නිල්ල පිරුණු කුඹුරු යායක් මැදින් තිබෙන තාර ඇතිරූ මාර්ගයකි. වාහනයක් තබා මිනිසෙක් හෝ පෙනෙන්නට නොවූ පාරේ ඈත කෙළවර සිට තරමක වේගයෙන් ඉදිරියට එන නිල් පැහැති ත්‍රීරෝද රථයකි. හදිසියේම පාරේ වම්පසින් පිටට ගිය ත්‍රිරෝද රථය කුඹුරට ඇද වැටී රවුමක් කැරකී විසිවී ගොස් නතර වූයේ විදුලි රැහැන් කණුවක් හා ආධාරකයක් මැදින් වූ හිස් ඉඩක් මැදින් යමිනි. ඒ වනවිටත් රථයේ වහලය ගැලවී විසිවන බවත් එහි ගමන්ගත් කිහිපදෙනකු විසිවී වැටෙන බවද දකින්නට ලැබුණේ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සිදුවීම පටිගතව තිබූ බැවිනි.
වේයන්ගොඩ කොට්ටල මල්ලැහැව මාර්ගයේ කුඹල්ඔළුව ප්‍රදේශයේදී සිදුවූ මේ අනතුරෙන් මවක හා දරු දෙදෙනකු මියගොස් තවත් යුවළක් තුවාල ලැබීම බරපතළ අනතුරකි. එහිදි බරපතල තුවාල ලැබූ කාන්තාවද දින තුනකට පසුව ප්‍රතිකාර ලබමින් සිටයදී මරණයට පත් වූයේ මියගිය සංඛ්‍යාව හතර දක්වා ඉහළ නංවමිනි. ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සමඟ සමාජයේ ඇතැමුන්ට කම්පනයත් සමඟ දැඩි වේදනාවක් හා කනගාටුවක් දැනෙන්නට විය. හදිසි රිය අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ මවගේ හා දරු දෙදෙනාගේ ජීවිත කතාව තවත් දුක්බර එකකි.
මියගිය දරු දෙදෙනාගෙන් වැඩිමල් දරුවා 9 හැවිරිදිය. බාල දරුවාට මාස දාසයකි. මේ දරුවන් දෙදෙනාගේ මව සමුදිකා කුමාරි සිරිවර්ධනය. දුප්පත් මාපිය යුවළකට දාව කුලියාපිටිය ප්‍රදේශයේ උපන් ඇයට වැඩිමහල් සහෝදරයෙකි. ආර්ථික අපහසුතා මැද සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ සමුදිකා රැකියාවක් සොයාගෙන කොළඹට පැමිණියාය. ඇඟලුම් කම්හලක රැකියාවක් සොයාගත් ඇය කාලයක් පුරා එහි සේවය කළාය. වැටුපට වඩා වෙහෙස වූ ඇය බෝඩිං කාමරයක නැවතී සිටියාය. ඇගේ වෙහෙස නිවන්නට උදව්වට හෝ කෙනෙක් නොසිටි අතර උදේ සවස සිනාසෙන්නට හෝ අසල්වාසියෝ ලෙස සිටියේ තරුණයෙක් පමණය.
ඔහුත් පෙදරේරු රැකියාව සඳහා කොළඹට පැමිණ සිටි අයෙකි. සිනහසීම කතාබහ අතර ඇතිවූ ඇයි හොඳැයිය අවසානයේ පෙම්වදන් දක්වා ගොස් වැඩි කාලයක් නොයා විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඇය සිය සැමියාගේ ගම්පළාත වූ හක්මන නරාවල්පිට උතුර නිල්අඹහේන ප්‍රදේශයේ පදිංචියට ගියාය. වසරක පමණ ඇවෑමෙන් සමුදිකා කුළුඳුල් දරු උපත සිදුකළාය. පිරිමි දරුවකු උපන් අතර ඇය හා සැමියා අතර විරසක අඬදබර ගැටුම් හටගෙන තිබුණේ ඉන් වැඩි කලක් යන්නට පෙරය. සැමියා හා පවතින ගැටුම් අඩුවක් නොවුණු කළ ඇය තීරණයකට එළැඹුණාය. තම දරුවා සමග ඇවැසි බඩු මුට්ටු කිහිපයක් රුගෙන සැමියාගේ නිවසින් පිටත්වූ සමුදිකා පැමිණියේ කඩවත නගරයටය. ඒ ආසන්නයේ පිහිටි ඥාති නිවසක නැවතුණු ඇය යළිත් රැකියාවකද නිරත වූවාය.
ඥාති නිවැසියන්ට මහා සහනයක් ගෙනදෙමින් වැඩපලට උදව් දෙමින් එහි රැඳී සිටි සමුදිකා අසල්වැසියන්ගේත් සිත් දිනා ගත්තාය. මේ අතර නිවසේ තිබූ මෝටර් රථය අලුත්වැඩියාව සඳහා පැමිණි කාර්මික ශිල්පියෙකි. දින ගණනාවක් එම නිවසට ආගිය ඔහු සමඟ සමුදිකාට හිතවත්කමක් ඇතිව තිබිණ. ප්‍රියමනාප යහපත් චරිතයක් බවට හැඟී ගිය එකී කාර්මික ශිල්පියාගේ ඇසුර ඥාතීන්ට දන්වා කැමැත්ත ලබාගෙන තිබිණ. ඒ අනුව සමුදිකාගේ දරුවාත් සමඟ නව ජීවිතයක් අරඹන අදහසින් එක වහළක් යටට යන්නට තීරණය කළ දෙන්නා යක්කල පිටවල්ගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිට ඇත. ඒ මීට වසර පහකට පමණ පෙර සිටය.
සැමියාත් අසල්වැසියන් සමගත් සුහදශීලී ජීවිතයක් ගතකරමින් සිටි සමුදිකා පෙර විවාහයෙන් වෙන්ව සිටියද එහි නීත්‍යානුකූල කටයුතු අවසන් කොටගෙන තිබුණේ මාස හයකට පෙරය. ඒ වනවිටත් අනියම් සැමියා සමග ජීවත් වූ ඇයට ඔහුට දරැවෙක් ලැබුණේය. උදාන රශ්මික නම්වූ දරුවාගේ වයස මාස දාසයකි. පෙර විවාහයෙන් වෙන්වන්නට මත්තෙන් උපන් දරුවාගේ නමේ වාසගමට පෙර විවාහයේ සැමියාගේ නම භාවිත කිරීමට මව කටයුතු කොට තිබුණාය.
පසුගිය දිනෙක සැමියා රුකියාව සඳහා පිටත්ව ගිය අතර වාරයේ සමුදිකාට ලැබුණු දුරකථන ඇමතුමකි. කුලියාපිටිය ඇයගේ මහගෙදරින් ලැබුණු පණිවුඩයෙන් ඇයට දන්වා තිබුණේ සිය මව අසනීපයෙන් පසුවන බවකි. ඒ බව සැමියාට පවසා අවසරගෙන මව බැලීමට යාමට සැරසුණාය. එහිදී ස්වාමියා කියා තිබුණේ තනියම නොයන ලෙසත් අසල්වැසි හිතවතාගේ ත්‍රිරෝද රථයෙන් ගමන පිටත්වන ලෙසත්ය. ඊට එකඟ වූ ඇය එම ත්‍රිරෝද රථයෙන් ගමන පිටත් වූවාය. අසල්වැසි හිතවත් යුවළ සමඟ දරු දෙදෙනා රථයේ පිටුපස සිටියදී සමුදිකා ත්‍රිරෝද රථය පැදවූවාය.
වාහන අඩු කෙටි මාර්ග ඔස්සේ කුලියාපිටියට යන්නට සිතූ සමුදිකා එකිනෙකාගෙන් පාර අසාගෙන යක්කල, කලගෙඩිහේන, වේයන්ගොඩ හරහා මීරිගම දෙසට යමින් සිටියාය. කොට්ටල හන්දිය පසුකර මල්ලැහැව දෙසට යන අතරතුර වෙල්යාය පසුකරමින් සිටියදී රථයේ වේගය වැඩිවී තිබිණ. ඒ බව තේරැම්ගත් පසු අසුනේ සිටි යුවලෙන් පිරිමි පුද්ගලයා රථයේ වේගය අඩාල කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් ඊට අවස්ථාවක් ලැබී නැත. ක්ෂණිකව මාර්ගයෙන් පිටට පැන්න ත්‍රිරෝද රථය පෙරළී ගියේ ඉන්පසුවය. අනතුරින් පසු එතැනට පැමිණි ප්‍රදේශවාසීන් බරපතළ තත්ත්වයේ පසුවූ රථයේ රියැදුරා වූ මව හා දරු දෙදෙනා සමග අනෙක් යුවළ වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ. ඒ වනවිටත් මව හා පුතු දෙපළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ තිදෙනාගේම මොළවලට වූ බරපතළ තුවාල හානි නිසා මරණය සිදුව ඇති බවය.
මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුරු ඥාතීන්ට බාර කිරීම ගැටලුවක්ව පැවතිණ. විවාහක සැමියාට සිරුරු බාරදීම නීතියම තත්ත්වය වුවද එහි යම් ගැටලු පැනනැගි හෙයින් කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා හා අනියම් සැමියා එක්ව සාකච්ඡා කොට තීරණය කර තිබුණේ ඉකුත් 14 වැනිදා මළසිරුරු ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමටය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා
වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන