රටේ බොහෝ දෙනෙක් සැනසුම් සුසුම් හෙළමින් සිටියහ. රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබුණේ සෞඛ්‍ය අංශවල නීති රීති අමතක කරමිනි. බස්රථවල, දුම්රියවල පොල් පටවා මගීන් රැගෙන යමින් තිබුණි. මගීන්ට මුව ආවරණ අමතකව තිබූ අතර බස් රථවල රියැදුරු හා කොන්දොස්තර ඒවා බෙල්ලේ පැළඳ සිටීමට පුරුදු වූහ. බොහෝ ඡන්ද රැස්වීම්වලදී සෞඛ්‍ය නීති බල්ලට දැමිණි. මාස හතරක් හිරවී සිටි ජනතාව චාරිකා යාම, නෑදෑයන් බැලීමට යාම ආරම්භ කළේය. පාසල් ආරම්භ කෙරිණි.
ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා දෙවැනි රුල්ලක අවදානම ගැන ජනතාවට මතක් කළේය. පොදු මගී ප්‍රවාහන සේවය, ගුවන් තොටුපොළ, පාසල් හා මැතිවරණ කටයුතු මේ සඳහා හේතුවිය හැකි බව ඔවුහු පැවසූහ. විශේෂයෙන් සෞඛ්‍ය නීතිවලට කිසිම සැලකිල්ලක් නොදක්වන බස්රථ හා දුම්රිය අතරින් කොවිඩ් දෙවැනි රුල්ලක් ඇතිවීමට ඉඩ පවතින බවද එවැන්නක් වළක්වා ගැනීමට කැපවිය යුතු බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.
මේ අතර සමාජ ක්ෂේත්‍රයෙන් අවසන් රෝගියා හඳුනාගත් දිනය අප්‍රේල් 30දා බව සෞඛ්‍ය අංශ අවධාරණය කළේය. මේ නිසා සාමාන්‍ය ජනතාවට කොවිඩ් පිළිබඳව වූ බිය සැක තුරන් වී පැවතුණි. අවසන් කොවිඩ් පොකුර හමුව තිබුණේ වැලිසර නාවිකා හමුදා කඳවුරෙනි. ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ 31 වැනි කොවිඩ් පොකුරයි.
කිසිවෙක් නොසිතූ තැනකින් දැන් යළිත් කොවිඩ් පොකුරක් මතුවී තිබේ. ඒ පොළොන්නරුව කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් පොකුරයි. පසුගිය 10දා උදෑසන වාර්තාවලට අනුව එයින් ආසාදිතයන් 252 දෙනෙකු හමුවී තිබේ. මෙම මධ්‍යස්ථානයේ රුඳවියන් 472 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 144 දෙනෙක් සිටිති. දින 70කට පසු බාහිර සමාජයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයාද එහිදී වාර්තා විය. ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වන නාත්තන්ඩිය කොට්ටරාමුල්ලේ පදිංචි 28 හැවිරිදි තරුණියකි. ඇය නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී අසනීප වී රෝහල් ගත කිරීමේදී කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බව හෙළි විය.
ලංකාවේ කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමට ජාඇල සුදුවැල්ලේ කොවිඩ් පොකුර ඉවහල් විය. ඒ සඳහා හේතුවූයේද මත්කුඩුවලට ඇබ්බැහි වූවෝ වෙති. මෙම නව පොකුරටද මුල්වූයේ කුඩ්ඩෝය. නාකොටික් නිලධාරීන් කුඩු විකුණන අතර කුඩු උරන්නවුන් කොවිඩ් වපුරන බව පෙනේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 26දා නඩුවකට රුගෙන පැමිණි වැලිකඩ බන්ධනාගාරයේ රුඳවියාට කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් 19 වැළඳී ඇතැයි තහවුරැ විය. ඒ සමඟම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් හා රුඳවියන් 315කට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළත් වාසනාවකට ඔවුන්ට රෝගය ආසාදනය වී නැත. එහෙත් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසංගත ආකරයක් බවට පත්ව ඇති බව ලැබෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ මෙම රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය කළ අතර තවත් රෝගීන් සිටීදැයි පරීක්ෂණ පවත්වන බවයි. මෙම පුනරැත්ථාපන කඳවුරේ සිටි අයගෙන් කොටසක් වගේම කාර්ය මණ්ඩලයේ සමහරැන් නිවාඩු ලබා නිවෙස්වලට ගිහින් තිබෙනවා. ඒ වගේම කඳවුරේ අය බැලීමට දෙමාපියන් නෑදෑයන් පැමිණ ගොස් තිබෙනවා. නමුත් ඔවුන් මුණගැසීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තමයි අනුගමනය කරලා තිබෙන්නේ. මේ නිසා ආශ්‍රිතයන්ට වැළඳීමේ ප්‍රවණතාව අඩුයි. නමුත් අපි ඔවුන් සොයාගෙන නිරෝධායනය කිරීමට කටයුතු කළා. වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කීවේය.
මෙයට පෙර රටේ ජනතාව බහුතරයක් දැන සිටියේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ගැන පමණි. මෙම සිද්ධියත් සමඟ කන්දකාඩු පුනරැත්ථාපන මධ්‍යස්ථානය ගැනද රටපුරා උනන්දුවක් හටගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හඳුනාගෙන ඔවුන් නැවත පුනරැත්ථාපනය කිරීමට මෙම ආයතනය ආරම්භ කළේ 2013 අගෝස්තු 20දාය. පුනරැත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙහි සියලු මෙහෙයුම් කටයුතු සිදුවන්නේ යුද හමුදාවේ මූලිකත්වයෙනි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් වෙනත් රෝහල්වලට ප්‍රවාහනය නොකර ඒ ආසන්නයේ පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ජංගම රෝහලක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවයි. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම නිරෝධායන මධ්‍යස්ථානය යුද හමුදාව විසින් රෝහලක් බවට පත්කළා. පුනරැත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයාගන්නා රෝගීන් එම ස්ථානයට යොමු කරනවා. පසුගිය කාලයේ මෙහි පුනරුත්ථාපනය වන අය දැකගැනීමට පවුල්වල සාමාජිකයන් 119 දෙනෙක් ඇවිත් තිබෙනවා. ඔවුන් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව තමයි හමුවෙලා තිබෙන්නේ.* යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මින් හමුවන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. &කන්දකාඩු මධ්‍යස්ථානයේ පී.සී.ආර්. පරීක්ෂණ තවමත් සිදුකරමින් පවතිනවා. එම මධ්‍යස්ථානය තුළ වසංගත තත්ත්වයක් පැනනැගිලා. 10දා උදෑසන කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය පුනරැත්ථාපන මධ්‍යස්ථානයේත් රුඳවියන් සහ සේවක මණ්ඩලයේ ඉතිරි කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළා. නිවාඩු ගිය සේවකයන්ගෙන් 90%ක් පමණ ආපසු කැඳවා තිබෙනවා. ඔවුන්ගෙන් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට නියමිතයි. පුනරැත්ථාපනය වී නිවෙස්වලට ගිය රුඳවියන් හැඳල මධ්‍යස්ථානයට ගෙන්වා තිබෙනවා. ඔවුන්ද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකිරීමට නියමිතයි. විශේෂඥ වෛද්‍ය ජාසිංහ සඳහන් කර සිටී
අදාළ කාලය තුළ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පුනරැත්ථාපනය කර පිටතට යවන ලද රුඳවියන් සහ ආශ්‍රිතයන්ද හඳුනාගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යුද හමුදාපතිවරයාද පවසන්නේ මින් සමාජයට රෝගය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැති බවයි.
මෙයින් සොයාගත් ආසාදිතයන් සියලු දෙනාගේ රෝගී තත්ත්වයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හමුවුණොත් ඔවුන් වැලිකන්ද හා අංගොඩ අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීමට කටයුතු කරනවා. දැනට කිසිකෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ නෑ. සියලුදෙනාටම අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙනවා. මෙම කඳවුරේ රුඳවියන් සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකර ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන්නේ* යැයි පැවසුවේ පොළොන්නරැව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහයි.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ පුනරැත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එකිනෙක යාබදවය. පසුගියදා රටේ විශාල කොවිඩ් රුල්ලක් මතුකළ ජා-ඇළ සුදුවැල්ලේ නිරෝධානය කළ මත්කුඩු ආසාදිතයන් 60 දෙනෙක් පසුගියදා අධිකරණ නියෝගයකින් මෙම මධ්‍යස්ථානයට යොමුකර සිටියහ. එම පිරිස අතරින් කෙනකුට විෂබීජ තිබී රෝගය මතුවූවාදැයි දැනට සැකයක් පවතී. මධ්‍යස්ථානයේ සේවක මණ්ඩලය මනම්පිටිය, සිංහපුර හා වැලිකන්ද ප්‍රදේශවල සිට දිනපතා සේවයට පැමිණෙති. මේ නිසා එම පවුල්වල අයද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය. බලධාරීන් පවසන්නේ කොවිඩ් පොකුරැ පාලනයට හැමර් ඇන්ඩ් ඩාන්ස් න්‍යාය (මිටියකින් තලා පාලනය අතේ තබාගැනීම) භාවිත කරන බවය. මෙම පොකුරටද එම න්‍යාය ක්‍රියාත්මක කෙරේ.
මෙම සිද්ධියෙන් අපට යළිත් වරක් පැහැදිලි කළේ කොවිඩ් වසංගත මාරයා ඕනෑම අවස්ථාවක අප නොසිතන තැනකින් හිස එසවිය හැකි බවය. මේ නිසා සෞඛ්‍ය උපදෙස් සැහැල්ලුවට සිතා ගමන්බිමන් යාමට දැන්වත් තිත තැබිය යුතුය. ඒ අතරම රැකියාවලට සේවා කටයුතුවලට යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීමද අවශ්‍යය.
කුසුම්සිරි විජයවර්ධන