ආණ්ඩුවට සේවා සම්පාදනය කළ පිරිස් ඇත් මුහුණු මවාගෙන සිටිති. ටෙන්ඩර්වලට බඩු සැපයූවෝ ද එසේය. සේවය වෙනුවෙන් වසර ගණනකින් මුදල් ලැබී නැත. අලි ඇතුන් ප්‍රියජනකය. වටිනා සම්පතකි. ප‍්‍රචණ්ඩත්වයට පත් වූ විට භයානකය. ආණ්ඩුව ඇත් මුහුණ බත් මුහුණකින් බේරා ගන්නට තැත් කරමින් සිටී. රජයෙන් අය විය යුතු මුදල් සඳහා මුදල් අමාත්‍යංශය ලිපියක් නිකුත් කරන බව ප‍්‍රකාශ වී තිබේ. එම ලිපිය ඉදිරිපත් කර බැංකුවලින් ණයක් ගත හැකිය. අය විය යුතු මුදල් නොලැබී බලවත් දුෂ්කරතාවයක සිටින රජයේ සැපයුම්කරුවන්ට එය අනෙක් උත්තරයකි. එක පැත්තකින් උග‍්‍ර ආර්ථික අර්බුදය හා අනෙක් පැත්තක ආණ්ඩුව විසුරුවා ඇති අවස්ථාවකය. මෙවැනි පසුබිමක කළ හැකි අන් දෙයක් නැත.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ කාලයේදී එයට කලින් තිබුණ රාජපක්ෂ ආණ්ඩුව සමඟ කොන්ත‍්‍රාත් කළ සමාගම්වලින් සමහරකට මුදල් ගෙවා නැත. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු යහපාලන ආණ්ඩුව සමඟ ගිවිසුම් අත්සන් කර තිබුණ කොන්ත‍්‍රාත් නතර කළේය. ඒවායේ මුදල් ගෙවීම ප‍්‍රමාද කර තිබේ. මේවා ආර්ථිකයක ගැටලු ඇති කරයි.
අයවිය යුතු මුදල් නොලැබීම ආර්ථිකයක් දුබල කරයි
අර්ථිකය සක‍්‍රිය තත්ත්වයක පවත්වාගෙන යන්නට මුදල් පරිහරණය අවශ්‍යය. නිෂ්පාදනය හා සේවා දියුණු විය යුතුය. ආර්ථිකයක් හැදෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ එකතුවෙනි. පසුගිය කාලයේ මෙරට ආර්ථිකයේ විශාලම පංගුව යුද්ධයට වෙන්වී තිබුණි. යුද ආර්ථිකයක්ය. එම වකවානුව ගෙවී සය වසරක් ඉකුත් වී තිබේ. මෑත වසර තුන තුළ ක‍්‍රමයෙන් ආර්ථික වර්ධනය සීමා විය. ලෝක ආර්ථිකයේ බලපෑම සහ මෙරට ප‍්‍රතිපත්ති තීරණවල අවාසි එයට බලපා තිබේ.
විශේෂයෙන් දේශපාලන තීරණ අහිතකර පීඩනයක් එල්ල කර ඇත. ආණ්ඩු වෙනස්වීම සහ එක ආණ්ඩුවක් ගෙන තිබුණ තීරණ අනෙක් ආණ්ඩුව වෙනස් කිරීම එපමණ සුදුසු නැත.
රාජපක්ෂ ආණ්ඩුව තිබුණ කාලයේ රජය සමඟ ගනුදෙනු කළ ව්‍යාපාරවලට යහපාලන ආණ්ඩුවෙන් මුදල් ගෙවීම අත්හිටුවන ලද බව මතක් කළ යුතුය. මාර්ග සංවර්ධනය, පොහොර ආනයනය හා ඖෂධ ගෙන්වීම වැනි අංශවල පවා මුදල් පියවීම අත්හිටුවන ලද අතර අක‍්‍රමිකතා සොයා බලන පරීක්ෂණ ඇරඹීය. එම ආණ්ඩුව තිබුණ කාලයේ රජයේ කොන්ත‍්‍රාත් හා සේවා වෙනුවෙන් මුදල් ගෙවා නැත. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා දක්වන පරිදි වෛද්‍ය උපකරණ හා බෙහෙත් සැපයීම වෙනුවෙන් ගෙවන්නට ඇති හිඟ මුදල රු. බිලියන 25.7කි. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රජය සැපයුම්කරුවන්ට ගෙවන්නට ඇති හිඟ මුදල රු. බිලියන 240කට වැඩි බව හෙළිදරව් විය. මෙම පසුබිම සුළු කොට තැකිය යුතු නැත. ආණ්ඩුව වෙනස් වන නමුත් රජයේ සැපයුම්කරුවන් හා සේවා වෙනුවෙන් පියැවීම් කළ යුතුය. එම මුදල් මෙරට ආර්ථිකයේ බලවත් එක කොටසකි.
මුදල් වෙනුවට ආණ්ඩුවෙන් සහතිකයක් අතට
පසුගියදා මුදල් අමාත්‍යංශය නිවේදනය කළ පරිදි රජයට කොන්ත‍්‍රාත් සපයන ලද හා සේවා සැපයුම්කරුවන්ට කොටස් වශයෙන් මුදල් ගෙවන තීරණයක් ගෙන තිබේ. එයට අනුව මහා භාණ්ඩාගාරයට මුදල් ඇති ප‍්‍රමාණය සලකා අමාත්‍යංශවලට මුදල් නිදහස් කෙරේ. ඒවායෙන් සැපයුම්කරුවන්ට ගෙවිය හැකිය. සැපයුම්කරුවන් තමන්ට අයවැය යුතු මුදල් ලබාගැනීමට අලුත් ගිණුමක් රජයේ බැංකුවල ඇරඹිය යුතු බව දැක්වෙයි. ගිණුම ආරම්භ කරන්නට අමාත්‍යංශවලින් අය විය යුතු මුදල් දැක්වෙන බිල්පත් ඉදිරිපත් කළ යුතුව ඇත. මුදල් අමාත්‍යංශය දක්වන පරිදි අවශ්‍යනම් මෙම මුදල් ඇපයට තබා බැංකුවෙන් ණය මුදලක් ඉල්ලා සිටිය හැකිය. එයට අවශ්‍ය ලේඛන අමාත්‍යංශවලින් සැපයේ. මෙම මුදල් ගෙවීම 2019-2020 මැයි මාසය දක්වා සැපයුම්වලට සීමා වනු ඇතැයි අනාවරණය වන තවත් වැදගත් කරුණකි.
මුදල් අයවිය යුතු සෘජුව රජයට සේවා සපයන හෝ කොන්ත‍්‍රාත් කරන ලද අයවලුන්ට පමණක් නොවේ. මෙම ව්‍යවසාය වටා සංකීර්ණ ජාලයක් තිබේ. ශ‍්‍රමය, යන්ත‍්‍ර සූත‍්‍ර හා අමුද්‍රව්‍ය සැපයුම්කරුවෝ වෙති. ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් නොලැබෙන විට අනු සැපයුම්කරුවන්ට ද ප‍්‍රශ්න ඇතිවෙයි. කාරක ප‍්‍රාග්ධනය සහිතව මේවා ක‍්‍රියාත්මක නොවන බව සඳහන් කළ යුතුය. සියලු ව්‍යාපාර හා සමාගම් බැංකුවලින් තාවකාලික ණය හා අයිරා ලබාගනිති. වසර ගණන් මුදල් ප‍්‍රමාද වනවිට ඒවායේ පොලිය ගෙවන්නට සිදුවෙයි. එය බරපතළ ප‍්‍රශ්නයකි. ඇති ආර්ථිකය නැති මුදල් හෙයින් මතුවන පොලියකින් විනාශ වෙයි.
ලොකු ව්‍යාපාරිකයන්ට පමණක් නොව ජනතාවට ද ප‍්‍රශ්න
රජයේ මුදල් නොලැබීම බලවත් ව්‍යාපාර හෝ සමාගම්වලට පමණක් බලපා ඇති ප‍්‍රශ්නයක් නොවේ. සාමාන්‍ය ජනතාවට ද බරපතළ ගැටලුවකි. කොන්ත‍්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන්ට ශ‍්‍රමය සැපයූ අයවලුන්ට වැටුප් නැත. අතිකාල ගෙවන්නේ නැත. ට‍්‍රැක්ටරයක්, කැටපිලර් එකක් වැඩ කළ තැනට හිඟ කුළී ගෙවීම ප‍්‍රමාද වී තිබේ. එහි ඊළඟ සමීප ප‍්‍රතිඵලය ලීසිං හෝ ණය වාරික නොගෙවීමය. සම්පූර්ණ ව්‍යූහයම අක‍්‍රමවත් වෙයි.
නොබෝදා අම්පාර ප‍්‍රදේශයේ වැසියෝ නාගරික සංවර්ධන අධිකාරියට පැමිණ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. ණය ආධාර දෙන බව කියා නිවාස ඉදිකරගැනීමට අනුමැතිය දී තිබේ. ණය හිමියෝ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල්වලින් ණයට ද්‍රව්‍ය මිල දී ගෙන නිවාස තනා ඇත. ආණ්ඩු මාරු වීම හෙයින් නිවාස වැඩපිළිවෙළ අත්හිටුවා තිබේ. ණය ගිවිසුම අත්සන් කළ අම්පාර නිවැසියන්ගෙන් අධිකාරිය වාරික අය කිරීම අරඹා ඇත. අතට මුදලක් නොලැබුණ අතර ගිවිසුම නිසා පිටස්කරට ණය වූ මෙම ජනතාවට ණය වාරිකය ද ගෙවන්නට සිදුවීම අභාග්‍යයකි.
රජයේ සැපයුම්කරුවන් හා කොන්ත‍්‍රාත් ආයතනවල සේවය කරන ලද සෑහෙන පිරිසකට දීමනා ලැබී නැති අතර රැකියාව ද අහිමි වී තිබේ. දේශපාලන වෙනස්කම් නිසා රජයේ වෘත්තීයවේදීත්වයට බලපෑම් සිදුවීම නුසුදුසුය. බැංකුවලට දෙනලිපියකින් කොටස් වශයෙන් මුදල් ගෙවීම කොන්ත‍්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට වාසියක් නමුත් ඒවා බැංකුවට ලැබුණ විගස ලොකු ණයවලට හිලව් කෙරේ. අතට නොලැබෙන්නේ දුප්පත් ජනී ජනයාටය. මෙම වැරදි ක‍්‍රමය මගින් රටට සහ ජනතාවට සෑහෙන අනර්ථයක් කර ඇත.
ආණ්ඩුවට හිස ඔසවන්නට බැරි දිග ණය ලැයිස්තුවක්
කොවිඩ්-19 වසංගතය හෙයින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාම දුර්වල වී ඇත. රජයේ ආදායම පහත වැටී තිබේ. ණය ගැනීම සීමාවක් නැත. මෙම වසරේ මුල් මාස හතර වෙනුවෙන් පමණක් බැංකුවලින් ලබා ගත් ණය ප‍්‍රමාණය රු. බිලියන තිස් හයක් බව අනවරණය වෙයි. එයට අමතරව අධිවේගී මාර්ග හා ජලාසම්පාදන ව්‍යාපෘති වෙනුවෙන් ගෙවන්නට තවත් රු. බිලියන අසූවක මුදලක් රජයට අයත් බැංකුවලින් ලබා ගෙන ඇත. ජනාධිපතිවරණයෙන් පසු වහාම වැට් බදු අඩුකර, ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත්කරන ලද අතර උපයනවිට ගෙවන බදු සීමා කළේය. දුරකතන බදු පාලනයකට යටත් කරන ලද අතර අත්‍යවශ්‍ය භාණ්ඩවලින් අය කරමින් තිබුණ බදු සංශෝධනය කරන පියවර ගත්තේය. එම පියවර ආදායම සීමා සහිත වන එක හේතුවකි.
ආදායම අඩු නමුත් මෙම වසරේ මාර්තු මුල් සතියේ එනම් ආණ්ඩුව විසුරුවා හරින්නට කලින් ගෙවිය යුතු මුදල් සඳහා අතිරේක වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය. අය වැය යෝජනා සම්මත වී නැති හා සංවර්ධන යෝජනා ක‍්‍රම වෙනුවෙන් මුදල් වෙන් කළ නොහැකි පසුබිමක එම ඇස්තමේන්තුව අනුමත කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ පෙණුනි. එහෙත් බහුතරය නැති පසුබිම තුළ එම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ බව පෙන්වා දිය යුතුය. එම ඇස්තමේන්තු අනුව ඖෂධ සැපයීම වෙනුවෙන් රු. බිලියන 10 ක්, වැඩිහිටි පොලී සහනාධාරය වෙනුවෙන් රු. බිලියන 46 ක්, ඡන්ද වියදම් වෙනුවෙන් රු. බිලියන 8 ක්, හා පොහොර සහනාධාරය වෙනුවෙන් රු. බිලියන 3ක් ආදී වශයෙන් මුදල් ගෙවි ය යුතුව තිබුණ බව දැක්වෙයි. මේවා සම්පූර්ණයෙන්ම කරගත නොහැකි තැනකට පත්ව ඇත.
ජනතාව අතට මුදල් ලැබෙන්නට නම් රජයේ මුදල් ප‍්‍රවාහය ද නිසි ලෙස ක‍්‍රියාත්මක විය යුතුය. අය වැය නැති සහ පාර්ලිමේන්තුවක් නැති පසුබිමක මුදල් අනුතමකරගත නොහැකි අවස්ථාවක කළ හැකි අන් දෙයක් නැත. කොන්ත‍්‍රාත් හා සැපයුම්කරුවන් වෙනුවෙන් නිල ලිපියක් අනුව බැංකු ණයක් ගැනීමට හෝ ඉඩ සැපයීම වැදගත් තීරණයකි. එම මුදල් ලබාගන්නා ව්‍යාපාර හෝ සේවා අංශ තමන්ගේ සුළු සැයුම්කරුවන් හා සේවකයන් වෙනුවෙන් නිසි පරිදි හිඟ මුදල් ගෙවීම අවශ්‍යය. ඒවා අතට ගෙන නැවත බැංකුවල තැන්පත් කළහොත් හෝ දේපල මිල දී ගැනීමට යොදවුව හොත් ආර්ථිකය සකීය වෙන්නේ නැත. එය අවධානයට යොමු විය යුතු තවත් වැදගත් කරුණකි.
ගාමිණී සරත් ගොඩකන්ද