2020 ජුලි 11 වන සෙනසුරාදා

රට හොල්ලන පාතාලය නාකොටික් වැඩ අතේ මාට්ටු වූ සතිය

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

කුඩු පාතාලය දැන් එළියේ නොව ඇතුළේය. පොලීසියම ඇතුළේය. කුඩු ගේන්නේ ජාවාරම්කරුවන් වූවාට කුඩු ලබාගෙන ඇසුරුම් කරන්නේ, ප්‍රවාහනය කරන්නේ, සල්ලි ගන්නේ පොලීසියේම නාකොටික් අංශයේ නිලධාරීන්ය. එක පැත්තකින් හිනාය, තව පැත්තකින් දුකය. අනාගත මතු පරපුරක් වළ දමන්නට රටේ ආරක්ෂක නිලධාරීන් ගෙන ඇති මේ අප්‍රසන්න ක්‍රියාව මතක් වනවරක් පාසා ඇති වන්නේ කලකිරීමකි. කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවී හමාරය. දැන් ඇත්තේ මේ වරද හඳුනාගෙන අදාළ වරද කරවුන්ට දඬුවම් දීමය. එතෙක් මේ අපරාධය නිමකරගන්නට හැකියාවක් නැත.

කෙසේ වෙතත් මේ මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරැ වූ පොලීස් පරීක්ෂක සමන් අත්අඩංගුවට ගැනීම ඉතාම අසීරු තත්ත්වයක් විය. ඒ ඔහු හැමෝටම හොරා සැඟව සිටීමය. එහෙත් රහස් පොලීසිය විසින් බැරිම තැන සමන්ගේ රූපය මාධ්‍යට නිකුත් කළේය. මාධ්‍යට නිකුත් කර වැඩිවෙලාවක් යන්නට වූයේ නැත. සමන් එදිනම බසයක නැගී කඩවතට එමින් සිටියේය. ඒ කඩවත පොලීසියට පැමිණීම සඳහාය. අවසානයේ කඩවත පොලීසියෙන් බැසගත් සමන් ඇමතුමක් ලබාගත්තේ නිවසේ අයටය. නිවසේ අයට ඇමතුමක් ලබාදී දැඩිලෙස හඬා වැටී ඇති අතර එහිදී එම ඇමතුම් ලබාගත් ස්ථානයේ පුද්ගලයා ඔහුට බැණවැදී එළවා දමා ඇත. පසුව එළියට බසිනවාත් සමඟ කඩවත පොලීසියෙන් පැමිණ සමන්ව අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගත් සමන්ව ඉදිරි පරීක්ෂණ සඳහා රහස් පොලිසීයට බාරදෙනු ලැබුවේය.

සමන්ව රහස් පොලීසියට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළ අතර ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අවශ්‍ය අවසරය ලබා ගෙන තිබිණි. සමන් ඒ වනවිටත් රහස් පොලීසිය විසින් මේ සිද්ධියේ පළමු සැකකරු ලෙස අධිකරණයට දන්වා තිබිණි. කෙසේ වෙතත් සැකකරුගේ ලොකරය පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් මිලිග්‍රෑම් 390ක් ද රහස් පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඊට අමතරව තවත් කොස්තාපල්වරු දෙදෙනකුගේ ලොකර් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 හොර නෝට්ටු 32ක් ද රහස් පොලීසිය විසින් සොයා ගෙන තිබිණි. එහෙත් මේවා සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත ප්‍රකාශයක් ලබාදී නැතත් ඔවුන් මේ හොර නෝට්ටු ජාවරම්කරැවන් සමඟ ගනුදෙනු කිරීම සඳහා යොදාගෙන ඇති බව දැන ගන්නට ඇත.
මීට අමතරව සැකකාර පොලිස් නිලධාරීන් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම්ද මිලදී ගෙන තිබිණි. එක් ඉඩමක් ලක්ෂ 100 ක් වටිනා ඉඩමක් වන අතර එය කොට්ටාව අධිවේගය අසල ඇති ඉඩමකි. තවත් නිලධාරියකු එම ඉඩමට ආසන්නයේම තවත් ඉඩමක් මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ 70 ක් වන බව සඳහන් වේ. එසේම එක් කොස්තාපල්වරයෙක් ඉඩම් දොළහක් මිලදී ගෙන ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් එතරම් මුදලක් මොවුන්ට ලැබුණේ කෙසේද යන්න තවමත් අනාවරණය වී නැත. එහෙත් මේ වනවිට එක්තරා සිද්ධියක් මේ කතාව තුළින් අනවරණය වී තිබේ.

මේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කර මෙරටට හෙරෝයින් ගෙන්වා එය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට පන්නා ඇත. පසුව මෙම නිලධාරීන්ගේම උපදෙස් මත ආරක්ෂිත ස්ථානවලදී එම හෙරොයින් අසුරා ඉන් කොටසක් ජාවාරම්කරුවන්ටත් තවත් කොටසක් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහාත් තබාගෙන ඇත. එයින්ද කොටසක් රටට පෙනෙන සේ අත්අඩංගුවට ගෙන රටේ ජනතාවත් පොලිස් දෙපාර්තමේන්තුවත් රවටා ඇත. එම රැවටීම කොපමණද කිවතොත් මොවුන් පොලිස් ත්‍යාග මුදල් පවා මිලියන ගණනින් ලබාගෙන තිබේ. එය එක් පැත්තකින් රාජ්‍ය මුදල් හොරා කෑමකි. ඒ නිසා මොවුන්ට නීතියේ සිදුරැ තුළින් රිංගා ගැනීමට හැකි වුවත් හෘද සාක්ෂියේ දොරගුළු විවෘත නොවනු ඇත.
මෙම නිලධාරීන් කුඩු පමණක් නොව ගිනි අවිද විකුණා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ජාවාරම්කරුවන් හරහා ලබාගන්නා ගිනිඅවි මොවුන් වෙනත් ජාවාරම්කරුවන් හරහා පාතාලයට විකුණා ඇති බව අනාවරණය වී ඇත. එවැනි ගිනි අවි හතරකට මේ වනතෙක් සිදු වූ දෙයක් නැත. පොලිස් නිලධාරීන් ඒවා ලබාදුන් බව දැනටමත් අනාවරණය වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා තවත් භාණ්ඩ රැසක් රහස් පොලිසිය විසින් සොයාගනු ලැබීය. එනම් නිලධාරීන් දෙදෙනකුට අයත් ලොරි රථ හතරක්, වෑන් රථ දෙකක් සහ මෝටර් රථයකි. ඒ සියල්ල මේ වනවිට ඇත්තේ පොලිස් බාරයේය.

මීට අමතරව බ්‍රහස්පතින්දා අධිකරණයේ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී හෙළිවුණේ කුඩු කිලෝ 600 ක් අධිකරණයට ඉදිරිපත් නොකර එම ස්ථානයේ ගබඩා කර ඇති බවය. එම කුඩු නියත වශයෙන්ම හොර පාරෙන් නැවතත් ජාවරමුන් සමීපයට යාමට තිබූ ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම් ඔවුන් කාලයක් පුරා රඟ දක්වා ඇත්තේ දැනට හිරගෙදර සිටින වෙලේ සුදා, කංජිපානිලාගේ භූමිකාවම නොවේද?
මේ වනවිට සියලු දෙනාගේම රෙදි ගැලවී ඇත. ඔවුන් කෙතරම් වංචාවක් මේ රට හමුවේ කළාද යන්න රටටම අනවරණය වී ඇත. බොහෝ දෙනා එක දිගට කුඩු අල්ලන හැටි දැක සතුටු වුවත් ඇත්තටම සිදුවී ඇත්තේ දකුණු අතින් ගෙන වම් අතින් කුඩු විකිණීමය. ඒ තමන්ගේ දරුවන් වැනි තවත් දරුවන් රැසක් විනාශ කිරීමේ අරමුණෙන්ය. රටේ සාමාන්‍ය මිනිහාටත් වඩා නාකොටික් නිලධාරීන් මත්ද්‍රව්‍ය ගැන දැන දැනත් සිදුකළ මේ අපරාධයට නීතියෙන් කිසිදු සමාවක් ලබාදිය නොහැක.

කළු කොටි සැමරුම

පසුගිය හතරවැනිදා කළු කොටි සැමරුම යෙදී තිබුණි. යුද්ධයෙන් මියගිය ප්‍රබල එල්ටීටීඊ සාමජිකයන් සමරා මෙම දිනය යොදා ගැනීම සාමාන්‍ය එල්ටීටීඊ සංවිධානයේ සිරිතය. ඒ අනුව 3 වැනිදා කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ අයියකච්චි, ඌරුවනියන්පෙට්‍ර ප්‍රදේශයේ හදිසි පිපිරීමක් සිදුවිය. ඒත් සමඟ සුවසැරිය ගිලන් රථයක් ද එම ප්‍රදේශයට ආ අතර 43 හැවරිදි තංගරාසා තංගෙයි අස්මන් නැමැති අය රෝහල වෙත කඩිනමින් රුගෙන යනු ලැබීය. පසුව ඔහුව කිලිනොච්චියේ රෝහලටත් තත්ත්වය බරපතළ නිසා එතැනින් යාපනය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලටත් රැගෙන ගියත්, ඔහු 4 වැනිදා අලුයම මිය ගියේය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පිපිරීමක් නිසා බවයි. පසුව පොලිස් නිලධාරීන් නිවෙස පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එසේ යනවිටත් එම නිවෙස මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සෝදා දමා තිබුණි. පසුව පොලිස් නිලධාරීන් අවට පරීක්ෂා කිරීමේදී වත්තෙහි වූ කෙසෙල් පඳුරක් යට තිබී සැමන් ටින් එකක සහ ප්ලාස්ටික් භාජන හමුවී ඇති අතර එහි බෝම්බ සකසා තිබී ඇත. පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල යොදාගෙන එය සකසා ඇති අතර කළු කොටි සැමරුම යනුවෙන් බැනරයක් ද තිබී ඇත. ඒ අනුව පොලීසිය අනාවරණය කරගත්තේ මේ බෝම්බය සකසන මොහොතේ මෙය පිපිරී ඇති බවය. මියගිය අයගේ සිරැරෙහි යකඩ බෝල තිබීමෙන් එය අනාවරණය විය.

මෙම මියගිය අය හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වූ අතර ඔහු සූදානම් වී ඇත්තේ කළු කොටි සැමරුම වෙනුවෙන් විනාශයක් සිදුකිරීමට බව අනාවරණය වී ඇත. මේ හේතුවෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ගුරැවරියක බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිටුපස ජාත්‍යන්තර එල්ටීටීඊ ඩයස්පෝරාව සිටින බවට සැකයක් මතු වී ඇති බවත්, මේ සඳහා කවුරුන් හෝ අනුබල දෙන්නට ඇතැයි සැකකරන බවත් පොලීසිය සඳහන් කරයි. වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබයි.

පාතාලයේ අවි ගබඩා.. මේ වනවිට පාතාලයේ අවි ගබඩා සොයා පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර ඇත. දැනට හෙළි වී ඇති ආකාරයට වැඩිම ගිනි අවි ඇත්තේ කොස්ගොඩ තාරකට සහ මාකිලංගමුවේ සංජීවටය. ඒ දෙදෙනා මේ වනවිට ඉන්නේ බූස්ස බන්ධනාගාරයේය. දෙදෙනා මිත්‍රයන් වන අතර දෙදෙනාම සිහින දකින්නේ පාතාලයේ කිරුළු දරන්නටය. එහෙත් තවමත් දෙදෙනාටම එය සාර්ථක කර ගැනීමට හැකියාවක් නොමැත. ඒ සියලු සිහින මේ වනවිට පොලීසිය මගින් බොඳ කරමින් සිටිති.

පසුගිය කාලයේ ඉතිහාසයේ විශාලතම අවි ගබඩාව හෝමාගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණි. ඒ සියල්ල ටී 56 ගිනි අවිය. එතරම් අවි තොගයක් මොකටදැයි ප්‍රශ්නයක් ඇත. ඒ වෙනින් දේකට නොව දැනට අභියෝගයක්ව සිටින පාතාලයේ කංජිපානි ඉම්රාන් ඝාතනය කිරීම සඳහා බවට තොරතුරැ ලැබී තිබේ. ඒ බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවකදීය. එහෙත් එය මඟහැරුණු අතර උත්සාහය තවම අත්හැර නැත. ඒ සඳහා බෙදාහැර තිබූ අවි විවිධ ස්ථානවල තිබී පොලීසිය විසින් මේ වනවිට අත්අංඩංගුවට ගනිමින් සිටියි.

එසේම මේ වනවිට මාකිලංගමුවේ සංජීවගේ එල්.ටී.ටී.ඊ. සබඳතා ද එකින් එක මතුවෙමින් ඇත. සංජීව විසින් එල්.ටී.ටී.ඊ. සමාජිකයන් හත්දෙනකු තමන්ගේ වෙඩික්කරුවන් ලෙස යොදාගෙන ඇති බව මේ වනවිට හෙළි වී ඇත. කොළඹ මැගසින් බන්ධනාගාරයේදී මෙම හමුවීම සිදුවී ඇති අතර ඒ මිත්‍රකම අනුව මෙම සබඳතා ගොඩනැගී ඇත. කෙසේ වෙතත් මේ පිරිස යොදාගෙන ඔහු අපරාධයකට සූදානම් වී ඇති අතර ප්‍රබල ප්‍රභූ ඝාතනයකට ද ඉලක්ක කළ බවත් දැනගන්නට තිබේ. මේ පාතාලය සහ එල්.ටී.ටී.ඊ.ය අතර සබඳතාවය පොලීසිය තවදුරටත් සොයමින් සිටිති.

 ගයාන් ගාල්ලගේ