2020 ජුලි 18 වන සෙනසුරාදා

කළු ජූලියේ ආරම්භය ඇසින් දුටු හමුදා නිලධාරියා

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

දෙවියන්ගේ කුඹුරුයාය යන අරුත ඇති තිරුනෙල්වේලිය පිහිටා ඇත්තේ යාපනය නගරයේ සිට කිලෝමීටර් 5ක පමණ දුරිනි. එහි සිට විශ්වවිද්‍යාල හන්දිය දෙසට කිලෝමීටරයක් පමණ ගමන් කරන විට තැපැල් පෙට්ටිය හන්දිය හමුවේ. එම කුඩා මංසන්ධියට එම නම වැටී ඇත්තේ එම ඇති තැපැල් පෙට්ටිය නිසාය. වර්තමානයේ එම ස්ථානය කඩ සාප්පුවලින් පිරුණු ජනාකීර්ණ ප්‍රදේශයක් වුවද මින් 37 වසරකට පමණ ඉහත එම ප්‍රදේශය ජනශූන්‍ය කලාපයක් විය. එම ස්ථානය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත විනාශයකට මග පෑදූ සිදුවීමකට මුල්වූ ස්ථානයක් විය. එනම් කඵ ජූලියට මුල් වූ ස්ථානය විය.

1983 ජූලි මාසය වන විට යාපනය දිස්ත්‍රික්කය පුරා එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් තිබිණි. යාපනයේ ඡන්ද වර්ජනය කිරීම්, දේශපාලන ඝාතන හා හමුදාවට එල්ල කළ ප‍්‍රහාර නිතර දැකිය හැකි විය. ප‍්‍රභාකරන්ගේ සමීපතමයකු වූ චාල්ස් ලූකස් ඇන්තනි නොහොත් සීලන් මෙම ප‍්‍රහාර වැඩි සංඛ්‍යාවකට නායකත්වය දුන් පුද්ගලයා වූයේය. චාවකච්චේරි පොලිස් ස්ථානයට පහර දුන් අවස්ථාවේ තුවාල ලැබූ ඔහු ඒ වන විට සුවය ලබා නැවත ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට එක්වී සිටියේය.
1983 ජූලි 6 වැනි දින කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කම්හලට කඩා වැදුණු ත්‍රස්ත සාමාජිකයන් පිරිසක් එහි තිබූ පුපුරුවන යන්ත‍්‍ර පහක් සොරකම් කළහ. එම මෙහෙයුමට නායකත්වය දී තිබුණේ ද සීලන් විසිනි. පොලීසිය හා හමුදාව මොවුන් පිළිබඳව ඇස ගසා සිටි අතර මීසාලෙයි ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් පිරිසක් සැඟව සිටින බවට හමුදාවට ඔත්තුවක් ලැබුණේ මේ අතරතුරය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා භට පිරිසක් එම ප‍්‍රදේශය කරා ගමන් කරමින් සිටියහ. තමන් ඉදිරියට එමින් සිටි ආයුධ සන්නද්ධ පාපැදිකරුවන් තිදෙනකු දුටු හමුදා භටයෝ ඔවුනට නවතින ලෙසට අණ කළහ. එම නියෝගයෙන් කලබලයට පත් මිනිසුන් තිදෙනා පාපැදි අතහැර දමා අවට තිබූ වන ලැහැබ දෙසට දිව ගියහ. හමුදාව පලා යන තිදෙනාට වෙඩි තැබූහ. දෙදෙනෙක් වෙඩි වැදී ඇද වැටුණු අතර එක් අයෙක් පලා ගියේය. වෙඩි වැදී මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් චාල්ස් ඇන්තනි නොහොත් සීලන් බවට පසුව අනාවරණ විය.

සීලන් ප‍්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙක් විය. තම මිතුරාගේ මරණයට වගකිව යුතු, හමුදාවෙන් පළිගන්නා බවට ඔහු සපථ කළේය. ඒ අනුව හමුදාවට එරෙහි මෙහෙයුමක් සංවිධානය කිරීම ඔහු සතාසිවම් සෙල්වනායගම් නොහොත් සෙල්ලක්කිලිට පැවරීය.

1983 ජූලි මස 23 දින රාත්‍රී 10.06ට පමණ ෆෝ ෆෝ බ‍්‍රාවෝ නමින් හැඳින්වූ මුර සංචාරයක් සඳහා ගුරුනගර් හමුදා කඳවුරේ සිට භට කණ්ඩායමක් නික්ම ගියහ. සෙබළුන් 15 දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ අණ දෙන නිලධාරියා වූයේ දෙවැනි ලුතිනන් ඒ.පී.එන්.සී. ද එස්. වාස් ගුණවර්ධනය. ශ්‍රී ලංකා පාබල හමුදවේ සිටි තරුණ නිලධාරියකු වූ ඔහු තම රාජකාරිය දේවකාරියක් ලෙස සැලකූ දක්ෂ සෙබළෙකි. ඔවුන්ගේ මුර සංචාරය ගුරුනගර්, නාග විහාරය, නල්ලූර්, කෝපායි, උරුම්පිරායි, කොණ්ඩාවිල්, කොකුවිල්, කලියාන්කාඩු ඔස්සේ මාදගල් කරා ගොස් නැවත පැමිණීමට නියමිතව තිබිණි. මාදගල් ප‍්‍රදේශයෙන් නැවත පිටත්වීමට නියමිතව තිබුණේ රාත්‍රී 11.59ටය. රාත්‍රී 11.28ට මෙම භට පිරිස මූලස්ථානයට වාර්තා කළේ යාපනය ප‍්‍රදේශය සන්සුන් බවත්, සියලු කටයුතු හොඳින් සිදුවන බවත්ය.

එහෙත් ඔවුන් සිතුවා වැරදිය. ප‍්‍රභාකරන්ගේ පළිගැනීමේ අරමුණ ක්‍රියාවට නංවමින් කොටි ත‍්‍රස්තවාදීහු ඒ වන විටත් කිසියම් මෙහෙයුමක නිරතව සිටියහ. ප‍්‍රභාකරන්, කිට්ටු, අයියර්, පුලේන්ද්‍රන්, සෙල්ලක්කිලි, වික්ටර්, සන්තෝසම් සහ අප්පයියා ඇතුළු 25 දෙනකුගෙන් පමණ සමන්විත කොටි කණ්ඩායමක් තිරුනෙල්වේලියට මීටර දෙසීයක් පමණ ඔබ්බෙන් පිහිටි තැපැල් පෙට්ටිය හන්දිය ලෙස වර්තමානයේ හැඳින්වෙන ස්ථානයේ මුර සංචාරක භට කණ්ඩායමේ පැමිණීම අපේක්ෂාවෙන් අඳුරේ සැඟවී බලා සිටියහ. ඔවුන්ට එම ස්ථානය තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබිණි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මගින් අලුතින් දුරකතන කේබල් එළීම සඳහා මග දෙපස අගල් කපා තිබිණි. තැන තැන පස් කඳු ගොඩගසා තිබූ හෙයින් බෝම්බ වැළලීමට පහසු වූ අතර කිසිවකු සැක නොකරන බවද කොටි සාමාජිකයෝ දැන සිටියහ. තම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා එම ස්ථානය වඩාත් උචිත බව කොටි නිගමනය කළහ. බිම් බෝම්බ හතරක් එහි වළ දැමූ කොටි ඒවා පිපිරවීම සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලින් පැහැරගත් පිපිරුම් උපකරණ උපයෝගී කර ගත්හ. බිම් බෝම්බයට සවි කළ රැහැන් අසල තිබූ වෙළෙඳසලක කොන්ක්‍රීට් වහළය මතට ගෙන පිපිරුම් උපකරණවලට සවි කළහ.

ෆෝ ෆෝ බ‍්‍රාවෝ මුර සංචාරක කණ්ඩායමේ ජීප් රථයත්, ට‍්‍රක් රථයත් සෙමෙන් සෙමෙන් එම ස්ථානයට ළඟා වෙමින් තිබිණි. පාරේ අගල් කපා තිබූ හෙයින් එම ස්ථානයේදී වාහනවල වේගය අඩාල විය. ජීප් රථය ඉදිරියෙන් ගමන් කළ අතර එහි දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධන හා රියැදුරා ඇතුළු තවත් සොල්දාදුවෝ සිව් දෙනෙක් වූහ. පසුපස ට‍්‍රක් රථයේ ඉතිරි පිරිස ගමන් ගත් අතර මාරයා තමන් ඉදිරියේ සැඟව සිටින බැව් ඔවුන් කිසිවකු දැන සිටියේ නැත.

සෙල්ලක්කිලිට ප‍්‍රභාකරන් අණකොට තිබුණේ පසුපසින් එන ට‍්‍රක් රථය පුපුරුවා හැරීමටය. එහෙත් සෙල්ලක්කිලි වහළය මත සිට පුපුරුවා හැරියේ ඉදිරියෙන් පැමිණී ජීප් රථයයි. බිම් බෝම්බයට හසුවූ ජීප් රථය අහසට විසිවී නැවත බිම පතිත විය. පසුපසින් වූ ට‍්‍රක් රථයේ සිටි සෙබළු සිදුවූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව ට‍්‍රක් රථයෙන් බිමට පැන මග දෙපසට වෙඩි තබන්නට වූහ. මේ අතර සැඟව සිටි කොටි ට‍්‍රක් රථයෙන් එළියට පැනගත් සෙබළුන් වෙතට වෙඩි තබන්නටත් බෝම්බ ගැසීමටත් පටන් ගත්හ. ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ එක් සෙබළකු එම ස්ථානයෙන් පළා යන්නට සමත් වූයේය. ඔහු කිලෝමීටර් තුනක් පමණ දිව ගොස් කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ පිහිටි ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවට පැමිණ පලාලි කඳවුරට දුරකතන ඇමතුමක් ලබා දී අතිරේක බල ඇණි ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ප‍්‍රහාරය පිළිබඳ පුවත ලද විගස එම ප‍්‍රදේශයට ගිය හමුදා නිලධාරීන් හට දැක ගත හැකි වූයේ පෙරළී ගිය ජීප් රථයක සුන්බුන් සහ තැන තැන වැටී මියගොස් සිටි සෙබඵන්ය. අණදෙන නිලධාරි දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධන සමග සැරයන් තේලකරත්න, කෝප‍්‍රල් ජී.ආර්. පෙරේරා, ලාන්ස් කෝප‍්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබල ඒ.ජේ.ආර්. ප‍්‍රනාන්දු, එම්.බී. සුනිල්, ඩී.එන්.ඒ.ඩී. මනම්පිටිය, ජී. රොබට්, ඒ.ජේ. විජේසිරි, එන්.ඒ.එස්. මනතුංග, එස්.එස්. අමරසිංහ, එස්.පී.ජී. රාජතිලක සහ කේ.පී. ආරියරත්න යන සොල්දාදුවන් 13 දෙනා එහිදී දිවි පිදූහ. කෝප‍්‍රල් ආර්.ඒ.යූ. පෙරේරා සහ ලාන්ස් කෝප‍්‍රල් සුමතිපාල තුවාල ලබා දිවි ගලවා ගන්නට සමත් වූහ.

ප්‍රහාරය පිළිබඳ සැලවූ විගස ප‍්‍රහාරය සිදු වූ ස්ථානයට ළඟා වූ පළමු භට කණ්ඩායම භාරව සිටියේ එවක කපිතාන්වරයකු වූ කර්නල් රන්ජිත් විජේසුන්දරය. ඔහු වසර 37කට පෙර වූ සිදුවීම යළි ස්මරණය කළේ මෙලෙසිනි.

“ශ්‍රී ලංකා යුද හමුදාවේ සැහැල්ලු අවි භට කණ්ඩායම නොහොත් ශ්‍රී ලංකා පාබල හමුදාව ජූලි 17 වැනි දින යාපනයේ පලාලිහි රාජකාරි භාර ගත්තා. එම භට කණ්ඩායම ඇල්ෆා, බ්‍රාවො, චාලි සහ ඩෙල්ටා යනුවෙන් අනුඛණ්ඩ හතරකට බෙදා තිබුණා. මේජර් එස්.එච්. කෝට්ටෙගොඩ යටතේ පැවැති ඇල්ෆා කණ්ඩායම මන්නාරමේත්, කපිතාන් ඩී. රත්නසභාපති යටතේ පැවැති බ්‍රාවො, කණ්ඩායම පලාලියේත්, මේජර් ආර්.එම්.ආර්.බී. රත්නායක යටතේ පැවැති චාලි කණ්ඩායම මාදගල්හිත්, මේජර් සී.එල්. විජේරත්න යටතේ පැවැති ඩෙල්ටා කණ්ඩායම අලිමංකඩත් මෙහෙයුම් හා මුර සංචාරවල නිරත වුණා.

පලාලියේ අණදෙන නිලධාරියා වූයේ කර්නල් උපාලි කරුණාරත්නයි. මා එම බලසේනාවේ බුද්ධි අංශ නිලධාරියා හා විධායක අධිකාරිවරයා වශයෙන් කටයුතු කළා.

ශ්‍රී ලංකා පාබල හමුදාව උතුරේ රාජකාරි ආරම්භ කිරීමට පෙර සිටම මුර සංචාරයේ යෙදෙන භට පිරිසකට පහර දීමේ සූදානමක් පවතින බවට වන තොරතුරු බුද්ධි අංශයට වාර්තා වී තිබුණා. 1983 ජූලි 23 දින කිසියම් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ගුරුනගර්හි බුද්ධි අංශයට වාර්තා වී තිබූ හෙයින් එදින කිසිදු භට කණ්ඩායමක් මුර සංචාරයේ නොයොදවන ලෙස අපට දැනුම් දුන් අතර ගුවන්විදුලි පණිවිඩ මගින් එය භට කණ්ඩායම් භාර අණදෙන නිලධාරීන්ට දැනුම් දී තිබුණා. මා මේ සම්බන්ධයෙන් අපගේ අණදෙන නිලධාරිවරයා ද දැනුම්වත් කළා. කිසියම් භට කණ්ඩායමක් යම් හෙයකින් මුර සංචාරයේ යෙදෙන්නේ නම් බොහෝ රෑ බෝවන තෙක් සංචාරයේ නොයෙදී පැය දෙක තුනකින් නැවත කඳවුර වෙත පැමිණිය යුතු බවත් එසේ කළ නොහැකි නම් මුර සංචාරයේ නොයෙදෙන ලෙසටත් ඔහු කියා සිටියා.. 

ඉතිරි කොටස ලබන සතියට...

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02