනාවරණය වී ඇත. ඉරාන නැවකින් අත්අඩංගුවට ගත් එම කුඩු කිලෝ දෙසිය අනූ ගණනක කුඩු තොගයේ සිද්ධිය වෙලේ සුදා විසින් නිර්මාණය කළ එකක් බව අනාවරණය වී ඇත. එම කුඩු ද මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ඒවා ට්‍රෝලර් යාත්‍රාවක් මගින් මාදු ගඟ ඔස්සේ බලපිටියේ හෝටලයකට රැගෙන විත් ඇත. ඒ පසුගියදා හෙළිවූ සිද්ධියේදී හාල් ගෝනිවල කුඩු අසුරණ ලැබූ හෝටලයටය. මේ බව පවසා ඇත්තේ දැනට අත්අඩංගුවේ සිටින ට්‍රෝලර් බෝට්ටු ක්‍රියාකරුවකු විසිනි. පසුව ඔහුව බලපිටියට නාකොටික් නිලධාරීන් විසින් ගෙනත් දැමූ බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එම ටෝලර් යාත්‍රාවත් කුඩුත් වෙලේ සුදාගේ බව සඳහන් වේ. එම කුඩු දින ගණනාවක් තබාගෙන පසුව එය වෑන් රථයකින් කොළඹ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලට ගෙන්වා වෙලේ සුදා විසින් එවන ලද අයකුව ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව මේ වනවිට අනාවරණය වී ඇත. ඒ අනුව එයද ව්‍යාජ වැටලීමක් බව පරීක්ෂණ කණ්ඩායම් පවසති.

කෙසේ වෙතත් මේ වැටලීම් සියල්ලම මේ අකාරයෙන් සිදුවී ඇත්නම් ඒ ගැන සෙවීම අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් මත්ද්‍රව්‍ය වැටලීම්වලදී විවිධ උපාය උපක්‍රම භාවිතා කරනු අත. ඇතැම් අවස්ථාවල ඔත්තුකරැවන් ඔත්තු ලබා දෙන්නේ තවත් දෙයක් බලාපොරොත්තුවෙනි. ඒ නිසා එවැනි ඉල්ලීම් ඉෂ්ට කිරීමට සිදුවන අවස්ථා ද ඇත. ඒ නිසා මේවා ඇත්තටම නිර්මාණය කළාද, නැත්නම් අත්අඩංගුවට ගැනීමට නිර්මාණයක් සිදුකරන්න වුවාද යන්න ඇත්තේ ප්‍රශ්නයකි. එහෙත් එයට පිළිතුර ඇත්තේ මේ නිලධාරීන් සන්තකයේමය.

මේ අතර තවත් සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඒ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේය. කළුතර විශේෂ කාර්ය බලකා කඳවුරේ පිරිසක් විසින් පොඩි සුදා නැමති පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමේදී එය සිදුවිය. එසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම සැකකරුගේ දුරකථනයට දුරකථන ඇමතුමක් ලබාදුන් කළුතර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ බය වී නොසිටින ලෙසත් තමන් බේරගන්නා බවත්ය. ඒ නිලධාරියා පමණක් නොව තවත් නිලධාරින් කිහිපදෙනකුම එම පාතාල සාමාජිකයා බේරා ගැනීමට උත්සාහ කර ඇත. එහෙත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති අතර ඒ ලැබුණු දුරකථන සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

කෙසේ වෙතත් මෙය පුදුමයක් වන්නට දෙයක් නැත. ඉතිහාසයේ සිටම පොලිස් නිලධාරීන් සුළුතරයක් එසේය. එක්වරක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දකුණේ පාතාලයන් සමඟ මාදු ගඟේ හංස බෝට්ටු පැද්දේය. ඇතැම් අය උපන්දින සාද දැමූහ. මේ සියල්ල සිදුකළේ ඉහළ නිලධාරීන් මිස සුළු නිලධාරීන් නොවේ. එහෙත් සමාජය ඉදිරියේ වරදකරුවන් වන්නේ මේ සුළු නිලධාරීන්ය. පොලිස් ලොක්කන් කරන වැරදි සොයන්නට කෙනෙක් නැත. කෙසේ වෙතත් දැන්වත් මෙම පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ඉවත් කළ යුතුව ඇත. ඔවුන් හඳුනාගත යුතුව ඇත. ඔවුන්ට දඬුවම් දිය යුතුව ඇත.

පසුගියදා අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ නාකොටික් නිලධාරීන්ට විරුද්ධව මරණීය දණ්ඩනය අධිකරණයෙන් ඉල්ලන බවයි. එහෙත් ඒ නිලධාරීන් මරණීය දණ්ඩනයට තල්ලු කිරීමට වඩා නැවතත් පොලීසියෙන් මෙවැනි අපරාධ සිදුනොවීමට ක්‍රමවේදයක් සැකසිය යුතු නොවේදැයි අසන්නට ඇත. නාකොටික් නිලධාරීන් වක්කඩ බිඳ දමා ඇත. දැන් ඇත්තේ සියල්ල සොයා බලා නිවැරදි කිරීමය.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02