පසුගිය සතිය ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පාසල් වසා දැමීමට තීරණය ගෙන තිබුණි. ඒ අනුව නිකුත් වූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන්ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා මේ තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් පාසල් නැවතත් ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අධ්‍යාපන අමාත්‍යාංශ අප මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ලබාගෙන නොතිබුණි. මාධ්‍ය කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර පවසා තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සලකා බලා එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන සාකච්ඡාවකදී අදාළ තීරණය ගන්නා බවයි.
කොවිඩ් වසංගතය සමඟ වසා දැමුණු පාසල් පද්ධතිය නැවතත් ආරම්භ කිරීම සිදුවූයේ ජූනි 29දා සිට අදියර හතරක් යටතේය. පළමුව ගුරුවරු සහා කාර්යමණ්ඩල පාසලට පැමිණීම සිදුවූයේය. අනතුරුව ජූලි 6 වැනිදා පිළිවෙළින් 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 13 ශ්‍රේණිය දරුවන් සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ විය. එළඹෙන සඳුදා (ජූලි 20) සිට තෙවැනි අදියර යටතේ 12 සහ 10 ශ්‍රේණිවලට දරුවන් පාසල් පැමිණීමට නියමිත තිබුණි. නමුත් පවතින තෙවැනි අදියර ක්‍රියාත්මක වීම සම්බන්ධව නිශ්චිත තීරණයක් තවමත් ලැබී නැත.
පසුගියදා පාසල් දරැවකුට කොරෝනා ආසාදනය වීමේ පුවත් රාජාංගණය යාය 05 ප්‍රදේශයෙන් වාර්තා විය. එම දරැවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 11 හැවිරිදි වියේ පසුවූ දරුවෙකි. මේ අතර රාජාංගනය ප‍්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු 100 දෙනකු සඳහා පසුගියදා PCR පරීක්ෂණ සිදුකළ බවද අප වෙත වාර්තා විය. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේද පාසල් ආරම්භ කිරීම සම්බන්ධව යම් යම් ප්‍රචාර පැතිර යමින් තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ එවන් ප්‍රචාරයන් නොරැවටෙන ලෙස දෙමාපියන්ට දන්වා සිටී.
ඒ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධව පාර්ශව කිහිපයකින් අපි අදහස් විමසා සිටියෙමු.
තීන්දු ගැනීමේදී ගුරුවරු එක්කත් කතා කළ යුතුයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
මේ තාවකාලිකව පාසල් නිවාඩුදීම ඔවුන් සඳහන් කරලා තියෙන්නේ වෙනම කාරණාවක්. සමාජය මාධ්‍ය හරහා පැතිරෙන තොරතුරු නිසා දෙමාපියන් බියවීම නැවැත්වීම සහ පාසල් දරුවන් සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට කාලය ලබා ගැනීම තමා හේතුව විදිහට දක්වලා තියෙන්නේ. නමුත් මෙතැන කොතැනකවත් දාලා නෑ කොවිඩ් පැතිරෙන නිසා නිවාඩු දුන්නා කියලා.
පාසල් ආරම්භ කරපු පසුගිය හයවැනිදා ඉඳලා අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වුණේ ලේකම්වරයාගේ නියෝගයන්ට පටහැනිව. මේ හරහා අනතුරුදායක තත්ත්වයක් තමා මතුවෙන්නේ. දැන් නැවතත් වැඩපිළිවෙළක් හදනවා කියලා තියෙනවානේ පාසල් පටන් ගන්න. නමුත් ඒ වැඩපිළිවෙළ තාම හදලා නෑ. ඇත්තටම එහෙම එකක් හදනවා නම් ඒ සම්බන්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන ගුරැවරයකු එක්කත් කතා කරන්න ඕනෑ
අනික් අතට අපි කියනවා ආණ්ඩුවට තොරතුරු වසන් කරන්න එපා කියලා. පාසල් ළමුන් අතර මේක පැතිරිලා තිබෙන පසුබිමක තොරතුරු වසන් කිරීමෙන් කටකතා පැතිරිලා ආණ්ඩු පැත්තෙන්ම තමා ප්‍රශ්නය වෙන්නේ. දැනට යන විදිහටම ගියොතින් තත්ත්වය භයානකයි. මාධ්‍යවලින් කොවිඩ් ඉවරයි කියලා සම්මානත් දීලා ඉවරයි. ලක්ෂ සංඛ්‍යාත දරුවෝ ඉන්නවා අපේ පාසල් පද්ධතිය තුළ. ඒ නිසා රජයට මේ සම්බන්ධව දැවැන්ත වගකීමක් තිබෙනවා. පහුගිය කාලේම ගත්තේ විටින් විට වෙනස් වන තීන්දු. අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය එකතුවෙලා ස්ථිර සෘජුව තීන්දු ගන්න.
සෞඛ්‍ය රැකගෙන පටන් ගැනීම වැදගත්
ජාතික පාසල් විදුහල්පතිවරයෙක්
පහ එකොළහ ශ්‍රේණිය පටන් ගැනීම වැදගත්. එහෙම නොවුණොත් ලබන ජනවාරිවල පාසල්වලට දරුවන් යැවීම ගැටලුවක් වෙනවා. සමහර පාසල් පටන් ගන්නේ හය ශ්‍රේණියෙන්. සාමාන්‍ය පෙළ විභාගයත් දරුවන්ට එහෙම්ම ඉතිරිවෙලා තිබෙනවා. ඒ නිසා දුරස්ථභාවය ආරක්ෂා කරගෙන සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ ශ්‍රේණි දෙකේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වැදගත්. 13 ශ්‍රේණියේ දරැවන්ගේ නම් පසුගිය සතිවල පැමිණීම හොඳ මට්ටමක තිබුණේ නෑ. ඒ දරුවෝ විභාගයට සූදානම් වෙනවා.
පාසල් ආරම්භ කිරීමේ සැලසුම අනුව එළඹෙන සතියේ තවත් ශ්‍රේණි කිහිපයක් ආරම්භ වෙන්න තිබුණා. එතැන පොඩි ගැටලුවක් තිබෙනවා. පවතින තත්ත්වය මත 5 සහ 11 ශ්‍රේණි දෙක අතරට අනෙකුත් ශ්‍රේණි ආවොත් ටිකක් තත්ත්වය සංකීර්ණ වෙනවා. කොහොම නමුත් ජනජීවිත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන නිසා 5 සහ 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නම් බාධාවක් නෑ. අවදානම් ප්‍රදේශවට නම් යාම විශේෂ සැලකිල්ලක් කරන්න වෙයි. කොහොම නමුත් සියල්ල සෞඛ්‍ය ආරක්ෂිතව සිදුවෙන්න ඕනෑ. මේ අපේ දරුවෝ.
අවසන් තීරණය අමාත්‍යාංශය අතේ
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ
අධ්‍යාපන අමාත්‍යාංශ අපි සමඟත් කතා කරලා ඉතාමත් සංවේදී විදිහට දරැවන්ගේ පාසල් කටයුතු සතියකට නැවැත්වීමේ තීරණ ගත්තා. අවසාන වශයෙන් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට තීරණය කරන්න පුළුවන් නැවතත් පාසල් ආරම්භ කරනවාද නැද්ද කියන කාරණාව.
නමුත් ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරන්නේ අනික් කරැණවලදී ප්‍රකාශ කරා වගේම ස්ථානීය වශයෙන් මේ සඳහා කටයුතු කළ යුතුයි කියන කාරණය. සමස්ත ශ්‍රී ලංකාවේම පාසල් වැසීම නොව පවතින තත්වයන් අනුව කටයුතු කිරීමට ඉඩකඩ තිබෙනවා. එහෙත් එය තීරණය කිරීම අවසාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙනවා.
චමිඳු නිසල් ද සිල්වා