2020 ජුලි 18 වන සෙනසුරාදා

කහ දැන් වහ වගේ

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 715

මේ වන විට රටේ කහ පිළිබඳ මිල අර්බුදයක් නිර්මාණය වී තිබේ. අද වන විට කහ කුඩු ග්‍රෑම් 100ක මිල රුපියල් 250ක් තරමට ඉහළ ගොස් ඇත. පසුගිය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කහ ග්‍රෑම් 100ක සිල්ලර මිල රූපියල් 100 තරම් විය. එහෙත් කොරෝනා සිද්ධි මාලාවෙන් පසු මිල විශාල ලෙස ඉහළ යාමට එක් හේතුවක් වූයේ කහ විෂබීජනාශකයක් බව සනාථ වීම නිසා රෝගයෙන් වැළකීම උදෙසා ජනතාව විශාල ලෙස භාවිතයට ඇබ්බැහි වීමය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කොරෝනා සඳහා නිපදවූ බොහෝ බෙහෙත් ද්‍රව්‍යවලට විශාල වශයෙන් කහ යොදාගැනීම නිසා ද කහ ඉල්ලුම වැඩි විය.

කහ යනු රූව ගුණ වඩන ඔසුවක් ලෙස ආයුර්වේද වෙදකමේ ඉගැන්වේ. එසේම ප්‍රබල විෂබීජනාශකයක් නිසා නිවෙසේ සහ ව්‍යාපාරික ස්ථානවල දිනපතා කහ දියර ඉසීම එදා සිට පැවතගෙන එන සිරිතකි. විවිධ කිලි නැතිවීමට ද කහ දියරෙන් සේදීම කෙරේ. විශේෂයෙන් අතීතයේ සිටම, මළගෙවල් සහ වැදුම්ගෙවල්වල විෂබීජහරණය සඳහා කහ භාවිත විය. කහ දියරෙන් නෑවීම විවිධ බෝවන රෝගවලදී සිදු කෙරේ. රෙදිපිළි වර්ණ ගැන්වීමට මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා ද කහ යොදා ගනී. 
Curcuma Domestica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කහ සින්පිබරේසියේ කුලයට අයත් වේ. පැරණි ගෘහණියෝ කහ ගලේ අඹරා භාවිත කළ අතර, අද කහ කුඩු ලෙස පරිභෝජනයට ගනිති.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව දේශීය පාරිභෝජනය සඳහා වසරකට වියළි කහ මෙට්‍රික් ටොන් 6800ක් පමණ අවශ්‍ය වෙයි. 2018 වසරේ දී දේශීය අමුකහ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000 වූ අතර, දේශීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙට්‍රික් ටොන් 5000ක් පමණ ආනයනය කර ඇත. ඒ සඳහා වැය වී ඇති මුදල රැපියල් මිලියන 1000ක් තරම් වේ.

මෙහිදී පැනනගින ප්‍රශ්නය වනුයේ වාර්ෂික නිෂ්පාදනය පාරිභෝජනයට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වී තිබියදී කහ ආනයනය කරන්නේ ඇයිද යන්නය. කහ ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍රයක් ද අවශ්‍ය බැවින් ආවට ගියාට පිටරටින් කහ ගෙන්වීමට නොහැකිය. එසේ නම් රට විදේශ විනිමය අර්බුදයක පැටලී සිටින අතරේ, කහ ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කරන්නේ ඇයිද යන්න ගැටලුවකි. මෙහිදී විවිධ දේශපාලන බලපෑම් මේ තාක් සිදුව ඇති අතර, මහා පරිමාණ දූෂණ ද සිදුව තිබෙන බව දැනගන්නට ඇත.

දැනට උද්ගතව ඇති ඊළඟ ගැටලුව වන්නේ බලපත්‍ර ලබා නොගෙන සොරෙන් ගෙන්වූ කහ කන්ටේනර් 56ක් දැන් මාස 5-6ක කාලයක සිට වරායේ රඳවාගෙන තිබීමය. මෙලෙස රේගුවෙන් රිංගා කහ ගෙන ඒම අද ඊයේ සිදුවන දෙයක් නොවන අතර, දීර්ඝ කාලයක සිට මෙම මාෆියාව ක්‍රියාත්මක වන බව දැනගන්නට තිබේ. දැනට වරායේ රඳවා තිබෙන කන්ටේනරයක කහ කිලෝග්‍රෑම් 18,000ක් පමණ අඩංගු වන අතර, කිලෝවක් ගෙන ඒමට වැයවන මුදල රැපියල් 350ක් පමණ වෙයි. වර්තමාන වෙළෙඳපොළේ මිල කිලෝව රුපියල් 2500 ඉක්මවා තිබේ. මේ අනුව එක කන්ටේනරයකින් රුපියල් කෝටි 1 ½ක පමණ ලාභ ඉපැයීමට හැකි බව දැනගන්නට තිබේ. මෙම අපනයනකරුවන් රජයේ නීති නොසලකා මේවා ගෙන්වන්නේ කිහිපයක් හසුවී එකක් හෝ පන්නාගන්නට ලැබුණහොත් එයින් ලබන ලාභයෙන් හසුවන ඒවායේ පාඩුව පියවා ගැනීමට හැකිවීම නිසාය. 

එසේම කහ රහසේ මෙරටට ගෙන්වන තවත් ක්‍රමයක් ද ඇති බව පිටකොටුවේ තොග වෙළෙන්දෝ පවසති. එය නම් අල, ලූනු, මිරිස් ආදී කන්ටේනර් තුළ සඟවාගෙන ඒමය. එවිට කහ කැබලි සොයාගැනීමට නොහැකි වේ. මෙහි තවත් පැත්තක් වන්නේ කහ සමඟ මුලින් කී ද්‍රව්‍ය ආනයනය කරන්නන් කහවලින් විශාල ලාභයක් ලබන නිසා තමන් ගෙන එන අල, ලූනු, මිරිස් ආදිය ඉතාම අඩු තොග මිලකට අලෙවි කිරීමට පෙළඹ සිටීමය. එයට හේතුව එයින් සිදුවන අලාභය කහ නිසා ආවරණය කරගත හැකි වීමය. මේ නිසා තමන් නිසි පරිදි ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් විශාල හිරිහැරයකට තමන් පාත්‍රවන බව ඔවුහු කියති. ඔවුන් මේ පිළිබඳ අවශ්‍ය බලධරයන්ට දන්වා ඇති නමුත් තවමත් මේවා පරීක්ෂා නොකරන බව ඔවුහු කියති.

පාරිභෝගික සේවා අධිකාරියෙන් දැනගැනීමට හැකිවූයේ කහ කුඩු සඳහා කිලෝවකට රුපියල් 750ක පාලන මිලක් පනවා ඇති අතර, එම මිල ඉක්මවා අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය. එසේ වුවද අප ලබා ඇති අත්දැකීම් අනුව මේ වන විට ග්‍රෑම් 100 රුපියල් 200-250ට ප්‍රසිද්ධියේ අලෙවි කිරීම පාලනය වී නොමැති බව කිව යුතුය. එවැනි වාතාවරණයක මිල පාලනයක් ඇතිකිරීම විහිළුවක් බව කිව යුතුව ඇත. එසේම මිල ඉහළ නිසා කහ කුඩුවලට පාන් පිටි ආදී අපද්‍රව්‍ය මිශ්‍ර කර විකිණීම ජයටම සිදුවෙමින් පවතින අතර ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් මේ පිළිබඳ සැලකිල්ලක් දක්වන බවක් දැනගන්නට නැත.

මෙහිදී දැනගන්නට ඇති සුවිශේෂීම කාරණය වනුයේ කහ කුඩුවලට කිලෝවට රුපියල් 750ක පාලන මිලක් පැනවුවද, කහ කැබලිවලට කිසිදු මිල පාලනයක් සිදුකර නොමැති වීමය. රටට කහ ආනයනය කරනුයේ කුඩු වශයෙන් නොව කැබලි වශයෙනි. එසේ තිබියදී කහ කැබලි මිල පාලනය නොකර කුඩුවලට පමණක් උපරිම මිලක් නියම කිරීම විහිළුවක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. මේ තත්ත්වය මත වෙළෙඳපොළේ කහ කුඩු මිල පාලනය කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වී ඇත. කහ කැබලි කිලෝව රුපියල් 2500 ගණනේ විවෘත වෙළෙඳපොළේ අලෙවි වන්නේ මේ නිසාය. දැනට ඇති අසාධාරණ මිල අඩු කිරීමට නම් කළ යුතු වන්නේ රේගුවේ රඳවාගෙන ඇති කහ කන්ටේනර් 56 රාජසන්තක කර එම කහ රජය මගින් අලෙවි කිරීම හෝ ප්‍රධාන පෙළේ කුළුබඩු ව්‍යාපාරිකයන් ලවා සාධාරණ මිලකට අලෙවි කිරීම බව මිල විශ්ලේෂකයෝ පවසති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ,

විශ්වවිද්‍යාල සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අනුබද්ධව රට තුළ බෝග වර්ග 16ක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මෙම වැඩපිළිවෙළ තරමක් දුරට අකර්මණ්‍යව තිබිලා දැන් නැවත ආරම්භ වී තිබෙනවා. මෙම බෝග වර්ග 16ට කහ ද අඩංගුයි. රට තුළ කහ වගා කිරීම ප්‍රවර්ධනය කිරීමට අදාළ වැඩසටහන් මේ වන විට කරගෙන යනවා. එයට විශේෂයෙන්ම ගෙවතු වගාව ද සම්බන්ධ කරගෙන තිබෙනවා. එහි යම් ප්‍රගතියක් දක්නට ලැබෙනවා.

කහ කිලෝ ගණන් පාවිච්චි කරන්නේ නැහැ. සුළු වශයෙන් ගන්නා කුළුබඩු විශේෂයක්. අපට අවශ්‍ය කහ ප්‍රමාණය රට තුළ වගා කළ හැකියි. හැම පවුලකටම තමන්ට අවශ්‍ය කහ ප්‍රමාණය ගෙවත්තේ වගා කළ හැකියි. පිටත සුළු ඉඩක් තියෙන අයට වුවද පෝච්චිවල කහ පැළයක් දෙකක් ඉන්දවන්න පුළුවන්. වාණිජව විශාල ලෙස කහ නිපදවන අයට හානිදායක නොවන පරිදි ගෙවතු වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම අපේ අරමුණ වෙනවා. විශ්වවිද්‍යාල සිසුන් මෙම වගාවලට යොමුකිරීමේ පාඨමාලා වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා.

කහ ආනයනය කිරීමට විදේශ විනිමය වැය නොකර අපට අවශ්‍ය ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය කිරීමට යොමුවීම වැදගත්. දැනට රජය ආනයනය පාලනය තුළින් විදේශ විනිමය පිරිමසාලීමේ උත්සාහයක නිරත වී සිටින නිසා අපට අවශ්‍ය කහ ආනයනය නොකර රට තුළ වගා කිරීම පිළිබඳ ජනතාව තුළ උනන්දුවක් ඇතිකිරීමට කටයුතු කළ යුතුයි. කෙසේ වුවත් කහ වගාව ප්‍රවර්ධනය තුළින් දේශීය ගොවියාට වාසිදායක වනවා හැර අසාධාරණ ලෙස මිල නැංවීම පාලනය කිරීමට පුළුවන්. ඒ ගැන වගකිවයුත්තන් අවධානය යොමු කළ යුතුයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරැණාරත්න පවසන්නේ කහ මිල මෙලෙස ඉහළ යාමට හේතුව මේ තුළ එක්තරා ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක වීම බවය.
පසුගිය කොරෝනා වසංගත සමයේ රටේ කහ ඉල්ලුම ඉහළ ගියා. එයට හේතුව විෂබීජනාශකයක් ලෙස කහ පාවිච්චි කිරීමයි. විශේෂයෙන් කොරෝනා පාලනයට කහ හොඳ බවට මතයක් පළ වුණා. මෙම ඉල්ලුම වැඩිවීම නිසා කහ පිළිබඳ කළු කඩයක් නිර්මාණය වුණා.

මෙහි විකෘතිය වන්නේ රටේ කහ ඉල්ලුම ඉහළ ගොස් තිබියදී අම්පාර වැනි කහ වැඩියෙන් වගා කරන දිස්ත්‍රික්කවල කහ අලෙවි කිරීමට පවා නොහැකි වී තිබීමයි. එයින් ගොවියා අමාරැවේ වැටිලා කහ වගාවෙන් ඉවත් වීමට පෙළඹීමයි. නාමල්ඔය ව්‍යාපාරයේ කහ විශාල ලෙස වගා කරන ගොවියන් අලෙවි කර ගැනීමට නොහැකි වීම ගැන පසුගියදා මට ද පැමිණිලි කළා. මා ඒ අයට වෙළෙඳුන් යොමු කිරීමට පවා ක්‍රියා කළා. රටේ කහ අලෙවි කර ගන්න බැරුව සිටියදී ආනයනය කරනවා. රට තුළ නිසි සාධාරණ මිලක් ඇතිකරන්න බැරිවීම නිසා ගොවියාත් පාරිභෝගිකයාත් අමාරැවේ වැටිලා. මෙය අයහපත් කළමනාකරණයේ ප්‍රතිඵලයක්.

මෙම මිල වැඩිවීම තුළ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ආනයනය පාලනය කිරීම ද මෙයට හේතුවක්. මේ තුළ දේශපාලනයට සම්බන්ධ යම් දූෂණයක් සිදුවෙන බවට අපට සැකයක් ඇතිවෙනවා. අපේ රටේ මෙයට පෙර අත්දැකීම් අනුව මෙම තත්ත්වය දේශපාලනඥයන්ගේ මෙහෙයවීමෙන් සිදුවෙනවා ඇති. කහ මිල පාලනය කළාට වැඩක් නැහැ ඒ මිලට ගන්න බැරි නම්. කහ නිෂ්පාදනය කරන ගොවියාට සාධාරණ මිලට අලෙවි කර ගැනීමට පහසුකම් දිය යුතු අතර, වෙළෙඳපොළේ සාධාරණ මිලක් ඇතිකිරීමට රජය කටයුතු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසන්නේ දැනට ගෙන්වූ කහ කන්ටේනර් 56ක් වරායේ හිරවී ඇති බවය. ඒවා වැඩි කොටස ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. මෙම කහ කන්ටේනර් ගොඩබෑමට ඉඩ නොලැබී ඇත්තේ ඒවා ආනයන බලපත්‍ර නොමැතිව ආනයනය කර ඇති බැවිනි. ඒවා ආනයන පාලන බලපත්‍රයක් ලබා නොගෙන ගෙන්වා ඇත. මේවාට බලපත්‍රයක් ලබාගත යුතු බව ආනයනකරුවන් දැන සිටිය යුතු බව ඔහු කියයි. මේ පිළිබඳ දැනට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහි නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇත. මෙම කහ ගොඩබෑමට හැකි වුවහොත් දැනට රටේ පවතින කහ හිඟය දුරැ වනු ඇති බව ඔහුගේ අදහසයි. එසේ වුවද දැනට පවතින විමර්ශන කටයුතු අවසන් වනතුරු කුමන පියවරක් ගනී ද යන්න පිළිබඳ කිසිවක් පැවසිය නොහැකි යැයි ඔහු කියයි.

► යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02