2020 ජුලි 11 වන සෙනසුරාදා

රටම රත් කළ වැලිකඩ කොරෝනා ලෙඩා

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

වැලිකඩින් කොරෝනා රෝගියෙක් හමුවෙලා යන ආරංචිය බන්ධනාගාර පුරා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. ඒ ඉකුත් 7දාය. මෙම ආරංචියෙන් පසු මුළු මහත් බන්ධනාගාර පද්ධතියම තිගැස්සී ගියේ ඇසිල්ලකිනි. කනින් කොණින් ආරංචි වූ සියල්ල සත්‍යයක් වන්නට වැඩි වේලාවක් ගියේ නැත. සෞඛ්‍ය අංශ නිලධාරීහු රැසක්ම එදින උදේ වරුව වනවිට වැලිකඩ බන්ධනාගාරයට එන්නට වූහ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ හෙළිදරව්වත් සමඟම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද ඒ වනවිට වැලිකඩ (කොරෝනා රැඳවියා) පිළිබඳ සනාථ කර නිවේදනයක් ද නිකුත් කර අවසන්ය.

මතට ඇබ්බැහිවූවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසු පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන මත්ලෝලීන් දැනට රඳවා සිටිනුයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළය. සේනපුර හා කන්දකාඩු යන මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ මේ වනවිට දහසකට අධික මත්ලෝලී පිරිසක් රඳවා සිටිති. යුද හමුදාව මගින් පවත්වාගෙන යන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය එහි අධීක්ෂණ කටයුතු සිදු කරනුයේ 2013 වසරේ අවසාන භාගයේ සිටය. ස්කයිප් තාක්ෂණය ඔස්සේ රැඳවියන් නඩු කටයුතුවලට ඉදිරිපත් කරන හෙයින් මෙම රැඳවියාද එතෙක් රඳවනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාරයේ අයි 1 නැමැති කොරෝනා නිරෝධායන වාට්ටුවේය.

ඒ අතරතුර උණ රෝගයකින් පෙළෙන බවට හෙළිවීම නිසා මෙම රැඳවියා ආර්. වාට්ටුවට යොමු කරනු ලැබුවේ ඒ සමඟය. අයි 1 කොරෝනා වාට්ටුවේ ඒ වනවිට පිටින් පැමිණි රැඳවියන් 174ක් රඳවා සිටි බවටද වාර්තා විය.

උණ රෝගයෙන් පෙළුණු කන්දකාඩු රැඳවියා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ 3කට යොමු කර කොරෝනා ආසාදිතයකුගේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම හේතුවෙන් ඉකුත් 7දා වනවිට ඔහු අංගොඩ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශවලට සිදුවිය.

ඒ වනවිට මුළු බන්ධනාගාර පද්ධතියම රත් වී තිබුණු අතර කලබල වූ පරිපාලනය ඉකුත් 27 සිට 7 දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයා ආගිය තැන්, රාජකාරි කළ නිලධාරීන්, ඇසුරු කළ අයවලුන් පිළිබඳව සොයන්නට විය. මෙම ආසාදිත රැඳවියා වැලිකඩට පැමිණි දා පටන් රැඳවියන් කීපදෙනකුම ඇසුරු කළ බවටද මේ අතර තොරතුරු පැතිර ගොස් තිබුණි.

කොරෝනා නිරෝධායන වාට්ටුවේ සිට රැඳවියන් ගණනාවක්ම අදාළ කාල සීමාව අවසන් කර වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබූ අතර තවත් පිරිසක් නිදහස ලබා ගෙදර ගොස් තිබීමද බන්ධනාගාර බලධාරීන්ගේ ඉහමොළ රත් කරවන්නක් විය. මේ අලකලංචිය අතරතුර කොරෝනා නිරෝධායන වාට්ටුවේ සිටි රැඳවියන් 174 දෙනාද එහි රාජකාරි කළ නිලධාරීන් 10ක්ද ඇතුළුව 351කට ආසන්න පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලහිලහියේ ක්‍රියා කළේ උද්ගතව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ වැලිකඩ සැක සහිත සියලුමදෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර නිරෝධායනයට ලක් කරන බැවින් දෙවැනි කොරෝනා රැල්ල පිළිබඳව සැකයක් නොමැති බවය. ඒ සමඟම කන්දකාඩුවේ පුනරැත්ථාපනලාභීන් 474ක්ද, කාර්ය මණ්ඩල සාමාජිකයන් 131ක්ද ඇතුළුව 605 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයකට ඉදිරිපත් කර දින 21ක් නිරෝධායනය කරන බව කීවේ පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතාය.

වැලිකඩ සිද්ධියත් සමඟම 7 දා එහි 210 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ අතර එම වාර්තා එදිනම රාත්‍රී කලඑළියට ආවේ මේ අතරය. එකදු ආසාදිතයකු හෝ ඒ තුළින් හමුනොවීම බන්ධනාගාර නිලධාරීන්ගේ සැනසුමට හේතුවක් වුවද අනතුර වැඩි ඈතක නොවන බව හෙළි වූයේ වැලිකඩින් පිටතට මාරැකර යැවූ රැඳවියන් කීපදෙනකුට උණ වැළඳී ඇති බවට වූ වාර්තාද සමඟය. මෙහිදී කළුතරට හා මොණරාගලට මාරැ කර යවන ලද රැඳවියන්ගෙන් මොණරාගල රැඳවියන් තිදෙනකුම උණ රෝගයෙන් රෝහල්ගත කර තිබුණේ 7දා රාත්‍රියේය. ඒ සමඟම එදිනම රාත්‍රී වැලිකඩ රැඳවියන් (අයි 1 වාට්ටුවේ හා වෙනත් 175 දෙනකු පමණ පුනානි කන්දකාඩු වෙත නිරෝධායනයට රැගෙන ගියේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමිනි. එදිනම නිලධාරීන් 25කට ආසන්න පිරිසන් බොරැල්ල, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව කීවේද සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් වෛද්‍ය නිලධාරියෙකි.

මෙම කාලය තුළ වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් සංඛ්‍යාව 39කට ආසන්න බවටද තොරතුරු හෙළිවිය. කෙසේ වෙතත් 7දා වනවිට මූලස්ථාන අවන්හල වසා දැමුණු අතර රාජකාරි අවසන්ව නිවෙස් වෙත යාම සඳහා නිලධාරීන්ට බස් රථ සූදානම් කළ බවක්ද කියැවිණි. ඒ සමඟම වැලිකඩට කිසිදු අමුත්තෙකුට ඇතුළු වීමටද තහනම් විය. රුඳවියන් බැලීමද අමුත්තන්ට අවසර නොලැබුණි.

හිටිහැටියේම සිදුවූ මෙම නියෝගයෙන් දුකට පත් වැලිකඩ විසිට් ආ කාන්තාවක සිය සැමියා බලන්නට නොහැකිව මහපාරේ වැතිරුණේ ඊට විරෝධය දක්වන්නටය. ඒ වනවිටත් අසුරැ සැණින් (විසිට් තහනම) පිළිබඳ දැන්වීමක් වැලිකඩ ගේට්ටුව අසල තාප්පයේ අලවා අවසන්ය.

තත්ත්වය නරක අතට හැරේවිදෝයි සිතා 8දා වනවිට රට පුරා බන්ධනාගාරවලට විසිට් තහනම ආරංචි විය. නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මක බවද  සඳහන් විය. මේ අතර බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ දෙසින් ඇසුණේ රැඳවියාගේ කොරෝනා ආසාදිත තත්ත්වය එතරම් බලගතු නොවන අතර වෙනත් අයෙකුට බෝවීමට ඇති ඉඩකඩ අවම බවය. මෙම සිද්ධියෙන් දවසක් ගතවනවිට එනම් 8දා වනවිටත් වැලිකඩ ඇතුළු අවට බන්ධනාගාර වෙත කිසිදු විෂබීජහරණ ක්‍රියාවලියක් සිදුවී නැති බවටද වාර්තා විය.

කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමඟම බන්ධනාගාර නිලධාරීන් 8දා වනවිට රාජකාරියට වාර්තා කර තිබුණේ අඩකටත් අඩුවෙන් බවට කතාබහ මේ වනවිට පැතිර ගියේ අහඹුවක් ලෙස නොවේ. වෙනදා වැලිකඩ රාජකාරියට වාර්තා කළ 600ක් පමණ නිලධාරීන් අතරින් 8දා වනවිට එහි බරපතළ අඩුවක් දක්නට තිබූ බවටද තොරතුරු ලැබිණි. 8දා වනවිට පීසීආර් පරීක්ෂණවල ඉතිරි ප්‍රතිඵලද ලැබී තිබුණේ තවත් 141 දෙනකු නෙගටිව් බවට වාර්තා ගෙන එමිනි. රට වසා දැමුණු පසුගිය මාස 3ක කාලය තුළදී බන්ධනාගාර පද්ධතිය නිරන්තර ආරක්ෂිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවක් අනුගමනය කළ බවද අප අමතක කළ යුතු නැත. මෙම සිද්ධියක් සමඟම එම වැඩ පිළිවෙල උඩුයටිකුරු වූයේද යන්නට මෙතෙක් පිළිතුරක්ද නැත. මෙහි වඩාත්ම පුදුමය වන්නේ රැඳවියාට මෙම කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේද යන්නය. වසංගත රෝග විද්‍යා අංශය ඒ පිළිබඳව පරීක්ෂණයක්ද අරඹා නැත.

අංගොඩ අයි.ඩී.එච්. රෝලේ දැනට ප්‍රතිකාර ලබන රැඳවියාගේ ආරක්ෂාවට යෙදවූ නිලධාරියා මුදාහරින්නට පැය 24කට වඩා ගතවීමද බරපතළ ගැටලුවකි. නිලධාරීන් නිසි ලෙස රාජකාරියට වාර්තා කිරීමේ අඩුව පෙනෙන්නේ මෙබඳු තත්ත්වයක් තුළය. කෙසේ වෙතත් වැලිකඩ කොරෝනා බිය මුළුමනින්ම පාලනය කර ඇති බව කීවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාය.

9 දා අලුයම වනවිට වැලිකඩ රැඳවියන් 141කගේ පීසීආර් පරීක්ෂණ වාර්තා නිල වශයෙන් ලැබී ඇති බවත්. ඒ අනුව පරීක්ෂණයට ලක්කළ 351ක්ම කොරෝනා ආසාදිතයන් නොවන බවත් සඳහන් විය.

කොරෝනා ආසාදිත රැඳවියා සමඟ එම සිර වාට්ටුවේ සිට වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවූ රැඳවියන් 150 දෙනකු නැවත කන්දකාඩු වෙත යවා පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමටත් සේනපුර පුනරැත්ථාපන මධ්‍යස්ථානයේ බන්ධනාගාර නිලධාරීන් 144ක්ද පීසීආර්. පරීක්ෂණයක් සඳහා යැවීමටත් නියමිතය.

මේ අතර පොළොන්නරුව බන්ධනාගාරයේ එක් දිනක් රඳවා සිටි වැලිකඩ කොරෝනා රැඳවියා හේතුවෙන් එහි 11 දෙනකු එම බන්ධනාගාරය තුළ පීසීආර් පරීක්ෂණයකට යොමු කරනවා. යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ වත්මන් සැබෑ තත්ත්වය සංඛ්‍යා දත්තද සමඟ හෙළි කරමිනි. ඒත් වැලිකඩ බන්ධනාගාරයේ පවතින කොරෝනා බිය තවමත් එලෙසම බව කිව්වේ එහි රාජකාරි කරන නිලධාරීන් පිරිසකි.

ඉකුත් 8දා මෙම තත්ත්වය තුළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් හදිසියේම ආරක්ෂක අමාත්‍යංශය වෙත කැඳවා තිබීමද විශේෂත්වයකි.

ජයන්ත සමරකෝන්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02