2020 ජුලි 11 වන සෙනසුරාදා

කටාර් රාජ්‍යයේ තුන් මිනීමරුම - අපට සැක කෑගල්ලේ නිස්සංකයි

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

මහේන්ද්‍රරාසා - වික්ටෝරියා යුවළගේ දියණිය සුදර්ශනීය. පහළොස් වසරක් පුරාවට කටාර් රාජ්‍යයේ වෙසෙමින් රැකියාවේ නිරතව සිටි මහේන්ද්‍රරාසා සිය බිරිය හා දියණිය එරටට ගෙන්වාගෙන තිබුණේ පවුලක් වශයෙන් එකට ජීවත් වීමටය. ඒ අනුව හත් වසරක් තිස්සේ සුදර්ශනීත් මවත් පියා සමඟ එරට පදිංචිව සිටිමින් ගෘහසේවිකාවන් වශයෙන් කටයුතු කළහ. එවැනි පසුබිමක කටාර් රාජ්‍යයත් ලංකාවත් විමතියට පත් කරමින් එකම අයුරින් ගෙල කපා දමා මහේන්ද්‍රරාසා පවුල පිටින් ඝාතනය කිරීම අබිරහසකි.

මහේන්ද්‍රරාසා පවුලේ පියා (58), මව (55) සහ දියණිය (34) වියේ පසුවෙද්දී යම් සාහසිකයකු අතින් ඝාතනය වී තිබුණේ ඉකුත් මාර්තු පළමු වැනිදාය. මේ සමූල ඝාතනය සම්බන්ධයෙන් එරට පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ ද දිනයක් හෝ දෙකක් ගතවූ පසුවය. ඝාතනය වූ පවුලේ ඥාතියකු, හිතවතුන්, අසල්වැසියන් නොවූයෙන් ඔවුන්ගේ මෙරට ඥාතීන්ට සිදුවීම පිළිබඳව දැනගැනීමට ලැබී ඇත්තේ තවත් දින කිහිපයක් ගතවීමෙන් පසුවය. අවාසනාවකට මෙන් කොරෝනා වසංගතය හමුවේ ගුවන් ගමන් නවතා තැබීම නිසා ඝාතනයට ලක්වූ ඥාතීන්ගේ සිරුරු ලංකාවට රැගෙන ඒම දිනෙන් දින කල් යන්නට විය. කෙසේ හෝ එම සිරුරු විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වාගෙන තිබුණේ පසුගිය 7 වැනිදාය. මීගමුව මහ රෝහලේ දී සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මාකොළ පිහිටි පෞද්ගලික මල්ශාලාවක එම සිරුරු තැන්පත් කර තිබිණ. සීල් තබන ලද දේහයන් අතර දියණියගේ සිරුර මැදිවන ලෙස මවගේත් පියාගේත් දේහයන් දෙපසින් තබා තිබෙනු දැකීම කාගේත් සිත් කම්පා කරවන්නක් විය. සිද්ධිය පිළිබඳව වාර්තා වීමත් සමඟ ජාති ආගම් බේදයකින් තොරව එම දේහ වෙත අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාව දකින්නට ලැබිණි. 

එහි ගිය අපට මියගිය මහේන්ද්‍රරාසා පවුලේ බිරියගේ සොහොයුරෙක් වන එස්. පිලිප් (48) මහතා මෙසේ පැවසීය.

“මගේ මස්සිනා 2002 දී කටාර් රටට ගියේ. එහේ වැඩ අධීක්ෂකවරයෙක් විදිහට වැඩ කරගෙන අවුරුදු පහළොවකට වඩා හිටියා. පස්සේ මගේ අක්කයි දුවයි දෙන්නා කටාර්වලට ගෙන්වා ගත්තා. ඒ 2013 දී. අක්කයි දුවයි දෙන්නා ඒ රටේ ගෘහසේවිකාවන් විදිහට වැඩ කළා. අයියගේ අසනීප තත්ත්වයක් නිසා කකුලක් කැපුවා. මේ නිසා රෝහලට යන්නයි ගෙදර වැඩවලට යන්න එන්නයි පිට කෙනකුගේ ටැක්සියක් පාවිච්චි කළා. ඒ ඩ්‍රයිවර්ගේ නම නිශ්ශංක. එයාත් ලංකාවෙම කෙනෙක්. නිතරම ගෙදරට ආවා ගියා. ඒ පුද්ගලයා එක්ක ගෙදර අය ළඟ ආශ්‍රයක් තිබිලා තියෙනවා.”

වසර ගණනක් පුරාවටම කටාර් රාජ්‍යයේ වාසය කළ මහේන්ද්‍රරාසා පවුලට හිතවත් පිරිස් හෝ අසල්වැසියන් සිට නැත. එහෙත් අවශ්‍ය ගමන් බිමන් යාම සඳහා කුලී රථයක් භාවිත කර තිබිණ. මහේන්ද්‍රරාසාගේ ප්‍රතිකාර සඳහා යාමටත්, වික්ටෝරියා සහ සුදර්ශනීට රැකියාව සඳහා යාමටත් එම කුලී රථය කාලයක පටන්ම භාවිතයට ගෙන තිබිණ. එම රථයේ රියැදුරු ලාංකිකයකු වූ නිශ්ශංක නැමැත්තෙකි. කඩවසම් පෙනුමකින් යුත් ඔහුට කාලය ගතවෙත්ම සුදර්ශනී පිළිබඳව සිතක් පහළ විය. එතෙක් විවාහය ගැන තීරණයකට එළැඹ නොසිටි ඇයට විවාහ යෝජනාවක් කිරීමට නිශ්ශංක ක්‍රියා කළේය. මුලදී වැඩි මනාපයක් නොදැක්වුවද, සුදර්ශනී පසුව ඊට මනාපය ලබා දී ඇතැයි කියති. ඒ සියල්ල සිදුව ඇත්තේ ඇයගේ මාපිය දැනුම්වත්ව බවද සඳහන්ය.

කාලයක් මෙම ආදර සබඳතාව පැවතියද, සුදර්ශනීගේ මව හා පියා ගිය වසරේ ලංකාවට පැමිණියේ මහේන්ද්‍රරාසාගේ ගිණුමක තිබූ අර්ථසාධක මුදල් තැන්පතුව ලබා ගැනීමටය. අනතුරැව දුවගේ විවාහයට අවශ්‍ය ස්වර්ණාභරණ මෙරටින් මිලට ගෙන නැවත කටාර් බලා යාමට මත්තෙන් දියණියගේ පෙම්වතා පිළිබඳව ඔවුන් කරුණු සොයා තිබිණ. ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු වශයෙන් හඳුනාගෙන තිබූ අතර සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඔහු විවාහක එක්දරු පියකු බවය. මේ කරුණු හේතුවෙන් නැවත කටාර් ගිය මහේන්ද්‍රරාසා යුවළ එම විවාහයට දැඩි ලෙස විරුද්ධ වී ඇතැයි පැවසේ.

පසු අවස්ථාවලදී සුදර්ශනී වරින්වර ඒ පිළිබඳව පෙම්වතාගෙන් විමසා සිටි අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු සුදර්ශනී සමඟ ගැටුම් ඇතිකරගෙන තිබේ. මේ හේතුව මත දෙදෙනා අතර නොයෙක් වාද විවාද සමඟ අඬදබර ඇතිවූ බවද කියැවිණ. සුදර්ශනීගේ මවට වැටුප් ලැබෙන්නේ 29 වැනිදාය. පෙබරවාරි 29 වැනිදා සුදර්ශනීගේ පෙම්වතා එහි රැඳී සිට තිබේ. ඒ බව හෙළිවූයේ ඩුබායි රැඳී සිටින මේ පවුලේම ඥාතිවරියක එදින ඔවුන්ට දුරකතන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේ නිශ්ශංක නැමැත්තා එහි සිටි බව වික්ටෝරියා මහත්මිය කියා තිබූ බැවිනි.

මියගිය සුදර්ශනීගේ මිතුරියක කටාර් සේවය කරමින් සිට ඇත. සුදර්ශනීගේ සියලු තතු ඇය හා පවසන්නට සුදර්ශනී අමතක නොකළාය. එබැවින් සුදර්ශනීගේ පෙම් පළහිලව්ව අකුරක් නෑරම ඇය දැන සිටියාය. විවාහකයකු වන නිශ්ශංක හා පවතින සබඳතාව ගැටුම් හා ඊට එරෙහි වීමේදී සුදර්ශනී ඇතුළු පවුලේ සැමට මරණ තර්ජන එල්ල කිරීම දක්වා වූ නිශ්ශංකගේ හැසිරීම ඇය දැන සිටියාය. ඒ අතර එකී මිතුරිය මාර්තු 2 වැනිදා සුදර්ශනීට දුරකතන ඇමැතුමක් ලබාගත්තේ තොරතුරු විමසීමටය. එහෙත් ඊට පිළිතුරු දී තිබුණේ නිශ්ශංකය. ඔහු කියා තිබුණේ සුදර්ශනීගේ පියා නාන කාමරයේ වැටුණු බවත්, ප්‍රතිකාර ලබාගැනීමට සුදර්ශනී සමඟ ගිය බවත්ය. පසු මොහොතක සුදර්ශනීගේ මවගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ලබාගැනීමේදී ද පෙර කාරණයම පවසා තිබුණේ නිශ්ශංක විසිනි. පසු දිනයේදීත් ඇය ඔවුන් අමතා ඇතිමුත් කිසිදු දුරකතනයකින් ප්‍රතිචාරයක් ලැබී නැති අතර ඒවා විසන්ධි කර තිබෙන බව දැනගැනීමට ලැබී තිබේ.

සුදර්ශනීගේ මිතුරියට ඇතිවූ සැකය මත සිද්ධිය කටාර් පොලීසියට දන්වා තිබේ. එහිදී පොලීසිය නිවෙසේ දොර කඩා බලන විට පවුල පිටින් ඝාතනය කර තිබෙන බවද දැකගැනීමට හැකිව තිබේ.

“නිශ්ශංක කියන කෙනා කෑගල්ල නෙළුම්දෙණියෙලු. දුවත් එක්ක සම්බන්ධයක් තිබුණු බව දැන් අපි දන්නවා. මරණ තර්ජනයක් ගැන දන්නේ නෑ. හැබැයි අපි සැක කරන්නේ ඒ පුද්ගලයාම තමයි. ඝාතනය කිරීම කරලා තියෙන්නේ මාර්තු පළමුවැනිදා රෑ. දෙවැනිදා උදේ මේ පුද්ගලයා ලංකාවට ඇවිත් තියෙනවා. හොඳටම සැලසුම් කරලා කරපු ඝාතනයක් කියන එක හොඳටම පැහැදිලියි. මේ අයගේ පාස්පෝට් පවා එහෙ තිබිලා නෑ. සැකකරු මේ අයගේ මිනිය අඳුරාගන්න බැරි වෙන්නයි ලංකාවට ගෙන්වාගන්න බැරි විදිහටයි වැඩේ කරලා තියෙන්නේ. මගේ ළඟ අක්කාගේ පාස්පෝට් කොපියක් තිබුණු නිසා මේ විදිහට බොඩි ටික ගෙන්වාගන්න පුළුවන් වුණා.” යැයි එස්. පිලිප් මහතා පැවසීය.

මහේන්ද්‍රරාසා පවුල විදෙස්ගත වීමට මත්තෙන් කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියහ. විදෙස්ගතව සිටි අවසන් කාලයේ මහේන්ද්‍රරාසා විශ්‍රාම සුවයෙන් පසුවූ අතර ඔහු සන්තකයේ සැලකිය යුතු මුදලක් හා පවුම් ගණනක ස්වර්ණාභරණ ඇතුළු දේපළ රාශියක් ද තිබී ඇත. ඒ අතර මහේන්ද්‍රරාසාට අයත් මෙරට බැංකු ගිණුමකට අයත් බැංකු කාඩ්පතක් (ATM) නිශ්ශංක නැමැත්තා සතුව තිබූ බවද හෙළි වී තිබේ.

මහේන්ද්‍රරාසා පවුලේ ඝාතන එකම අයුරින් සිදුකර තිබීම විශේෂය. එය ඔවුන් නින්දේ පසුවෙද්දී කරන්නට ඇතැයි සැක කරනුයේ සිරැරැවල කිසිදු වෙනත් සීරීමක් හෝ නොමැති බැවිනි. ඝාතනයට පෙර ඔවුන්ට නින්ද යාමට හෝ සිහිය විසඥ වීමට යමක් ලබාදෙන්නට ඇතැයි ද සැකයක් පවතී. ඝාතන සම්බන්ධයෙන් කටාර්හි සිටින එකම සාක්ෂිකාරිය ඝාතනයට ලක්වූ සුදර්ශනීගේ ශ්‍රී ලාංකික මිතුරියකි. ඇයට තවමත් ලංකාවට ඒමට හැකියාවක් නොමැත්තේ ඝාතන සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකෙරෙන තුරුය. එබැවින් මේ පිළිබඳව වගකිව යුතු අංශවල අවධානය වහා යොමු කළ යුතුව තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරුව - සුමුදු හේවාපතිරණ