2020 ජුලි 18 වන සෙනසුරාදා

වත්කම් බැරකම් නොකියන මන්ත්‍රීවරුන්ට වෙන්නෙ මොකක්ද?

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

“බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවෙයි.”

ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයකු හා දේශපාලන ලේඛකයකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ විසින් සිදුකළ මෙම ප්‍රකාශය දේශපාලන විද්‍යාව උගත් බොහෝ දෙනෙක් දනිති. මෙම ප්‍රකාශ ප්‍රායෝගිකව අත් නොවිඳි කෙනෙක් මේ ලොව තුළ නොමැති තරම්ය. අප ඒ කතාව කීවේ මෑතකාලීන සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වූ වත්කමයි බැරකම් නීතිය පිළිබඳ සාකච්ඡාවට පූර්විකාවක් ලෙසය.

පසුගියදාක මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව කී කතාව අප කතාවේ නිමිත්ත වේ. ඔහු කීවේ ඉදිරි මහ මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීන් නාමයෝජනා භාරදී මාස තුනක් ඉක්මවීමට පෙර සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුනහොත් ඔවුන්ට මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයේ අසුන්ගෙන ක්‍රියා කිරීමට කිසිදු නීතිමය ඉඩක් නැති බවයි. ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශයේ නෛතික පදනම පැහැදිලි කර ගැනීමට උත්සුක වූයේමු. 

ඊට නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පළමුව අපි සම්බන්ධ කර ගතිමු.

“අල්ලස් පනත යටතේ වත්කම් බැරකම් පිළිබඳව විශේෂ ප්‍රතිපාද සඳහන් කරලා තිබෙනවා. වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයක් සෑම රජයේ සේවකයකුම ආයතනයේ ප්‍රධානියාට ලබාදීම සිදුකළ යුතුයි. ඊට අමතරව පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් රජයෙන් වැටුප් ලබන, දීමනා ලබන පුද්ගලයන් නිසා ඔවුන් මේ පනත යටතේ මේ වගකීමට බැඳෙනවා. ඒ නිසාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැහැදිලිවම වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුමයි. යම්කිසි කෙනෙක් එලෙස ඉදිරිපත් නොකර සිටින්නේ නම් අල්ලස් කොමසාරිස් ජෙනරාල්තුමාට ඒ අයට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරන්න පුළුවන්. නමුත් ඊට තිබෙන දඬුවම දඩය ඉතාම සුළු මුදලක්. කොහොම වුණත් වරදකරු වුණොත් ඔහුගේ රැකියාව සම්බන්ධ ගැටලුවක් මතුවෙනවා. මන්ද රජයේ සේවකයෙක් හැටියට ඒ පුද්ගලයා තමන්ගේ කර්තව්‍යය හරියාකාරව ඉටු කරලා නෑ.”

මෙම ප්‍රකාශ ලබාදීම කෙසේ වෙතත් මේ දිනවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම්වල තරම ජනතාවට දැනගත හැකිය. මහජන නියෝජිතයකු වී අපට සේවය කිරීමට ඔවුහු මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් ලක්ෂ හාර පන්සීය වියදම් කරමින් සිටිති. ඔවුන් මී කඩන්නේ අත ලෙවකන්න නොවන බව දැන් රටම දනී. රාජ්‍ය සැපයුම් කොන්ත්‍රාත් කරන යටිතල පහසුකම් ව්‍යාපෘති ආදියෙන් දේශපාලකයෝ ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස්, කොමිස්, සන්තෝසම් ලබාගැනීම  ප්‍රසිද්ධ රහසකි. අල්ලස් පනතින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම හරහා බලාපොරොත්තු වන්නේ මෙවන් අයථා ඉපයීම් නතර කිරීමයි. නමුත් එය ප්‍රාමාණිකව සිදුවෙනවාද යන්න ගැටලු සහගතය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය සංවිධානයේ [PAFFREL] විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් මේ සම්බන්ධව විමසීමක් කළෙමු.

“නීතියට අනුව අපේක්ෂකයෙක් නම් වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරී පත්වුණාට පස්සේ කතානායකවරයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇමැතිවරයෙක් වුණොත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේවායින් වෙන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ අරගෙන එම තොරතුරු සේප්පුවක බහා තැබීම විතරයි. අප මාර්තු 12 ව්‍යාපාර විදිහට දේශපාලකයන්ට යෝජනා කළේ සහ තවදුරටත් යෝජනා කරන්නේ ඔබ ගෞරවනීය නම් මේ තොරතුරු මහජනතාවට ඉදිරිපත් කරන්න.”

මෙහි අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයද රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අවධානයට යොමු කළෙමු.

“වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා ලබාදීමෙන් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් අපි මැතිවරණ කොමිසමෙන් ලිඛිතව විමසා තියෙනවා වත්කම් බැරකම් ඉදිරිපත් කළ නොකළ පිරිස කවුද කියන එක. නමයෝජනාවලින් දැන් මාස තුන ඉකුත්වෙලා. සමාන්‍යයෙන් මාස තුනක් ලැබෙනවා. අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට තේරීපත් වුණොත් තවත් මාස තුනක් ලැබෙනවා. නමුත් පරාජිත අපේක්ෂකයන් මාස තුන ඇතුළත දෙන්නම ඕනෑ. එහෙම නැත්නම් අල්ලස් කොමිසමට පුළුවන් නඩුදාන්න. ප්‍රශ්නය තියෙන්නේ මේ දක්වා අල්ලස් කොමිසම නඩු දාලා තියෙනවාද කියන එක.”

1988 අංක 74 දරන වත්කම් බැරකම් සංශෝධන පනත අනුව, මහජනතාවට මෙම වත්කම් බැරකම් ප්‍රකාශ මුදලක් ගෙවා ලබාගත හැකි බව අප කළ සොයා බැලීමේදී දැනගත හැකිවිය. කෙසේ වෙතත් දැන් තොරතුරැ දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට ලබාගැනීමේ හැකියාව තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එලෙස තොරතුරු ලබාගෙන ඇත. ඔවුන් පසුගිය සමයේ 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදුනොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වත්කම් බැරකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුවූයේ මෑතකාලීනවය. ඒ හරහා සාධනීය ලෙස ගතහැකි සිදුවීම් කිහිපයක් මෑතකාලීනව සිදුවිය. තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් හිටපු අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට පත්කිරීමට කළ නියෝගය එවැන්නකි. ඊට අමතරව තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්තිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක සහ සයිඩ් අලි සහීරි මව්ලානා යන මන්ත්‍රීවරුන් හත්දෙනා සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කළහ. විශාල අවධානයක් නොවූවද එය ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බව කිව යුතුය. එය නව දේශපාලන සංස්කෘතිකට මුල්ගල් තැබීමකි.

කෙසේ නමුත් වත්කම් බැරකම් ප්‍රකාශන ලිපිගොනු තවමත් පොදු ජනතාවට බොහෝ දුරය. ඒවායේ නිරවද්‍යභාවය තහවුරු කරගැනීමටද ගැටලු සහතය. එසේම මෙම ලේඛන ලබාගත හැකිවන්නේ අධිකරණ නියෝගයක් මත පමණක් බව ඇතැම්හු තවමත් සිතා සිටිති. ඒ කුමක් වුවද වර්තමාන නීතිය යටතේ ඕනෑම පුද්ගලයකුට වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත හැකිය. එම ප්‍රකාශ සම්බන්ධව පැමිණිලි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමුකළ හැකිය. කෙසේ වෙතත් මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධ ගැටලුවක් තිබේ.

අපි නැවත ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා වෙත යොමුවීමු. වත්කම් බැරකම් පැමිණිලි සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වන ආකාරය අපි විමසා සිටියෙමු.

“ඉතාමත් කලාතුරකින් තමයි මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පවරන්නේ. වෙනත් රාජ්‍ය සේවකයෙක් සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් වුණොත් නම් පෙත්සම සම්බන්ධව කටයුතු කරලා අදාළ වත්කම් පිළිබඳ සොයාබැලීමක් සිදුවෙනවා. බැලූ බැල්මට ඔහු ලබන වැටුපට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් යම් කාලසීමාවක ඔහු සතුව තිබුණොත් එම උපයා ගැනීම සම්බන්ධව පැහැදිලි කරන්න අවස්ථාව දෙනවා. ඒ පැහැදිලි කිරීම පිළිගත නොහැකි නම් අල්ලස් කොමිෂන් සභාව විසින් ඒ අයට විරුද්ධ මහා අධිකරණයේ වත්කම් නඩුවක් පැවරීම සිදුවෙනවා. මේ තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාවේ වගේම රජයේත් වගකීමක්. එහෙම වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකු වත්කම් පනත අයතේ නඩු පවරන්න පුළුවන්. වත්කම් පිළිබඳ මහාධිකරණයේ වරදකරැවෙක් වන මන්ත්‍රීන් සම්බන්ධව ගත්තාම ප්‍රජා අයිතිවාසිකම් නැතිකරලා මන්ත්‍රීකම අහෝසි කරලා සිරගත කිරීම දක්වා දඬුවම් නියම කිරීමේ හැකියාව තිබෙනවා.”

පුරවැසියන් ලෙස මෙවන් දෑ පිළිබඳ අවධානයෙන් සිටීම අපගේද යුතුකමකි. වගකීමකි. මන්ද දේශපාලකයන් අයථා ලෙස උපයාගන්නේ මහජනයා ලෙස අප සතු වත්කම්ය. බැලූ බැල්මට වත්කම් බැරකම් ප්‍රකාශයේ වැදගත්කම අවබෝධ නොවණ බව සැබෑය. එහෙත් එය කොතරම් බලවත් වැදගත් ලියවිල්ලක්ද යන්න දැන් ඔබට අවබෝධ වී ඇතැයි අපි සිතමු. මේ සම්බන්ධ ක්‍රියාත්මක වීමට ඔබටද බලයක් ඇත.

බලය විසින් මිනිසා දූෂණය කිරීමත්, අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවීමත් ලෝක ස්වභාවයමය. එනිසා අපගේ ආරක්ෂා සඳහා ඇති නීතිමය බලය පිළිබඳ අප අවබෝධ කොට ගතයුතුමය. නැතිනම් අපට හිමි දෑ සියල්ල බලවතුන් ඩැහැගැනීමට ඉඩ තිබේ. එසේ වුවහොත් අදටත් වඩා හෙට දවස භයානක වනු ඇත. 

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02